2009-01-06

බංකර් දැරියකගේ කතාව...

බංකර් දැරියකගේ කතාව...

කොටි සංවිධානය බලහත්කාරයෙන් ළමුන් ඇතුළු සිවිල් ජනතාව යුද පෙරමුණේ නොයෙක් කි‍්‍රයාවන් සඳහා යොදා ගත්හ.

අනාරක්ෂිත ප‍්‍රදේශවල සිටින ජනතාවට කොටි ත‍්‍රස්තයන් දෙන වද හිංසා පිළිබඳවත් ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පුනරින් පරන්තන් ප‍්‍රදේශවල සංචාරය කළ අවස්ථාවේ අපට හැකිවිය.

කොටි විසින් මේ ප‍්‍රදේශවල බංකර්වල සේවයට යොදවා සිටි තරුණියන්, කුඩා ළමුන් ඔවුන්ගේ දෙමව්පියන්ට, පෙම්වතාට, සොහොයුරාට ලියන ලද ලිපි රැසක් හමුදාව අල්ලාගත් බංකර්වල තිබී අපට හමුවිය. ඒවායේ සඳහන් කරුණු කිහිපයක් සටහන් කිරීම කාලෝචිතය.

“අම්මා මුළු ලෝකයම ආලෝකවත් කරනවා. අම්මා ලෝකයේම පහන් දල්වනවා. දරුවකුගේ දුක හොඳින්ම දන්නේ අම්මා පමණයි. ඒත් මට මගේ අම්මා ළඟ ඉන්න විදියක් නැහැ.

කොටි ත‍්‍රස්තයෝ මාව හිර කරලා යුද්ධයට යොදා ගන්නවා.” කොටි ත‍්‍රස්තවාදින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින නන්දනී නැමැති දැරිය සිය මවට ලියන ලද ලිපියේ මෙම කරුණු සඳහන් විය.

මේ ලිපිය හමුවූයේ 58 වන සේනාංකයේ සෙබලුන් අත්පත් කරගත් පරන්තන් පුනරින් මාර්ගයේ කොටි විසින් සකස් කර තිබූ බංකරයක් තුළ තිබීය.

ටී. නන්දනී නැමැති දැරියගේ දෙමව්පියන්ගෙන් එම දැරිය කොටි විසින් පැහැර ගෙනවිත් ඇති බව මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම දැරිය කොක්කුතුඩුවායි ප‍්‍රදේශයේ පදිංචිව සිටින අවස්ථාවේ කොටි ත‍්‍රස්තයෝ ඇය පැහැරගෙන ගොස් තිබේ.

ඇගේ පවුලේ තවත් සහෝදර සහෝදරියන් සිව්දෙනෙකි. වැඩිමහල් සොහොයුරා කොටි සංවිධානයට එක්ව සිටි අවස්ථාවේ හමුදා ප‍්‍රහාරයකින් මියගොස් ඇත.

මෙම දැරිය විසින් මවට ලියන ලද ලිපියෙහි මෙසේද සඳහන් කර ඇත.

“අම්මා මට ගොඩක් ප‍්‍රශ්න. කෑම කන්න නැහැ. කොටි නායකයින් නිතර මට බැන වදිනවා. මරණ බවට තර්ජනය කරනවා. පහර දෙනවා. යුද වදින ප‍්‍රදේශවල රාජකාරිවලට යවනවා. වැස්සට හොඳටම තෙමෙනවා.

අපි ඉන්නේ ගස් යට. මගෙත් එක්ක හිටපු තව අක්කා කෙනෙකුට සර්පයෙන් දෂ්ඨ කරලා මැරුණා. අම්මා පවුලේ සියලුදෙනා මතක් කළා කියන්න.

මට ගෙදර අය නිතර මතක් වෙනවා. අම්මාගේ අතට මේ ලිපිය ලැබෙන කොට මාව මියගොස් තිබෙන්න පුලුවන්. ඒත් අම්මාගේ චුටි දුව සැමදාම අම්මාට ආදරෙයි.

මේ ආකාරයට නොයෙක් කරුණු සඳහන් ලිපි රැසක් අපට හමුවිය. කොටින්ගේ අරමුණු කොටින්ගේ වද හිංසා පිළිබඳව මේ ලිපි කියවන ඕනෑම කෙනෙකුට හැඟී යයි. කොටි ත‍්‍රස්තයෝ ඊළමට පමණක් කැපවී ත‍්‍රස්තවාදය වපුරා දැමීමට කටයුතු කරන බව මනාවට පෙන්නුම් කරයි.

කොටි ත‍්‍රස්තයන්ගේ ප‍්‍රබල කොටි කඳවුරු දෙකක් වන පරන්තන් සහ කිලිනොච්චි අත්පත් කර ගැනීමට හමුදාව සමත්වී ඇත.

සටහන් තබන ලිපිය පළවන දිනයවන විට කොටි ත‍්‍රස්තයන්ගේ අණ යටතේ තිබෙන අලිමංකඩ ප‍්‍රදේශය හමුදාව සතුවිය හැකිය.

කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර එල්ල කරමින් හමුදාව මුලතිව් ප‍්‍රදේශයද මුදාගන්නා කාලය වැඩි ඈතක නෙවේ. යුද හමුදාව සේනාංක අටකින් මුලතිව් වටලා ඇත.

වන්නියේ සිවිල් වැසියන්ට ඔවුන්ගේ නිදහස් ලෝකය ඉතා ඉක්මනින් ළඟාකර දීමට ති‍්‍රවිධ හමුදාව සියලු කටයුතු සිදුකරමින් සිටියි.