2009-01-06

අපි කිලිනොච්චිය කියවමු

අපි කිලිනොච්චිය කියවමු

‘කිලිනොච්චිය’ කොළඹ කන්කසන්තුරේ දුම්රිය මාර්ගයේ ප‍්‍රධාන දුම්රිය ස්ථානයකි. මහනුවර යාපනය ඒ – 9 මාර්ගය කිලිනොච්චිය නගරය හරහා වැටී ඇත. මෙයින් බලන කළ ‘කිලිනොච්චිය’ දිවයිනේ වැදගත් නගරවලින් එකකි.

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය

පසුගිය වසර ගණනාවක් පටන් කිලිනොච්චිය පිළිබඳව අප කියවූයේ එය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ (කොටි) ග‍්‍රහණයට නතුව තිබූ නගරයක් ලෙස ය.

‘ජයසිකුරු’ මෙහෙයුමෙන් 1996 වර්ෂයේදී යාපනය කොටින්ට අහිමිවීමත් සමඟ දිවයිනේ දකුණු දිගට පැන ආ කොටි සිය මූලස්ථාන නගරය බවට පත්කර ගත්තේ කිලිනොච්චිය යි. යාපනය කොටින්ට අහිමිවීම යනු එය කොටින්ගේ අභිමානයටද එල්ල වූ දැවැන්ත පහරකි.

නැතිවී ගිය තම අභිමානය කොටි යළි ගොඩනගා ගත්තේ කිලිනොච්චිය නගරය වටකරගෙන හැදූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සිහින ඊළාම් රාජ්‍යයේ බලකොටුව තුළ ය. කිසිදාක බිඳලිය නොහැකි යැයි සිතු සිහින ඊළාම් රාජ්‍යයේ බලකොටුව අද මේ වනවිට කැඩී බිඳී බොඳවී ගොස් අවසන් ය.

කිලිනොච්චිය නගරය දිවයිනේ වියළි කලාපයේ පිහිටියත් එය වියළි කලාපයේ සිසිල්ම නගරය යැයි හැඳින්වුවහොත් එය නිවැරැදි ය. මන්ද යත්, නගරය මැද පිහිටි වැව මෙම සිසිල් බවට මූලික හේතුව යි.

‘ඩුයාරු කුලම්’ නමින් හැඳින්වෙන මෙම වැව දිගින් කිලෝමීටර් 3 ක්ද පළලින් කිලෝමීටර් 3 ක වපසරියක පැතිරී ඇත. මේ වැව හරහා නිරන්තරයෙන් හමා යන සුළඟින් කිලිනොච්චි නගරයේ දහවලට පවා ඇති දාහය නිවී යන්නේ කොයි කාගේත් සිත් සතන් සනසමිනි.

දෙමළ භාෂාව අනුව ‘කිළි’ යනු ‘ගිරවා’ යන අර්ථය ගෙන දේ. ‘නොච්චි’ යනු දෙමළ භාෂාවෙන් ‘ගස්වලට’ කියන නාමයකි. ඒ අනුව ‘කිලිනොච්චිය’ යනු ‘ගිරව් වාසය කළ ගස්’ යන තේරුම යි.

පොත පතේ සඳහන් වන අන්දමට කිලිනොච්චිය නගරය සහ ඒ අවට ඇති සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32 කි. එය දිවා කාලය සහ රාතී‍්‍ර කාලය අනුව වෙනස් වේ. බොහෝ වේලාවට රාතී‍්‍ර කාලයේදී මෙම ප‍්‍රමාණය පහත වැටේ.

කිලිනොච්චි ප‍්‍රදේශයට ඇද හැලෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1250 සිට 1500 අතර ප‍්‍රමාණයක පවතී. මුහුදු මට්ටමේ සිට මීටර් 150 ක් උසින් කිලිනොච්චිය පිහිටා ඇත. නගරය මැද පිහිටි ‘ඩුයාරුවැව‘ට අමතරව කිලිනොච්චිය නගරය වටා කුඩා වැව් ගණනාවක් පිහිටා ඇත.

යාපනයෙන් පසුබසින කොටි සංවිධානය කිලිනොච්චිය මුල්කරගෙන තම සිහින ඊළාම් රාජ්‍යයේ මහ බලකොටුව නිර්මාණය කිරීමට තීරණය කරන්නේද කිලිනොච්චිය අවට පවතින මේ ජල සම්පත ගැන සිතමිනි. කොටි සංවිධානයට කිලිනොච්චිය යුදමය අතින් ඔවුන්ගේ උපක‍්‍රමවලට මහා අනුබලයක් නොදුන්නත් ඔවුන්ගේ පැවැත්මට මෙම පළාත සුදුසු වීම කොටි කිලිනොච්චියේ රැඳී සිටීමට මුලික හේතුව වේ.

ලංකා බැංකුව

කිලිනොච්චියට වඩා ‘පුනරීන්’ කොටි සංවිධානයට යුදමය අතින් ඉතා වැදගත් ස්ථානයකි. නමුදු පුනරීන් බලය තම අතින් ගිලිහී යාමට වඩා වැඩි පාඩුවක් කිලිනොච්චිය ගිලිහී යාමෙන් කොටින්ට සිදුවනු ඇත. සැබැවින්ම එය කොටි සංවිධානයට දරාගත නොහැකි පාඩුවකි.

එය ඔවුන්ගේ අභිමානය බිංදුවටම වැටීමකි. කිලිනොච්චියෙන් පලායන කොටින්ට යාමට ඉතිරිව ඇත්තේ මුලතිව් මහ වනය පමණී. මහ වනයට කොටුවන කොටින්ගේ ආයුෂ ඉතා කෙටි බව ගත වූ දශක ගණනාවක යුද ඉතිහාසය අපට සාක්ෂි දරයි.

යාපනය – මහනුවර (ඒ – 9) මාර්ගයේ පිහිටි නගර අතර ප‍්‍රධානතම නගරය කිලිනොච්චිය යි. කිලිනොච්චියේ සිට යාපනයට කිලෝ මීටර් 60 ක දුරක් පවතී. දකුණෙන් ඇති ප‍්‍රධානම නගරය මාන්කුලම් ය. කිලිනොච්චියේ සිට මාන්කුලම් නගරයට ඇති දුර කිලෝමීටර් 50 කි. සැතපුම් ලෙස බැලුවොත් කොළඹ සිට කිලිනොච්චියට දුර සැතපුම් 208 කි.

මහනුවර සිට කිලිනොච්චියට දුර සැතපුම් 158 කි. කිලිනොච්චියට නැඟෙනහිරින් ඇත්තේ මුලතිව් දිස්ති‍්‍රක්කය යි. කිලිනොච්චියට මදක් උතුරින් පිහිටි පරන්තන් නගරයේ සිට මුලතිව් දක්වා ඒ – 35 මාර්ගය වැටී ඇති අතර මුලතිව් සිට මුල්ලියාවෙලයි, ඔඩ්ඩුසුඩාන්, ඕලුමඩු හරහා මාන්කුලම් දක්වා ඒ – 34 මාර්ග වැටී ඇත.

කිලිනොච්චියට බටහිරින් පුනරීන් නගරය පිහිටා ඇත. කිලිනොච්චිය නගර සීමාවේ මෙයට වසර දහයකට (10) පමණ පෙර ජනගහනය එක් ලක්ෂ පනස් දහසක් (150000) සිිටි බව සංඛ්‍යාලේඛන හෙළි කරයි. පසුගිය කාලය තුළ කිලිනොච්චිය යට කරගෙන පැවැති යුද්ධය හේතුවෙන් එහි වාසය කරන ජනගහණයේ සංගණනයක් සිදුව නැත.

යටත් විජිත යුගයේ දී කිලිනොච්චිය ඝන වනාන්තරයක්ව පැවැති බව පත පොතේ සඳහන් වේ. විශේෂයෙන් බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට අප යටත්ව සිටි යුගයේ උතුරු පළාත සංවර්ධනය කිරීමට හා සන්නිවේදනය වැඩි දියුණු කිරීමට බි‍්‍රතාන්‍යයන්ට අවශ්‍ය වී ඇත.

හින්දු කෝවිල

1930 ගණන්වලදී පමණ කිලිනොච්චියේ වාසය කර ඇත්තේ පවුල් කීපයකි. එකල අප රටට මහත් වසංගතයක්ව පැවැති මැලේරියා රෝගය කිලිනොච්චිය, වව්නියාව, මාන්කුලම්, මුලතිව් වැනි ප‍්‍රදේශවල ඉතා තදින් පැතිරී යාම නිසා රටේ අන් ප‍්‍රදේශවලින් පිටස්තරයන් මෙහි පැමිණ පදිංචිවීමට මැලිකමක් දැක්වූහ.

කිලිනොච්චියේ තිබූ ඉඩම් මුළුමනින්ම පැවැරීමේ විකල්ප සැලැස්මක් බි‍්‍රතාන්‍යය පාලකයන් සතුවිය. එම සැලැස්ම බෙහෙවින් සාර්ථක විය. 1940 වර්ෂයේදී පමණ එහි පදිංචියට කැමැති රටේ අනෙකුත් ප‍්‍රදේශවල ජනතාවට අක්කර 30 – 40 ප‍්‍රමාණයේ ඉඩම් පවරා දෙනු ලැබීය.

එසේ පවරා දෙනු ලැබූ ඉඩම්වල වගා කිරීමට එම ජනතාවට ජලය අවශ්‍යය විය. එයට විසඳුම ලෙස ඉරණමඩු වැව ඉදි කෙළේය. ඉරණමඩු වැවට එක්රැස්වන ජලය නගර මධ්‍යයේ පිහිටි ‘ඩුයාරුවැව‘ට ගෙන ඒමට සැලැස්විණ.

ඉරණමඩු වැවට ජලය එක්රැස් වූයේ කිලිනොච්චි නගරයෙන් සැතැපුම් 2 ක් ඔබ්බට දකුණු පැත්තට විහිදී පැතිරී ඇති ඝන වනාන්තරයෙනි. මෙම ඝන වනාන්තරය දකුණු දෙසින් වව්නියාව දක්වා පැතිර පවතී. සැබැවින්ම මෙය උතුරු පළාතේ වැසි වනාන්තරයකි. මෙම වනය කිලිනොච්චියෙන් නැඟෙනහිරට වන්නට මුලතිව් දක්වාද පැතිර පවතී.

එම කැලෑබද ප‍්‍රදේශය කිලිනොච්චි ප‍්‍රදේශයට වඩා උසින් යුක්ත වේ. කිලිනොච්චියට දකුණේ වූ වනාන්තරයෙන් ඇරැඹෙන ජල ධාරාවන් සියල්ල ඉරණමඩු වැවට ගලා බසින්නේය. ඉරණමඩු වැව ශ‍්‍රී ලංකාවේ විශාලත්වයෙන් තුන්වැනි වැව වේ.

ඉරණමඩු වැවෙන් කිලිනොච්චියේ සරු පසට අවශ්‍යය කරන ජලය සැපයිනි. ඉරණමඩු වැවෙන් අලිමංකඩටද පුනරීන් ප‍්‍රදේශයටද ජලය ලබාගෙන තිබූ බව ඒ ප‍්‍රදේශයේ දැනටත් ඉතිරිව ඇති විනාශයට ලක්වූ අමුණු හා සොරොව් සාක්ෂි දරයි. කිලිනොච්චිය එකල වී වගාවට වඩා ප‍්‍රසිද්ධ ප‍්‍රදේශයකි. එම වී වගාවට අවශ්‍ය ජලය ඉරණමඩු වැවෙන් ගෙන ගොස් ගබඩා කෙළේ ඩුයාරු වැවේය.

කිලිනොච්චියේ සහ ඒ අවට කි‍්‍රයාත්මක වූ මෙම ජල ව්‍යාපෘතිය ඉතා සාර්ථකව පැවැතී ඇති අතර අභාවප‍්‍රාප්ත ඩී. එස්. සේනානායක මහතා කිලිනොච්චිය හා ඒ අවට ප‍්‍රදේශවල ජනපද ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

එම පළාතේ පදිංචි වන ජනපදිකයන්ගේ එක් අයෙකුට මඩින් ඉඩම් අක්කර 3 ක්ද, ගොඩින් ඉඩම් අක්කර 2 ක්ද ලබාදී පදිංචි කර ඇත. ‘වට්ටකඩ්ඩි’, ‘මුරුසාමොටෙයි’, ‘උනාර්පුරම්’ සහ ‘ගනේෂ්පුරම්’ එසේ ඉඩම් ලබා දී පිට පළාත්වලින් පිරිස් ගෙනවිත් පදිංචි කල ජනපද කීපයක නම්ය.

කිලිනොච්චි ප‍්‍රදේශයේ වාසය කළ සිවිල් සේවකයන්ගේ නමින් හැඳින්වෙන ‘ඇමසන් පාර’, ‘කෙනඩි පාර’ මෙයට වසර 10 කට පෙරද ඒ අයුරින්ම භාවිත වූ නම් ය. මෙම නම් මුල්වරට භාවිත වී ඇත්තේ බි‍්‍රතාන්‍යයන් අප රට පාලනය කළ කාලයේදී ය. නමුදු අද වනවිට ඒ මාර්ගවල නම් කොටි ත‍්‍රස්තවාදීන් වෙනස් කර ඇද්දැයි අප නොදනිමු.

එපමණක් නොව 1960 ගණන්වලදී කිලිනොච්චිය ප‍්‍රදේශයේ උගත් ජනතාවට රජයෙන් ඉඩම් ලබා දී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ බවට ‘තිරුවියාරු’ සහ ‘කගොපුරම්’ ගම්මානවල උගත් තුරුණු යෝජනා ක‍්‍රම ආරම්භ කර තිබීමෙන් ඔප්පු වේ. එදා කිලිනොච්චියේ ගොවියාට තුවක්කුවක් ගැනීමට අවශ්‍යය නොවීය.

ඔහුට හිතේ හැටියට වගා කිරීමට කුඹුරුද, ඒවාට අවශ්‍යය ජලයද සපයා තිබිණ. එදා කිලිනොච්චියෙන් බිහි වූ උගතාට බෝම්බ හැදීමට අවශ්‍ය නොවීය. ඔහුට නිසි තැන ලබාදී තිබූ අතර ඔහුව අගයමින් විවිධ යෝජනා ක‍්‍රමද කි‍්‍රයාත්මක විය.

නගර මධ්‍යයේ පිහිටි ‘ඩුයාරු කුලම්’ වැව

මෙවන් සාමකාමී ගම්, සාමකාමී නගර එහි වාසය කළ සාමකාමී ජනතාව කරා භීෂණය පතුරුවා හරිමින් මුළුමහත් දෙමළ ජාතියම, මුළු උතුරම මුළු නැඟෙනහිරම, මුළු රටම විනාශ කෙළේ වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ විකල් මනස ය.

ප‍්‍රභාකරන්ගේ මෙම විකල් මනසත් එදා මෙදාතුර දෙමළ සමාජය ලැබූ වරප‍්‍රසාද සියල්ල නැත්තටම නැති කෙළේය. ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වූ කෘෂිකර්මාන්තය විනාශ මුඛයට ඇඳ දැම්මේය.

උතුරු පළාත තල් වගාවට ප‍්‍රසිද්ධ වූවත් කිලිනොච්චියේ ජනතාව වී වගාව සේම පොල් වගාවද ඉතා සරුවට වගා කළහ. යාපනය දිස්ති‍්‍රක්කයට අවශ්‍යය සහල් සියල්ල සැපයුවේ කිලිනොච්චියේ වගා කරන වී ගොවිතැනෙන් ය.

ඔවුහු වසරකට කන්න දෙකක් වී ගොවිතැන් කළහ. විශේෂයෙන් කිලිනොච්චියේ ‘රතු සහල’ට උතුරුකරයේ පමණක් නොව දකුණු පළාතේද හොඳ ඉල්ලුමක් තිබිණි.

වී වගාව සේම කිලිනොච්චියේ ඉතා සරුවට කෙරුණු තවත් වගාවක් වූයේ හේන් ගොවිතැන ය. ලඳු කැලෑ එළිපෙහෙලි කරමින්, ඒවා ගිනි තියා පුලුස්සා කිලිනොච්චිය ප‍්‍රදේශයට ආවේනික ‘රතු පස’ පිහිටි බිම පෙරළා සකසා ගන්නා බිමෙහි මිරිස්, ලූනු සහ පහත රට වැවෙන එළවළු වර්ග ඉතා සරුවට වැවෙන්නේ ය.

එම හේන් ගොවිතැනින් විශාල ආදායමක් එදා කිලිනොච්චියේ ගොවියා පමණක් නොව උතුරේ සෑම ගොවි මහතෙක්ම ලැබීය. බොහෝවිට මෙම හේන් ගොවිතැන සිදුකෙරෙනුයේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ඇදහැලෙන වැසි කාලයත් සමඟ ය.

මෙයට වසර 10 ට පමණ පෙර කිලිනොච්චියේ ජනතාවගෙන් 75% ක් පමණ ප‍්‍රමාණයක් මනා අධ්‍යාපනයක් ලත් උගත් ජනතාවක් සිටි බවට සාක්ෂි ඇත. ඒ බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග ප‍්‍රතිඵල සංඛ්‍යාලේඛන සාක්ෂි දරයි.

කිලිනොච්චියේ වෙසෙන ජනතාවගෙන් උඩරට දෙමළ, යාපනයේ දෙමළ මෙන්ම ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයාගේ සම්මිශ‍්‍රණයක් පැවැති ඇත.

කුල ක‍්‍රමය කිලිනොච්චියේ ඉතා තදින් පැතිර ඇති අතර හින්දු දේවාලවල ආගමික කටයුතුවල නිරත බ‍්‍රාහ්මණ කුලය ඉතා ඉහළින් එවක සමාජය සලකා ඇත. බ‍්‍රාහ්මණ කුලයට අමතරව සමාජය තුළ කැපී පෙනෙන්නේ වෙල්ලාල කුලයේ පවුල්වල පිරිස් ය.

කිලිනොච්චියේ වාසය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලැබීමට නගරයේ පාසල් කීපයක්ම පැවැති අතර එම පාසල්වලින් සිසුනට මනා අධ්‍යාපනයක් ලබා දී ඇති බව එම පාසල්වල සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කි‍්‍රයාකාරකම් සහ විභාග ප‍්‍රතිඵල සාක්ෂි දරනු ඇත. කිලිනොච්චි නගරයේ මෙයට වසර දහයකට පමණ පෙර එකම සිංහල පාසලක් තිබී ඇත.

යාපනය, කන්කසන්තුරේ සිට උතුරින් එන ජනයාගේද භාණ්ඩ වෙළෙඳුන්ගේද දකුණේ සිට එන ජනයාගේද භාණ්ඩ වෙළෙඳුන්ගේද භාණ්ඩ හුවමාරු කරගන්නා වෙළෙඳ නගරයක් ලෙස කිලිනොච්චිය ඈත අතීතයේ සිට චිර ප‍්‍රසිද්ධ ය. පුනරීන් ප‍්‍රදේශයේ සිට ආවත්, මන්නාරම් ප‍්‍රදේශයේ සිට පැමිණියත් මුලතිව් ප‍්‍රදේශයේ සිට පැමිණියත් මේ සෑම ප‍්‍රදේශයකම කේන්ද්‍රස්ථානය වී ඇත්තේ කිලිනොච්චි නගරයයි.

වෙළෙඳ භාණ්ඩ මුදලට ගැනීමට වඩා භාණ්ඩ හුවමාරුව මෙහි සිදුවීම විශේෂත්වයකි. ඒවා මුදලට ගැනීම සිදුවී ඇත්තේ මෙයට දශකයකට පමණ පෙර සිට ය. මෙම හේතුව නිසාම කිලිනොච්චිය ජනාකීර්ණ නගරයක් වී පැවැතී ඇත.

මුස්ලිම් පල්ලියක්

වියළි කලාපයේ බොහෝ තැන්වල දක්නට ලැබෙන වීර, පලු, බුරුත, මහෝගනී වැනි ගස් කිලිනොච්චියේද දක්නට ඇත. එමෙන්ම අඹ, දොඩම්, දෙහි, පේර, වරකා වැනි පලතුරුද ප‍්‍රදේශය පුරා දක්නට ඇත.

කිලිනොච්චිය අවට වනාන්තරය වලසුන් වාසය කිරීම පිළිබඳ ඉතා ප‍්‍රසිද්ධය. දෙමළ බසින් වලසාට කියනුයේ ‘කුරුඩි’ යනුවෙනි. කිලිනොච්චිය නගර මධ්‍යයේ ‘කුරුඩි බොක්ක’ යනුවෙන් හැඳින්වෙන තැනක්ද වේ.

අතීතයේ දී මෙම ‘කුරුඩි බොක්ක’ නම් ස්ථානයෙන් දියබීමට වලසුන් පැමිණ ඇති බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. වනයේ වාසය කරන මුවන්ද කැලෑ සතුන්ද රංචු පිටින් දිය බීමට සහ අමු තෘණ කෑමට නගර මධ්‍යයේ පිහිටු ‘ඩුයාරු කුලම්’ වෙත පැමිණීමට පුරුදුව සිටි බව ජනපොතේ සඳහන් වේ.

දහවල සෙල්සියස් අංශක 35 සහ රාතී‍්‍ර සෙල්සියස් අංශක 25 දක්වා උෂ්ණත්වය වෙනස්වීමකට කිලිනොච්චි ප‍්‍රදේශය ලක් වේ. මෙම උෂ්ණත්ව වෙනස්වීම නිසා ප‍්‍රදේශයේ ඇදුම රෝගීන් බහුලව දක්නට ඇත.

කිලිනොච්චිය ප‍්‍රදේශයේ විවිධ ජනවර්ග කීපයක්ම සිටීම හේතුකොටගෙන ඒ ජනවර්ග අනුගමනය කරන සංස්කෘතිය හා සම්ප‍්‍රදායයන්ද එකිනෙකට වෙනස් ය. එහෙත් නුග ගස් වැනි විශාල ගස් යට සුන්දර පරිසරයන්හි නිසල කෝවිල් පිහිටා තිබෙනු සෑම මීටර් 500 ක් පාසාම දක්නට ඇත.

දකුණේ සිට එදා යාපනයට යන එන බෞද්ධ බැතිමතුන් වැඳ පුදා ගන්නා බෞද්ධ විහාරයක්ද කිලිනොච්චිය නගරයේ එදා පිහිටා තිබිණි. එහි අද තත්ත්වය කුමක්ද යන්න අපට කීමට නොහැක. ඒ වාගේම නගරයේ සෑම තැනකම වාගේ මුස්ලිම් පල්ලි, කි‍්‍රස්තියානු පල්ලි එදා පිහිටා තිබී ඇත.

මුලදී කිලිනොච්චිය අයත් වුණේ යාපනය දිස්ති‍්‍රක්කයට ය. එවකට කිලිනොච්චිය අයත් මැතිවරණ කොට්ඨාසය වූයේ ‘කරච්චි’ ය. කලෙක කිලිනොච්චිය සුළු නගර සභාවක් ලෙස පාලනය විය. සුළු නගර සභාවේ වපසරිය ව.සැ. 1.7 කි. එදා එහි කොට්ඨාස ගණන 7 ක් විය.

1972 වර්ෂයේ දී එහි ඡන්ද දායක සංඛ්‍යාව 3,368 ක් විය. 1971 වර්ෂයේදී කිලිනොච්චියේ මුළු ජනගහන්‍ය 11,804 ක් විය. එම ප‍්‍රමාණය 1998 පමණ වනවිට 1,50000 ක පමණ ප‍්‍රමාණයකට ඉහළ ගොස් තිබිණ. ජනගහණය ව්‍යාප්තවීම සහ සංවර්ධන කටයුතු කඩිනම් වීම මත එය යාපනය දිස්ති‍්‍රක්කයෙන් වෙන් කොට නව දිස්ති‍්‍රක්කයක් ලෙස 1984 වර්ෂයේදී රජය ස්ථාපිත කෙළේය.

මෙවන් අතීතයකට උරුමකම් කියන සරුසාර පොළොවකට උරුමකම් කියන, ජල උල්පත්වලින් පෝෂිත ජනාකීර්ණ නගරයක්ව පැවැති කිලිනොච්චිය ගත වූ වසර තුළ හුදකලා වූයේ යුද්ධය හේතුවෙනි.

එවන් සශ‍්‍රික භූමියක පුපුරා ගියේ අතිබිහුසුණු බෝම්බය. ජලය වෙනුවට ඒ පොළවට වැටුණේ රක්ත වර්ණ රුධිරය යයි. සිත්පිත් නැති විකල් මනසකින් හෙබි ලේ පිපාසිතයකුගේ කුරිරු ත‍්‍රස්ත කි‍්‍රයාදාමවලින් දූෂිත වූ කිලිනොච්චියට යළිත් සාමයේ අරුණලු වැටී නිදහසේ හුස්ම වැටෙන්නට පටන්ගෙන ඇත. සැබැවින්ම මෙය ආශ්චර්යයකි. නමුත් එය දැන් සිදුව ඇත.

විශේෂ ස්තුතිය
ප. දරා පේ‍්‍රමවර්ධන, කේ. පී. ජී. කුමාරසිරි මහත්වරුන්ට

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා