2009-01-06

කොටි හදවත සිදුරු කළ ගුවන් හමුදා ප‍්‍රහාර

කොටි හදවත සිදුරු කළ ගුවන් හමුදා ප‍්‍රහාර

මෙරට යුද ඉතිහාසයේ වැදගත් ම ස්ථානයකට අප පැමිණ සිටියි. වසර තිහකට අධික කාලයක් කොටි ත‍්‍රස්තවාදීන් සිහින මැව් ඊළාම් රාජ්‍ය මේ වන විට බොඳ වී ගොසිනි.

කොටි ත‍්‍රස්තයන්ගේ අවසන් බලකොටුව ද හමුදාව කොටු කර හමාරය. තව නොබෝ දිනකින් කොටි අවසන් බල කොටුව වන මුලතිව් හි බලය ද හමුදාව සතු වෙයි.

මානුෂීය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් ත‍්‍රිවිධ හමුදාව කොටින්ට එල්ල කළ ප‍්‍රහාර අතිසාර්ථක විය. ත‍්‍රිවිධ හමුදාවට අමතරව පොලීසිය සහ ග‍්‍රාමාරක්ෂක බලකාය ද විශාල සේවයක් ඉටු කළහ.

නාවික හමුදාව මහ සයුරේ ආරක්ෂාව තරකර කොටින්ට ප‍්‍රහාර එල්ල කරද්දී, පාබල හමුදාවෝ කොටි බලකොටු අත්පත් කර ගත්හ. ගුවන් හමුදාව විසින් කොටින්ගේ ප‍්‍රබල ඉලක්ක හඳුනා ගනිමින් කොටින් ට මරු කැඳ වූ ප‍්‍රහාර රැසක් එල්ල කෙළේය.

ඊළාම් යුද්ධය පැරදවීමේ ප‍්‍රබල ඉලක්කයක් සාර්ථක කර ගැනීමට ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට් යානාවලට හැකි විය.

කිලිනොච්චියේ දී තමිල් සෙල්වම් ඝාතනය කර දැමීමට ගුවන් හමුදාවට හැකි විය. තමිල් සෙල්වම්ට ගුවන් ප‍්‍රහාරයක් එල්ල වී මිය යාමත් සමඟ කොටින්ගේ ප‍්‍රබල පසු බෑමක් දැක ගත හැකි විය.

කොටි ත‍්‍රස්තයෝ එතැන් සිට හමුදා ප‍්‍රහාර සම්බන්ධයෙන් දැඩි බියකට පත්වූහ. තමිල්සෙල්වම්ට ගුවන් ප‍්‍රහාර එල්ල කර ඔහුව ඝාතනය කර පැය දෙකක් ඇතුලත දී එය ලෝකයාට කීමට තරම් අප ගුවන් හමුදාව දක්ෂ විය.

ගුවන් හමුදාව මානුෂීය මෙහෙයුම්වල විශාල වැඩ කොටසක් සිදු කරයි.

ඉකුත් 2008 වසර තුළ පමණක් ගුවන් හමුදාව කොටි ඉලක්ක 700කට වැඩි ප‍්‍රමාණයකට ගුවන් ප‍්‍රහාර එල්ල කර කොටි පුහුණු කඳවුරු, මුහුදු කොටි කඳවුරු, සැපයුම් කඳවුරු, ආයුධ කඳවුරු ඇතුළු කොටින්ගේ මර්මස්ථාන රැසක් විනාශ කර දැමීමට සමත් විය.

කොටින්ට එල්ල වූ මෙම ප‍්‍රහාර සමඟ පාබල බලඇණිවලට කොටි ප‍්‍රදේශ කරා ඇතුල්වීම පහසු විය. 57 වන සේනාංකය සහ 01 කාර්ය සාධක බලකාය මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ ඉකුත් මාස තුන තුළ දී පමණක් ගුවන් හමුදාව ගුවන් ප‍්‍රහාර දෙසිය තිහක් පමණ එල්ල කර ඇත. මෙයින් කොටින්ට සිදු වූ හානිය අති විශාලය.

57 වන සේනාංකය සහ 58 වන සේනාංකය කිලිනොච්චිය සහ පරන්තන් අත්පත් කර ගැනීමේ මෙහෙයුම්වල දී මෙම සේනාංක දෙකට ගුවන් හමුදාවෙන් විශාල සහයක් ලැබුණි.

ගුවන් හමුදාව මෙම ප‍්‍රහාර සඳහා එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ මිග් 27, කපීර්, එම්. අයි. 7 යන ප‍්‍රහාරක ජෙට් යානා භාවිතා කළහ.

භූමියේ භට පිරිස් සහ බුද්ධි අංශ තොරතුරු මත මෙම ප‍්‍රහාර ගුවන් හමුදාව විසින් එල්ල කෙළේය. කිසිවිටෙක සිවිල් ජනයාට හානියක් සිදු කිරීමට මෙම ගුවන් ප‍්‍රහාර එල්ල නොකළේය. මෙතෙක් ගුවන් හමුදාව එල්ල කළ ප‍්‍රහාර සර්ථකව එල්ල කර කොටින්ට දැඩි හානියක් සිදු කර තිබේ.

භූමියේ තුවාල ලබන සෙබළුන් රෝහල් කරා ගෙන යාමටත් ආහාර පාන ප‍්‍රවාහනයටත් අපහසු ඉලක්ක කරා සෙබළුන් ගොඩ බැස්සවීමත් ගුවන් හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කෙළේය.

කොකාවිල් කොටි ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ තුවාල ලබා සිර වී සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනකු කොටි ග‍්‍රහණයෙන් මුදාගෙන ප‍්‍රතිකාර ලබාදීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කල වීර කි‍්‍රයාන්විතය බටහිර චිත‍්‍රපටියක ජවනිකාවක් පෙන්වමින් මුළු මහත් ලෝකයාම පුදුම කිරීමට සමත් විය.

ගුවන් හමුදාව කොටින්ට දිගින් දිගට ම ප‍්‍රහාර එල්ල කිරීම නිසා ඉන් මිදීමට කොටි අවස්ථා කිහිපයකදී ම ගුවන් හමුදා මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමට උත්සහ ගත්තේ ය. එහෙත් ඒ උත්සාහයන් සියල්ලම අසාර්ථක විය.

මේ අතර මුහුදු කොටි බළකායට ප‍්‍රබල තර්ජනයක් වූ ගුවන් හමුදාව මුහුදු කොටි බළකායේ යාත‍්‍රා රැසකට ප‍්‍රහාර එල්ල කරමින් එම යාත‍්‍රා විනාශ කර දැමීය. මෙහි දී මුහුදු කොටි සිය ගණනක් මිය ගියේ ය.