2009-01-06

රණවිරුවනි! ඔබටයි මේ උපහාරය

රණවිරුවනි! ඔබටයි මේ උපහාරය

මේ පුංචි රටේ උපන් හමුදා සොල්දාදුවා තරම් යුද්ධයේ දී අනේක අප‍්‍රමාණ දුක් ගැහැට පීඩාවලට ගොදුරු වූ යුද සෙබළකු ලොව නැති තරම් ය.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ ති‍්‍රවිධ හමුදාවට යුද්ධ කිරීමට සිදුවූයේ ලොව සිටින දරුණුතම ගරිල්ලා සංවිධානය ලෙස හැඳින්වෙන එල්. ටී. ටී. ඊ. කොටි සංවිධානය සමඟයි.

ඒතාක් කල් පැවැති යුද්ධයේ දී තම ජීවිතය රට වෙනුවෙන් කැපකර ජීවිතක්ෂයට පත් වූ වීරෝදාර රණවිරුවන් බොහෝ ය. හමුදා සොල්දාදුවාගේ සිට ඉහළ තනතුරු දරන නිලධාරීන් දක්වා දහස් සංඛ්‍යාත ප‍්‍රමාණයක් තම මාපිය දූ දරුවන්, බිරින්දෑවරු ඇතුළු ඥාතීන් අතරින් වෙන් වී ගිහය. ඔවුන් අප අතර නොවුවත් ඔවුන් කළ කැපවීම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට කිසිදා අමතක නොවන්නේ ය.

මේ මාතෘ භªමිය ආරක්ෂා කරන්නා වූ දෑසට පෙනෙන යම් දෙවිකෙනෙක් වේද රණවිරුවනි ඒ ඔබයි. තම සුන්දර යොවුන්විය, පවුල් ජීවිතය රටත් ජාතියත් වෙනුවෙන් කැපකිරීමට තරම් හැඟීමක් ඔබට ඇති වූයේ නම් ඒ ඔබේ උපතින් ම ලැබෙන්නා වූ දායාදයකි.

අතීතයේ මේ රට ආරක්ෂා කර ගැනීමට ජීවිතය කැප කළ වීරෝදාර රජවරු සෙන්පතියන්ගෙන් පැවත එන පිරිසිදු සිංහල රුධිරය ඔබගේ සිරුර පුරා දිවෙන නිසා ය.

දශක තුනක් තිස්සේ මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගෙන ඉදිරි පරම්පරාවට නිදහස් නිවහල් දේශයක් ගොඩනැගීමට දිවිහිමියෙන් ඔබලා කළ ඒ වික‍්‍රමය දැනටමත් ඉතිහාසයට එක් වී හමාරය. මුළු ලොවක් අද ඔබගේ වික‍්‍රමයන් දැක පුදුමයට පත් වී සිටිති.

නිල ඇඳුම ලාගත් හමුදා සෙබළකු දකින විට දෑසට කඳුලක් නංවන්නට තරම් ඔබගේ කැපවීම මේ මාතෘ භූමියේ ජනතාවගේ හදවතට දැනී ඇත.

ඔබ යකඩෙන් තැනුණු රොබෝ කෙනකු නොවෙයි. ඇස්, ඉස්, මස්, ලේ, ඇටනහරවලින් තැනුණු අප වගේ ම මනුෂ්‍යයෙකි. අපගේම සොයුරෙකි. මහා කැලෑමැද කෑලි කැපිය හැකි අඳුරු රාති‍්‍රයේ දෑතේ රැඳුණු ගිනි අවිය ද සමඟ සෙමින් සෙමින් පා නගමින් සතුරා සොයා යන රණවිරුවනි ඔබලාගේ දෙපා මේ මහ පොලව මත කොපමණ නම් ගැටී ඇති ද?

ඔබලා හෙලූ දහදිය කඳුළු රුධිරයෙන් මේ මහ පොලොව මොනතරම් නම් තෙත් වන්නට ඇති ද? මහා ඝන අඳුරේ පාලු කැලෑවේ ගසක් යටට වී හෝ බංකරයක්තුළ හිඳින ඔබට දූ දරුවන් දෙමාපිය ඥාතීන් මතකයට නැගී දෙනෙතට කඳුළු නැගුන අවස්ථා බොහෝ ඇත.

සුසුම් හෙලූ අවස්ථා බොහෝ ඇත. බඩගින්න පිපාසය දැනුණ අවස්ථා බොහෝ ඇත. එතෙක් ඒ සියලු දෑ මේ රට වෙනුවෙන් කැප කරමින් මිලේච්ඡ කොටි ත‍්‍රස්තවාදීන්ගේ අනේක අප‍්‍රමාණ බිම් බෝම්බ මරඋගුල් සිය දහස් ගණනකට ජීවිතය දුන් රණවිරුවනි නිරායුදව සිටිය දී පවා ඔබලා ඝාතනය කිරීමට කොටි නායකයා සැලසුම් කෙළේය.

එදා මෙදා සිට කොටි ත‍්‍රස්තවාදි නායකයාගේ ඊළාම් සිහිනයේ අගනගරය අත්පත් කර ගැනීම දක්වා පැමිණි වීරෝදාර රණවිරුවනි ඒ අවසාන ඉලක්කය ලබා ගැනීම පිණිස ඔබට සටන් කිරීමට සිදුවූයේ කොටි බාධක මරඋගුල් මධ්‍යයේ ය.

ඒ බාධකවලින් පමණක් නොවේ හිටි හැටියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව කුණාටුවක් බවට පත්වෙමින් ඔබගේ ඉලක්කය ප‍්‍රමාද කිරීමට උත්සාහ කෙරිණි. එහෙත් ශක්ති සම්පන්න කිසිවකිනªත් නොසැලෙන නොපැරදෙන ඔබේ චින්ත ධෙර්ය තුළින් ඔබ ඉදිරියට ම ගමන් කෙළේය.

කරවටක් ජලයෙන් පිරී යද්දී කරවටක් මඩ ගොහුරේ ගිලී යද්දී කොටින්ගේ දිය අගල්වල ඇදී වැටෙද්දී ඔබ යළි යළිත් නැගිට්ටේ දෑතේ රැඳුන ගිනි අවිය අතහැර නොවේ. තම සොයුර සෙබළාගේ ජීවිතය ද රැක ගනිමිනි. මියගිය සගයාගේ සිරුර කරට ගනිමිනි.

එවන්වූ කැපවීමක් කරමින් කොටිනායකයාගේ ඊළාම් සිහිනය බිඳ දැමූ වීරෝදාර රණවිරුවනි, මේ රටේ සුවහසක් ජනතාවගේ හදවත් ඔබ කෙරේ උපන් භක්තියෙන් ගෞරවයෙන් ආදරයෙන් පිරී ඇත. ඔබව ආරක්ෂා කිරීමට ඔවුන් ආශිර්වාද කරති.

දෙවියන් යදිති. ප‍්‍රභාගේ වාස භූමිය ආක‍්‍රමණය කිරීමට ද දැන් ඔබ කැපවී සිටියි.ලෝකයාටම ශක්තිය පෙන්වමින් මිලේච්ඡ කි‍්‍රයාවල යෙදී සිටි කොටි නායකයාට අපේ වීරෝදාර රණවිරුවන් හමුවේ දණ නැවීමට දැන් සිදු වී ඇත.

ඔහු ඒ තත්ත්වයට පත්කෙළේ වීරෝදාර ඔබයි. ඔබ නිසා මේ රටේ අහිංසක ජනතාව අද අහිංසක සතුටක් ලබති. කොටියාගේ බිම් බෝම්බය, අත් බෝම්බයට, කැති පිහියට බිලිවී මිය ගිය අහිංසක මිනිසුන්ගේ ඥාතීන් ද සිය දහස් ගණනක් සිටිති.

අහිංසක දරුවන් ගැබිනි මව්වරු, වයෝවෘද්ධ මාපියන්, අහිංසක තරුණ පිරිස් ඝාතනය කළ ඒ මිනීමරු කොටි නායකයා දුර්වල කර දිවිනසාගන්නා තත්ත්වයට පත්කළ දයාබර අභීත රණවිරුවනි ඔබ වෙනුවෙන් හදවතේ උපදින ආදරය භක්තිය කෙසේ පුදකර අවසන් කරන්නදැයි නොදනිමු.