2009-01-06

ත‍්‍රස්තවාදය තුරන් කිරීමට තව වසරක් අවශ්‍ය නැහ

ත‍්‍රස්තවාදය තුරන් කිරීමට තව වසරක් අවශ්‍ය නැහැ

- යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා

කිලිනොච්චි ජයග‍්‍රහණය ලබාගැනීමටත් පෙර සිට හමුදා බළ ඇණි මුලතිව් ආක‍්‍රමණය කිරීම ආරම්භ කර තිබුණා. ත‍්‍රස්තවාදීන් මුලතිව්වලින් පලවා හැරීමට තවත් වසරක් අවශ්‍ය වන්නේ නැහැ. මා ඒ ප‍්‍රකාශය කරන්නේ දැඩි විශ්වාසයකින් යුතුවයි.

මේ වනවිට පනස් දහසකට වැඩි හමුදා භට පිරිසක් උතුරු යුද බිමේ කොටින්ව වටකර පහර දෙනවා. කොටි නායකයා පලා නොගොස් සැඟවී සිටීනම් ඔහු සිටින තැනට අපේ භට පිරිස් ගමන්කරනවා.

කොටි ත‍්‍රස්තවාදීන් දැනට කොටුවී සිටින්නේ කිලෝ මීටර් 40 ක පමණ දිග පළල ඇති ප‍්‍රදේශයකටයි. කොටි සාමාජිකයන් 1500 ක් පමණ එම බිම් තීරුවේ සිටිනවා.

කොටි නායකයාගේ මිනිස් බිල්ලක් බවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවක් සිටිනවා. මානුෂීය මෙහෙයුම සිදුවන්නේ ඒ අහිංසක ජනතාව කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමේ අරමුණ මතයි.


අප දැන් සිටිනුයේ යුද ජයග‍්‍රහණයේ මුවදොරයි

-නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

යුධ ජයග‍්‍රහණයේ මුවදොර අභියස සිටින මේ මොහොතේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව ත‍්‍රස්තවාදීන්ගේ මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන සියලු අවි ජාවාරම් සහ නීති විරෝධී භාණ්ඩ ප‍්‍රවාහනය වැළැක්වීමට සහ නීති විරෝධී ලෙස රටින් පිටවන්නන් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් යොදවා ඇත.

වසර 25 කටත් අධික කාලයක් තිස්සේ පැවැති මේ යුද්ධයට නාවික හමුදාවට හැකි සෑම අයුරකින්ම සහයෝගය ලබාදී ඇති අතර, ඉදිරි අනාගතයේදී ඇතිවන ඕනෑම අභියෝගයකට මුහුණදීමට නව සැලසුම්වලින්, නව සංකල්පවලින් සහ නව නිපැයුම්වලින් සන්නද්ධව සිටී.

විශේෂයෙන්ම උතුරේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ කර්තව්‍යයට දිගින් දිගටම සැලසුම් සකස් වන අතර, ලංකාව වටා ඇති මුහුදු තීරයේ නීති විරෝධී කිසිම ක‍්‍රියාවක් නොවීමට අවශ්‍ය සැලසුම් නිසි අයුරින් ඉදිරි වසර සඳහා ද සකස් කර ඇත.

යුධ බිමේ සිටින සියලුම රණවිරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සුබ නව වසරක් ප‍්‍රාර්ථනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.


කොටි ලැබූ ඉහළම පරාජය කිලිනොච්චිය අහිමිවීමයි

- ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක

කිලිනොච්චි අහිමිවීම එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදීන් ලැබූ විශාලතම පරාජයයි. මෙම ජයග‍්‍රහණය ඓතිහාසික ජයග‍්‍රහණයක්. යුද හමුදාව සෑහෙන ප‍්‍රයත්නයක් දරමින් කිලිනොච්චිය මුදා ගැනීමේ සටන් මෙහෙය වුවා. ගුවන් හමුදාව හැකි සෑම අවස්ථාවකම ඒ සඳහා නොයෙක් ආකාරවලින් සහය වුණා.

විශේෂයෙන් ඉදිරි බංකර් පෙළෙන් ඔබ්බෙහි ත‍්‍රස්තවාදීන් සිටින ස්ථාන නිරීක්‍ෂණය කරමින් කළ ප‍්‍රහාර ගොඩබිම මෙහෙයුම් සඳහා පාබල හමුදාවට විශාල පහසුවක් වුණා.

විශේෂයෙන් යුද හමුදාව කිලිනොච්චිය අල්ලගත්තෙ වසර දහයකට පසුවයි. එමෙන් මුදා නොගත් ඉතිරි ප‍්‍රදේශය මුදා ගැනීමට ගුවන් ප‍්‍රහාර ශක්තිය දීමට ගුවන් හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටිනවා.

මේ ජයග‍්‍රහණය සමඟ ත‍්‍රස්තවාදීන්ගේ මානසික මට්ටම ඉතා පහළ මට්ටමකට ඇද වැටෙන්නට ඇති. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ගුවන් හමුදාව මුදා නොගත් ප‍්‍රදේශයේ සිවිල් වැසියන්ට, දේවස්ථානවලට ගුවන් ප‍්‍රහාර එල්ල කරන බවට එල්. ටී. ටී. ඊ ය කිසියම් ප‍්‍රචාරයක නිරතව සිටියා.

එහෙත් ගුවන් හමුදාවට ඉලක්ක වුනේ ත‍්‍රස්තවාදීන් හා ඔවුන්ගේ ස්ථාන පමණයි. එසේම ප‍්‍රහාර එල්ල කිරීමට පෙර අප හොඳින් ඉලක්ක නිරීක්‍ෂණය කරනවා.

ගුවන් හමුදාව සෙසු හමුදා මෙන් සටන් වැදී සිටින්නේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිවයි. එම නිසා ත‍්‍රස්තවාදය අවසන් කිරීමට දිය හැකි උපරිම සහය ගුවන් හමුදාවෙන් දෙන බව සිහිපත් කළ යුතුයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා