2009-01-06

සිසිල් නගරය උණුසුම් වූ හැටි...

සිසිල් නගරය උණුසුම් වූ හැටි...

කොටි නායක ප‍්‍රභාකරන් ඊළාම් රාජ්‍යයක් ඇති කිරීමට සිහින මැව්වේ 1980 දශකයේ සිට ය. කුමක්දෝ පදනම් විරහිත හේතුවක් මත සිංහල ජාතිය සමඟ ඇතිකරගත් වෛරයක් මත මේ රට උදුරා ගැනීම ඔහුගේ සිහිනයේ අරමුණ විය. ඒ වෛරය පිරිමසා ගැනීම මිස දෙමළ ජනතාව ට සේවයක් කිරීම ඔහුට අවශ්‍යතාවයක් වූයේ නැත.

තම සිත තුළ පැවැති ම්ලේච්ඡ සිතිවිල්ලට තනිවම කර ගත නොහැකි වූ නිසා දෙමළ ජනතාවට රටක් හදා දෙන්න කැප වන බවට ව්‍යාජ මිත්‍යාවක් පෙන්වමින් කොටි සංවිධානයට සාමාජිකයන් එක් රැස් කෙළේ ය.

1980 දශකය ආරම්භයේ දීම ප‍්‍රභාකරන් කිලිනොච්චිය කේන්ද්‍රකොට ගනිමින් කොටි සංවිධාන කි‍්‍රයාකාරකම් ආරම්භ කෙළේ ය. ආරම්භයේ දී තමාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කළ කොටි සංවිධානය ක‍්‍රමයෙන් ව්‍යාප්ත කෙළේ කිලිනොච්චි මුලතිව් යාපනය ප‍්‍රදේශවලින් සාමාජිකයන් එක් රැස් කර ගනිමින් ය.

කොටි සංවිධානය ආරම්භ කරමින් ඊට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන සපයා ගැනීමට කොල්ලකෑම් සිදු කෙළේ ය. ක‍්‍රම ක‍්‍රමයෙන් ඒවා ව්‍යාප්තවී සංවිධානය අවුරුදු දහයක් පමණ වන විට දෙමළ ජනතාවගෙන් කප්පම් එකතු කරමින් සංවිධාන අරමුදල් ශක්තිය තර කර ගත්තේ ය.

ඔවුන් ප‍්‍රථමයෙන්ම කොටින්ට ආයුධ පුහුණුවීම් ආරම්භ කෙළේ අලිමංකඩ කිලිනොච්චි ප‍්‍රදේශවලය. ප‍්‍රභාගේ ළඟම හිතවතකු වූ මහේන්ද්‍ර රාජා නොහොත් මහත්තයා ඔහුට සංවිධාන කටයුතුවලට මහත් ශක්තියක් වී තිබුණි. ප‍්‍රභාකරන් පසු කලෙක ඔහු ඝාතනය කෙළේ ය.

ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍යයේ අග නගරය බවට පත් කරගත්තේ කිලිනොච්චිය යි. ඊට බලපෑ හේතු ගණනාවක් විය. එනම් පරිපාලනමය ශක්තියක් ගොඩනැංවීම පිණිස හොඳ පරිසරයක් කිලිනොච්චිය තුළ විය.

මුහුදු මාර්ග ගොඩ බිම් මාර්ග ඒ සැම දෙයකටම සම්බන්ධ කිලිනොච්චියට හොර රහසේ මුහුදු මාර්ග හරහා ගෙන එන අවි ආයුධ සහ වෙනත් හොර ජාවාරම් කරගෙන යාමට සුදුසු පරිසරයක් විය. තවද ලංකාවේ අගනුවර වූ කොළඹට දුරින් පිහිටි ප‍්‍රදේශයක් වීමද ඔවුන්ට කිලිනොච්චිය කේන්ද්‍ර කර ගැනීමට හේතුවූ තවත් වාසියකි.

1980 වන විට කිලිනොච්චිය හා ඒ අවට ගම්මානවල පදිංචිව සිටියේ සිංහල හා මුස්ලිම් ජාතිකයන් ය. වෙළෙඳ්‍රම ගොවිතැන සාර්ථකව කරගෙන ඔවුන් ජීවත් වූහ. දෙමළ ජාතිකයන් සිටියේ සුළු පිරිසකි.

කොටි සංවිධානය ක‍්‍රමයෙන් ශක්තිමත් කර ගැනීමත් සමඟම පරන්තන්, පුනරින්, මුලතිව් ඇතුළු සෙසු ප‍්‍රදේශවල ද කොටි සංවිධාන කටයුතු ව්‍යාප්ත කෙළේ ය. ඒ අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල යෙදුන කොටි සංවිධානය උතුරේ සිංහල ගම්මානවල සිටි සිංහල වැසියන් එම පළාත් වලින් පළවා හැරීමට නියෝග කෙළේ ය.

1980 ආරම්භ වන විටම කොටි සංවිධානයේ නියෝගයට බියෙන් සිංහල හා මුස්ලිම් ජාතිකයන් තම සතු දේපළවලින් ගෙන යා හැකි සුළු ප‍්‍රමාණයක් ද සමඟ එම ප‍්‍රදේශවලින් පිටවූහ. ඒ සමඟම කොටි සංවිධානය සිංහල මුස්ලිම් ජාතිකයන් සතු දේපොළ කොල්ල කෑමටත් ඒ අතර ඉන්දියාවෙන් ගෙනා දෙමළ ජාතිකයන් සිංහලයන්ට අහිමි වූ ගම්මානවල පදිංචි කිරීමටත් පියවර ගෙන ඔවුන් ද කොටි සංවිධානයේ සාමාජිකයන් කළහ.

කිලිනොච්චිය ඇතුළු ප‍්‍රදේශවල කොටි සංවිධාන කටයුතු සිදු කෙරුනද පොලිසිය සහ වෙනත් පරිපාලන කටයුතු රජයෙන් සිදු කෙරුණි. වඩමාරච්චි සටන 1987 සිදු කෙරුනේ ප‍්‍රභාකරන් අල්ලා ගැනීම පිණිසය.

එහිදී ප‍්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන් යටත් වූහ. ඒ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන කොටි සංවිධානය නැත්තටම නැති කර දැමීමට හැකියාව තිබුණ ද එවකට පැවැති රජය ඒ සඳහා උනන්දුවක් ගත්තේ නැත.

ප‍්‍රභාකරන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි අවස්ථා තුනක් එවකට කිලිනොච්චි කේන්ද්‍රකොට ගෙන සිටි පොලිස් බුද්ධි අංශවලට අවස්ථාව ලැබුණ ද රජයෙන් ඊට අවසර නොලැබිණි. ඉන් අනතුරුව දැඩි වූ කොටි සංවිධානය උතුරේ කිලිනොච්චිය ප‍්‍රමුඛ සෙසු සියලුම ප‍්‍රදේශ බලහත්කාරයෙන් ඔවුන්ගේ සංවිධානය යටතට ගැනීමට කටයුතු කෙළේ ය.

ඒ සඳහා හමුදාව සමග වරින් වර ප‍්‍රහාර එල්ල කර ගත්හ. එවැනි ගැටුම් මධ්‍යයේ හමුදා බලයෙන් කොටි යටතේ 1996 දක්වා තිබූ කිලිනොච්චිය යළිත් 1996 දී සත්ජය කි‍්‍රයාන්විතය මගින් ආරක්‍ෂක හමුදා යටතට පත්විය.

එම කි‍්‍රයාන්විතය 2008 මානුෂික මෙහෙයුම තරම් දරුණු එකක් නොවුව ද ආරක්‍ෂක හමුදා සෙබළුන් විශාල පිරිසක් ජීවිතක්‍ෂයට පත් වූහ. තවත් පිරිසක් ආබාධිතයන් බවට පත්වූහ. එහිදී ආරක්‍ෂක හමුදා අත්පත් කරගෙන තිබූ කිලිනොච්චිය 1998 වර්ෂයේ දී යළි කොටි අතට පත්විය.

ඒ ගැටුමකින් නොවේ’ එවකට පැවැති රජය කොටි නායකයන් සමඟ ඇතිකරගත් ගිවිසුමක ප‍්‍රතිඵලයක් නිසා අපේ හමුදාවට කිලිනොච්චිය අතහැර අලිමංකඩ දක්වා යාමට සිදුවිය. එදා කිලිනොච්චිය කොටි ත‍්‍රස්තවාදීන්ට බාර නොදුන්නේ නම් අද මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවීමට හෝ ඉඩ තිබුණි.

ආරක්‍ෂක හමුදා කිලිනොච්චියෙන් ඉවත්ව ගිය පසු කොටි ත‍්‍රස්තවාදීන් ඔවුන්ට අවශ්‍ය පරිදි එම ප‍්‍රදේශයේ නිදහසේ කටයුතු කළහ. සංවිධාන කටයුතු මහා පරිමාණයෙන් සිදු කළහ.

රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු කොටි හිතවාදී අන්තර් ජාතික සංවිධානවලින් උදව් ලබා ගනිමින් ඔවුන් ගේ පරිපාලනමය කටයුතු එහි ශක්තිමත්ව ඇති කළහ. රජයේ මුදල්වලින් යැපෙමින් ත‍්‍රස්තවාදී සංවිධානයේ පැවැත්ම සඳහා අවශ්‍ය බොහෝ දේ එහි ඉදිකළහ.

කොටි උසාවිය, පොලිසිය, රෝහල්, කොටි මූලස්ථානය, පොලිස් මූලස්ථානය, විදේශ කටයුතු මූලස්ථානය, විදේශ ආධාරකරුවන් ගේ නිවාස, කොටි නායකයාගේ සාකච්ඡා මණ්ඩප, දේශපාලන කාර්යාල, ප‍්‍රභූ නිවාස, කොටි නායකයන් ගේ රැස්වීම් ශාලා, රෝහල, ආයුධ ගබඩා, කොටින්ගේ බැංකු, භාණ්ඩාගාර ආදි වශයෙන් වෙනමම ලෝකයක් එහි ඉදිකළහ.

මුලතිව්හි සැඟවී සිටි කොටි නායකයා ආවේ ගියේ කිලිනොච්චියට පමණි. ඒ 9 මාර්ගය ඔස්සේ උතුරට යන එන වාහන පුද්ගලයන් පවා කිලිනොච්චිය ට ඇතුල් කෙළේ දැඩි පරීක්‍ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව ය.

කිලිනොච්චිය කේන්ද්‍රකොට ගනිමින් උතුරේ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ජීවත් වීම සඳහා වෙනමම නීති පද්ධතියක් පවා කොටි සංවිධානය මගින් සකස් කෙරුණි. මහා මාර්ගයේ යන එන වාහනවලට පවා එම මාර්ග නීති පද්ධතිය බලපෑවේ ය.

මේ ආකාරයෙන් කටයුතු සිදු වෙමින් තිබියදී කොටින්ට නවීන තාක්‍ෂණය ද ළඟා කර දෙමින් අන්තර්ජාතික වශයෙන් විශාල සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට හැකි වන පරිදි 2002 සටන් විරාමය බිහි විය.

ලෝකයේ කිසිදු ත‍්‍රස්තවාදී සංවිධානයකට නිදහසේ තම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුවත් 2002 කොටි ත‍්‍රස්තයන්ට ඒ වාසනාව හිමි විය. ඔවුන්ට අවශ්‍ය තරම් විවෘත ලෝකය හා සම්බන්ධ වීමට හැකි විය. නවීන ලෝකයේ දියුණු රටකට ලබාගත හැකි ඉහළම තාක්‍ෂණික ක‍්‍රම ඒ අවස්ථාවේ ඔවුන්ගේ සංවිධානයට ලබා ගත්හ.

අන්තර් ජාලය, සැටලයිට් දුරකථන ක‍්‍රම, සෙසු ගරිල්ලා සංවිධාන හා සම්බන්ධ වීම, ඉහළම මට්ටමේ ආයුධ ගණුදෙනු, පුහුණුවීම් සඳහා සාමාජිකයන් විදේශ ගත වීම, විදේශීය රටවලින් ආධාර ලබා ගැනීම, කප්පම් වැඩ පිළිවෙළ අන්තර් ජාතික වශයෙන් පවත්වාගෙන යාම, දැවැන්ත ඔත්තු සේවාවක්

බිහිකර ගැනීම ආදි වශයෙන් මහා පරිමාණ සංවිධානාත්මක වාසි රැසක් උරුම කර ගැනීමට 2002 සටන් විරාමයත් සමඟම කොටි සංවිධානයට හැකිවිය. දෙමළ ජාතිකයන් පමණක් නොවේ දකුණේ සිංහල මුස්ලිම් ඇතැම් ජාති ද්‍රෝහීන් පවා තම සංවිධානයේ ඔත්තු සේවාවට සම්බන්ධ කර ගැනීමට කොටි නායකත්වයට හැකි විය.

කිලිනොච්චිය නොව උතුරේ කිසිම ප‍්‍රදේශයකට අත තබන්නට ඉඩ නොදෙන බවට කොටි නායකත්වය වරින් වර ප‍්‍රකාශ කෙළේ ය. පසුගිය මහා විරු දිනයේ පවා ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කෙළේ සිංහල හමුදාව උතුරට අත තිබ්බොත් දකුණ ලේ ගංගාවක් කරන බවට ය.

නැඟෙනහිරින් ලද පරාජය සමඟ ප‍්‍රභාකරන් එසේ පැවසුවේ ඇතැම් විට ඔහු සෑම පැත්තකින් ම පෝෂණයවී සිටි නිසා විය හැකි ය. හමුදාවට උතුරට අත තැබීමට හැකියාවක් නැතැයි ඔහු සිතන්නට ඇත.

උතුර බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ ප‍්‍රධානම ඉලක්කය බවට පත් වූයේ කිලිනොච්චි ප‍්‍රදේශය යි. කිලිනොච්චිය ආරක්‍ෂා කර ගැනීම පිණිස කොටි ත‍්‍රස්තවාදීන් නොකළ දෙයක් නැත. මහා ජල අගල්, පස් කඳු, මඩ වගුරු, කොන්කී‍්‍රට් බැමි ඉදිකර තිබුනේ ඒ නිසා ය.

ආරක්‍ෂක හමුදා ක‍්‍රමයෙන් කිලිනොච්චි වෙත ඇදී ඒමට සූදානම් බව පෙනී යද්දී කොටි නායකයාට ඒ ගමන වළක්වා ගැනීම පිණිස සටන් විරාමයක් අවශ්‍ය විය. ඒ සඳහා අන්තර්ජාතික සංවිධාන හරහා බොහෝ දේ සිදු කිරීමට උත්සාහ කෙළේ ය.

එසේ නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකම අරමුණ වූයේ සටන් විරාමයකට නොයා කෙසේ හෝ ත‍්‍රස්තවාදය අවසන් කළ යුතු බවය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ප‍්‍රමුඛ ති‍්‍රවිධ හමුදාපතිවරු එම කර්තව්‍යය සඳහා එක සිතින් කැමැත්ත ප‍්‍රකාශ කළහ.

ඔවුන් පැවසුවේ යුද්ධයක් කිරීමට සුදුසු ඉහළම ශක්තියක් හමුදාව සතු බවය. නැගෙනහිරින් ලද ජයග‍්‍රහණයේ ශක්තිය ද හමුදා භටයන් තුළ විය.

නැෙඟනහිර මෙහෙයුම අවසන් වන විට උතුරේ මෙහෙයුම් ආරම්භවී තිබිණි. එය ප‍්‍රකාශිත නොවූ රහසිගත එකක් විය. ඒ බවක් කොටි නායකයන්ට දැන ගැනීමට ඉඩ නොතිබිණි.

කොටි සංවිධානය ඔවුන්ගේ ප‍්‍රධානම ගුවන් පථය ඉදිකර තිබුනේද ඉරණමඩු ප‍්‍රදේශයේ ය. එම ප‍්‍රදේශය ඔවුන් අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කර තිබුණි. ඉරණමඩු වැව ඔවුන් ආරක්‍ෂා කෙළේ මහා සම්පතක් ලෙසිනි. එම ප‍්‍රදේශයේ ගොවිතැනට අවශ්‍ය ජලය රැස්කර තබා ගත් එම ස්ථානය ඉරණමඩු වැවය.

පසුගිය සුනාමි කාලයේ දී මුලතිව් කිලිනොච්චි ප‍්‍රදේශවලට ද බරපතළ ලෙස හානි සිදුවිය. ලෝකයේ බොහෝ රටවලින් මෙරටට ලැබෙන ආධාර වලින් විශාල ප‍්‍රමාණයක් උතුරට යැවිණි. එහෙත් එම ආධාරවලින් විනාශ වූ සුනාමි නිවාස තැනීම වෙනුවට කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශවල කොටි සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය බොහෝ දේ සිදු කෙරිණි.

රාජ්‍ය නොවන සංවිධාන ගෙන යන ආධාර තොග ගොඩ ගැසුනේ කිලිනොච්චිවල ය. කොටි කඳවුරු, බංකර්, සංවිධානයට අවශ්‍ය වෙනත් ප‍්‍රතිපාදන සඳහා එම ආධාර තොග එලිපිටම යොදා ගැනිණි.

කිසිවකුගේ විරෝධය කොටි නායකයාට ප‍්‍රශ්නයක් නොවීය. ප‍්‍රභාගේ ඒකාධිපති බලය කොටි සංවිධානයේ සෙසු සාමාජිකයන් ගේ විරෝධතාවය යටපත් කිරීමට හේතු විය.

නැෙඟනහිරින් පලා ගිය කොටි නායකයන් ගණනාවක් එක් රැස් වූූයේ කිලිනොච්චියට ය. ඔවුන් මුණ ගැසුනේ කොටි දේශපාලන අංශ නායකයා වූ තමිල් සෙල්වම් ය. තමිල් සෙල්වම් නැෙඟනහිර රැක ගැනීමට නොහැකි වූ නායකයන්ට දොස් නොපැවරුවත් ප‍්‍රභාගෙන් සමාවක් හිමිවූයේ නැත.

නැගෙනහිර හිටපු කොටි සන්නද්ධ අංශ නායක ස්වර්ණම් ප‍්‍රභාගේ අණ පරිදි කිලිනොච්චි පිහිටි කොටි දඬුවම් බංකරයකට යැවුනේ ඒ අනුවය. කාලයක් බංකර්ගතව සිටි ස්වර්ණන් අනතුරුව පරන්තන් බේරා ගැනීමේ සටනට යොදා තිබුණි.

කිලිනොච්චි අහිමි වීම යනු කොටි ත‍්‍රස්තවාදීන්ට තවත් කුමක් නම් රැක ගන්නද? කිලිනොච්චි රැක ගැනීම පිණිස ප‍්‍රභාකරන් මුලතිව් සිට කොටි සන්නද්ධ කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් එවා තිබුණි.

කිලිනොච්චි අත්පත් කර ගැනීමට එන ආරක්‍ෂක බළ සේනාවලට පරන්තන්වලින් පැන යාමට ඉඩ නොදීමට ඔවුන් සැළසුම් කෙළේ කිලිනොච්චි සමඟම පරන්තන් රැකගත යුතු වූ නිසා ය. එහෙත් ආරක්‍ෂක හමුදා උපක‍්‍රම හමුවේ කොටි නායකයාට පරන්තන් කිලිනොච්චි දෙකම අහිමි විය. එහි ප‍්‍රතිඵලය වශයෙන් මුහමලේ අලිමංකඩ පලෙයි ප‍්‍රදේශය ද අහිමි වෙමින් පවතින බව ස්ථිරවම කිව යුතුය.

වැල්වැටිතුරේ උපන්නත් ප‍්‍රභාකරන් ජීවත් වූයේ කිලිනොච්චියේ ය. ඔහුගේ සංවිධාන ශක්තිය ගොඩ නගා ගත්තේ කිලිනොච්චි සිට ය. තම ආයුධ ශක්තිය බලය පමණක් නොවේ අන්තර් ජාල වෙබ් අඩවි ඇතුළු නවීන ලෝකය සමඟම සම්බන්ධකම් පැවැත්වීමට ඔහු යොදා ගත්තේ කිලිනොච්චිය යි. 1980 වර්ෂයේ දී එනම් කොටි සංවිධානයේ ලපටි කාලයේ දී ප‍්‍රභාකරන් කිලිනොච්චි වඩේ කඩ අසල නිතර ගැවසෙනු ඒ කාලයේ සංවිධානය සම්බන්ධ තොරතුරු එක් රැස් කළ බුද්ධි නිලධාරීන්ට දැක ගැනීමට හැකිවිය.

එවකට එනම් 1980 කිලිනොච්චි පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ මාතුපාල පියරත්න මහතා පවසන්නේ ප‍්‍රභාකරන්ට කිලිනොච්චි තරම් වටිනා සම්පතක් ඊළාම් සිහිනය තුළ නොවූ බවයි. මීට දශකයකට පමණ පෙර සිට ඔහු සතියකට වරක් මුලතිව් සිව කිලිනොච්චි වෙත පැමිණෙයි. ඒ ඔහුට අවශ්‍ය පුද්ගලයන්, සෙසු කොටි නායකයන් මුණ ගැසීම සඳහා ය.

දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ එන කොටි නායකයා ගමන් ගන්නා මාර්ගය හරහා ඒ අවස්ථාවේ කිසිවකුටත් ගමන් කිරීමට ඉඩ නොතබයි. අඩුම වශයෙන් මාර්ගයේ සිටින පිරිස ඔහු ගමන් ගන්නා මාර්ගයට පිටුපා සිටිය යුතු විය. 2006 වසරේ සිට ඔහු කිලිනොච්චියට පැමිණීමෙන් පවා වැළකී සිටීමට පියවර ගෙන තිබුණි. ඊට හේතුව ආරක්‍ෂාව යි.

සංවිධානයේ කටයුතු සිංහල හමුදා බුද්ධි අංශවලට දැන ගැනීමට ඉඩ ලැබීම කෙරෙහි ඔහු කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සමඟ පවා උරණ වී සිටියේ ය. ඔහු මුලතිව් සැඟවී සිටි අවදියේ ම වරෙක ආරක්‍ෂාව පිණිස කිලිනොච්චි භූගත බංකරයකට පැමිණ ඇති බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණි.

මේ ආකාරයෙන් කොටි සංවිධානයේ උපතේ සිට එහි විපත දක්වා විවිධ වූ කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ වූ කිලිනොච්චිය අහිමි වීම ප‍්‍රභාකරන් කෙසේ දරාගනු ඇති දැයි නිගමනය කළ නොහැකි ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා