2009-01-06

කොටි නායිකාවකගේ පාපොච්චාරණය

කොටි නායිකාවකගේ පාපොච්චාරණය

උතුරේ මානුෂික මෙහෙයුම් ආරම්භ කළ මොහොතේ සිට කොටි ග‍්‍රහණයෙන් මිදුණු සිවිල් වැසියන් දහස් ගණනක් සහ කොටි සාමාජිකයින් විශාල පිරිසක් හමුදාව වෙත පැමිණ භාර වූහ.

මෙලෙස පැමිණි කොටි සාමාජිකයින් අතර කොටි නායකයින් රැසක් ම සිටියහ. කොටි සංවිධානය විසින් කියන්නා වූ කොටි කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල් නිලයන් දරන පිරිස්ද මේ අතර වූහ. ඔවුහු හමුදාවට භාරවීමෙන් පසු නොයෙක් පාපොච්චාරණයන් කළහ.

යුද බිමේ දී වෙඩි වැදී...

මගේ නම නඩරාජා රාජේෂ්වරී. මම පදිංචි වෙලා සිටියේ කිලිනොච්චි නගර සීමාවේ පිහිටි මුට්ටයාන්කට්ටු කියන ප‍්‍රදේශයේ.

මම පාසල් කාලයේ දක්ෂ ළමයෙක්. කී‍්‍රඩාවලට වගේම අධ්‍යාපනයටත් එක වගේ දක්ෂතා පෙන්නුවා.

1998 වසරේ ජනවාරි මාසයේ දිනයක මම පාසල් ඇරිලා පාපැදියෙන් නිවස බලා එමින් සිටියේ. කිලිනොච්චි නගරය පනිනවාත් සමගම යතුරුපැදි දෙකකින් පැමිණි කොටි සාමාජිකයින් සිව්දෙනකු මාව පාරේ නවත්වා ගත්තා. කොටි සංවිධානයට බැඳිලා දෙමළ ජනතාවට සේවය කරන්න කියලා ඔවුන් මගෙන් ඉල්ලීමක් කරා.

මම එයට විරුද්ධ වී මට අධ්‍යාපනය ලබන්න ඕන කියලා පවසා සිටියා. පසුව මගේ පොත් බෑගය උදුරා විසිකර දැම්මා. මට මරණ තර්ජන එල්ල කළා. ඔවුන් පැමිණි යතුරුපැදියක මාව නංවාගෙන කොටි කඳවුරකට රැගෙන ගියා.

මුලතිව්වල පිහිටි කොටි කඳවුරකට මාව ගෙන ගියා. එම කඳවුරේ මාස දහයකට වැඩි කාලයක් නොයෙක් සටන් ක‍්‍රම පුහුණු උනා. මා සමග කුඩා ළමුන් පිරිසක් ද යුද පුහුණුව ලැබුවා. කොටි නායකයින් අපට නොයෙක් වද හිංසා සිදු කළා. අපිව නොමරා මැරුවා.

මම සහභාගී වූ මුල්ම මෙහෙයුම සිදු කෙළේ වැලිඔය ප‍්‍රදේශයේයි.

අපේ කණ්ඩායම කුමලමුණේ සිට වැලිඔයට පැමිණ හමුදාවට සැඟව සිට පහරදුන්නා. එහිදී අපේ ප‍්‍රහාරය සාර්ථක උනා. එම ගැටුමේදී යුද හමුදා ප‍්‍රහාරයකින් මගේ දකුණු කකුල තුවාල උනා. නැවත අපි මුලතිව් කඳවුරට පැමිණියා. එහිදී මාව තවත් පුහුණුවකට යොමු කළා. ඒ පුහුණුවේදී සතියකට කෑම වේල් හතරයි අපට ලබා දුන්නේ.

ඉන්පසුව මම නොයෙක් ප‍්‍රදේශවල මෙහෙයුම්වලට සම්බන්ධ උනා. වසර තුන හතරක් ම යුද පෙරමුණු වල සිටියේ. කොටි සංවිධානය විසින් මාව සෙක්කුවිල් නමින් නම් කරා. මා හට නිලධාරී තනතුරක් ලබා දී මුහුදු කොටි බළකායට මාව සම්බන්ධ කරා. පසුව මම මුහුදු කොටි බළකායේ පුහුණුව ලබා මුහුදු කොටි ජයග‍්‍රහණ රැසක් ලබා ගත්තා.

එතැන් සිට පුනරින්, මන්නාරම, මුලතිව්, ඇතුළු ප‍්‍රදේශ රැසක මුහුදු කොටි බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කළා. 2003 වසරේදී කොටි සංවිධානය මට අලුත් සාමාජිකයන් සියයක් පුහුණු කරන්නට භාරදුන්නා. ඒ පිරිස අතර අවුරුදු 11 සිට 16 දක්වා ළමුන් තමයි සිටියේ.

2005 වනතුරු නොයෙක් කොටි සාමාජිකයින් මා විසින් පුහුණු කර තිබෙනවා. කොටි සංවිධානය මුලතිව් ප‍්‍රදේශයේ නියෝජ්‍ය මුහුදු කොටි නායිකාවක් ලෙස මාව පත් කරා. මා හට ලුතිනන් කර්නල් පදවියද ලබා දුන්නා.

වසර දහයක් කොටි මායාවට රැවටීම පිළිබඳ පාපොච්චාරණය කරමින්...

2006 වන විට අපි යුද හමුදාවට එරෙහිව කි‍්‍රයාත්මක කළ මෙහෙයුම් සියල්ල අසාර්ථක උනා. මගේ යටතේ සිටි සාමාජිකාවන් අසූවකට වඩා මියගියා.

වෙඩිතලතිව් ප‍්‍රදේශය හමුදා අතට පත් වෙද්දී කොටි සංවිධානය ඒ ප‍්‍රදේශවලට අපේ කාන්තා බලකාය කැෙඳව්වා. එහිදී කොටි සාමාජිකාවන් මෙන්ම කොටි සාමාජිකයින් විශාල පිරිසක් මිය ගියා. දිගින් දිගටම එම ප‍්‍රදේශවලට හමුදා ප‍්‍රහාර එල්ල උනා. අපේ කණ්ඩායම් පසු බැස්සා.

මේ අතර තුර කොටි සංවිධානය මට මුලතිව් කුමලමුණේ ප‍්‍රදේශයට යන ලෙස අණ කරා. එහි පැවති ගැටුමකදී මා යටතේ සිටි කොටි සෙබලියන් විශාල පිරිසක් මිය ගියා. තුවාල ලැබුවා. ඉදිරි ආරක්ෂක වලල්ලේදී මට වෙඩි වැදුනා.

මගේ සාමාජිකාවන් මාව දමා පළා ගියා. යුද හමුදාව මට වෙඩි තියයි කියලා බය හිතුනා. මට මරණ බය දැනුනා. එහෙත් යුද හමුදාව එසේ කෙළේ නැහැ. ඔවුන් මට ජීවිත දානය දුන්නා.

මගේ අත තුවාල වෙලා තිබෙනු දැක ගත් හමුදා සෙබලුන් මට වෛද්‍ය උපකාර වහාම ලබා දී මට නැවත ජීවයක් ලබා දුන්නා. ඒ මෙහොතේ මට සිතුනා අපි ඇයි මේ තරම් හමුදාවට වෛර කෙළේ කියලා. ශ‍්‍රී ලංකා හමුදාවේ සෙබලුන් හරිම හොඳයි. ඒ අය මහත්වරු.

අවුරුදු දහයක්ම මම මායාවක් පස්සේ ගිය බව තමයි මට දැනුනෙ. කොටි සංවිධානය අපිව රවටා දමා අපෙන් නොයෙක් ලාභ ප‍්‍රයෝජන ගත්තා. කොටි සංවිධානය කටයුතු කලේ දෙමළ ජාතිය වෙනුවෙන් කියන එක මහ බොරුවක්. කොට කි‍්‍රයා කෙළේ ඊළම වෙනුවෙන් පමණයි.

මට වගේම තරුණ තරුණියන් සිය ගණනක් කොටි සංවිධානය විසින් ඔවුන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගත්තා. කොටි ත‍්‍රස්තවාදයට රැවටුන දහස් ගණනක් දෙනා මිය ගියා.

මම මේ වන විට නිදහස් ලෝකයකට ඇවිල්ලා ඉන්නේ සියලුම කොටි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ කොටි ග‍්‍රහණයෙන් පැනලා ඇවිල්ලා හමුදාවට භාර වෙලා සැබෑ ජීවිතය විඳීන්න නිදහස් ලෝකයකට එන්න කියලායි.