2009-01-06

‘මගේ පුතා රටට බාරයි’

‘මගේ පුතා රටට බාරයි’

කිලිනොච්චිය දිනා ගැන්මට රණවිරු පවුල් කළ කැපකිරීම...

කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකියාවක් නොමැති බව ඇතැම් දේශපාලඥයින් දේශද්‍රෝහීන් ප‍්‍රකාශ කර සිටි මොහොතක ති‍්‍රවිධ හමුදාව පොලිසිය එක්ව කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව ජයග‍්‍රහණ රැසක් මේ වන විට ලබා තිබේ.

මෙහි වැදගත්ම ස්ථානයට පැමිණීමට අප ත‍්‍රිවිධ හමුදාවට හැකි වූයේ ඉකුත් දෙවනදාය. කොටින්ගේ හදවත බඳු කිලිනොච්චිය අත්පත් කර ගැනීමත් සමගම පුංචි ශ‍්‍රී ලංකාව ලෝකයාට පණිවුඩයක් රැගෙන යයි. ලෝකයෙන්ම ත‍්‍රස්තවාදය තුරන් කිරීමට හැකි බව මේ පණිවුඩයෙන් ලෝකයාට කියැවිණි.

රණවිරු පියෙක් ජනාධිපතිතුමන්ට තම පුතු ගැන පවසමින්...

මාවිල් ආරු ජලය නවතාලමින් අහිංසක ගොවීන්ට කොටි ත‍්‍රස්තවාදීන් කළ කුරිරු කි‍්‍රයාව කොටින්ට සාපයක්ම විය.

මාවිල් ආරු අමුණ කොටි ග‍්‍රහණයෙන් මුදාගත් හමුදාවෝ මුලු නැගෙනහිරම කොටි ග‍්‍රහණයෙන් මුදා ගෙන උතුරේ මානුෂීය මෙහෙයුම් ආරම්භ කළහ. සිලාවතුර මුදාගනිමින් ආරම්භ කළ මෙම මෙහෙයුම කිලිනොච්චිය මුදා ගැනීම දක්වා සාර්ථක වී ඇත.

2006 ආරම්භ වු මානුෂීය මෙහෙයුමින් වසර තුනක් තුළ ශ‍්‍රී ලංකා මාතාවට කළ සේවය අතිමහත්ය.

කොටි ත‍්‍රස්තවාදය පරාජය කරමින් ලබන ජයග‍්‍රහණ සියල්ලේම අයිතිය ති‍්‍රවිධ හමුදාවට හිමි වෙයි. ජයග‍්‍රහණ ලබන්නට ති‍්‍රවිධ හමුදාවේ සෙබලුන් සිදුකරන කැප වීම වචනයෙන් විස්තර කරන්න හැකියාවක් නොමැත.

එලෙසම තම පුතණුවන් ති‍්‍රවිධ හමුදාවට පරිත්‍යාග කරන දෙමව්පියන්, තම ස්වාමි පුරුෂයා හමුදාවට සම්බන්ධ කරන බිරින්දෑවරුන්, අයියා, මල්ලි, අක්කා, නංගී යුද හමුදාවේ සිටින සහෝදර සහෝදරියන් පියා, මව යුද හමුදාවේ රාජකාරි කරන දෙමව්පියන්ගේ දරුවන්ද මේ යුද්ධය වෙනුවෙන් අති විශාල කැප කිරීමක් සිදු කරයි. ඔවුන්ගේ එම කැප කිරීම හමුදා ජයග‍්‍රහණ වලට විශාල ශක්තියකි. විශාල ධෙර්යකි.

වසර දහඅටක් විස්සක් තම සෙනෙහසේ වැඩෙන දුව පුතා ශ‍්‍රී ලංකා මාතාව රැක ගැනීමට, ආරක්ෂා කිරීමට ති‍්‍රවිධ හමුදාවට භාර කරන දෙමව්පියන් වාසනාවන්තයෝය.

ඉපදුනු, හැදුනු, වැඩුණු දේශය විනාශ කිරීමට කටයුතු කරන ඕනෑම බලවේගයක් අභිබවා යන වීර සෙබළෙකු තමන්ගේ පුතනුවකු, දියණියකු වීම එම දෙමව්පියන්ට සාඩම්බරයට කරුණකි.

දෙමව්පියන්ට, අසනීපයක් සෑදුනු විටක, ඔවුන්ගේ දුකකදී දරුවෙකු වශයෙන් ඔවුන්ට පිහිට වීමට හමුදා සෙබළෙකුට නොහැකි වෙයි.

එහෙත් ඔවුන් ශ‍්‍රී ලංකා මාතාව රැක ගැනීම සඳහා කර ඇති කැප කිරීමේ ආශීර්වාදය ඔවුන්ගේ දෙමව්පියන්ට නිරන්තරයෙන් ලැබෙන බව එම දෙමව්පියෝ අප සමග පැවසූහ.

තම දරුවා වර්ෂාවට තෙමෙමින්, දින ගණන් මඩවගුරුවල ගමන් කරමින්, දැඩි අවු රශ්මියේ පැය ගණන් සිටගෙන සිටිමින්, නිරාහාරව නොයෙක් කම් කටොලු, බාධක මැද ඒවා ජයගනිමින් හමුදා ජයග‍්‍රහණ ලැබීම තමන් ජීවිතේ ලබන ලොකුම සතුට බව රණවිරුවන්ගේ දෙමව්පියන් පවසති.

රට වෙනුවෙන් දිවි පිදූ සහෘදයා සිහි කරමින්...

“මගේ තාත්තා ආමි එකේ. තාත්තා හරි ලස්සනයි. එයා කාටවත් බය නැහැ. මම තාත්තාට ගොඩක් ආදරෙයි. මම ලෙකුවුණ ගමන් යුද හමුදාවට බැෙඳනවා. මම හමුදාවේ ලොක්කෙක් වෙනවා.

බොහෝ අවස්ථාවල අපට මුණ ගැසෙන රණ විරුවන්ගේ දූ දරුවන් අප සමග සුරතල් බසින් කියා සිටියි. මෙවැනි අවස්ථා රැසක් අප ලබා ඇත්තේ යුද හමුදා සෙබලුන් පුහුණුව ලබා විසිර යාමේ උත්සව ආවරණය කිරීමට ගිය අවස්ථාවලදීය.

බොහෝ ඈත ගම්මානවල එක් පවුලක හමුදා සොහොයුරන් පහ හය දැක ගැනීමටද හැකියාවක් ඇත. තම පවුලේ දරුවන් පස් දෙනෙකු, ආරක්ෂක බලකායට එක්ව සිටින බව දෙමව්පියන් ප‍්‍රකාශ කර සිටින්නේ නිහතමානි ආඩම්බරයෙනි.

අද යුද හමුදාවට සම්බන්ධ වී සිටින සෙබලුන්ගෙන් විශාල පිරිසක් පාසැල් කාලයේදී දක්ෂ ශිෂ්‍යයන්ය. මොවුන්ගෙන් ඇතැම් පිරිසක් උසස් පෙළ විභාගයටද පෙනී සිටි පුද්ගලයන්. තමන් ති‍්‍රවිද හමුදාවේ සෙබලෙකු වීම ජීවිතයේ ලද ලොකුම ජයග‍්‍රහණය බව ඔවුන් පවසති.

ති‍්‍රවිධ හමුදා සෙබලුන් පිටු පස සිටින ඔවුන්ගේ දෙමව්පියන්, ඥාතීන් මේ ගමනට විශාල ශක්තියක් බවත්, හමුදා ජයග‍්‍රහණයන්හිදී මේ පිරිසද ලොකු කැප කිරීමක් කර ඇති බවත් අප මතක් කළ යුතුමය.