2009-01-06

කොටි පැරැද වූ යුද උපක‍්‍රම

කොටි පැරැද වූ යුද උපක‍්‍රම

කිලිනොච්චිය ජයග‍්‍රහණය කෙළේ හමුදාපතිගේ යුද උපක‍්‍රම නිසයි

මේ රටේ වාසනාවට සැබෑ දක්ෂකම් ඇති යුද හමුදාපතිවරයෙක් අපට ලැබුණා. නැඟෙනහිරින් ත‍්‍රස්තවාදීන් පළවා හැර උතුරේ කිලිනොච්චි දක්වා පැමිණ ලබාගත් මේ ජයග‍්‍රහණ සියල්ලක් ම ලබාගැනීමට හැකිවූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා නිසා බව උතුරේ මෙහෙයුම්වල යෙදෙන හමුදා බල සේනාපතිවරුන් සහ සෙසු හමුදා භටපිරිස් දැඩි ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

යුද හමුදාපති සරත් ෆොන්සේකා

හමුදාපතිතුමා තම තනතුරට පත්වීමට පෙර වසර 37ක් පමණ එක දිගට උතුරු නැඟෙනහිර කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිට අත්දැකීම් සම්භාරයක් ලබාගත් දක්ෂ නිලධාරියෙකි.

එතුමා හමුදාපති නොවුනා නම් ඇතැම් විට මේ මෙහෙයුම් මීට වඩා වෙනස් ආකාරයකට සිදුවීමට ඉඩ තිබුණි.

නැඟෙනහිර මෙහෙයුම්වල සිට උතුරේ මෙහෙයුම් දක්වා හමුදාපතිවරයා සමඟ කාලයක් කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටි නිලධාරින් මේ අවසන් සටනට සම්බන්ධ කර ගෙන ඇත.

මේජර් ජෙනරාල් ජගත් ඩයස්, බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා ඇතුලු කණ්ඩායම් පසුගිය දශක දෙක තුළ දී ද උතුරු නැඟෙනහිර හමුදාපතිවරයා සමඟ කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටි අයයි.

අපේ හමුදාව විජයග‍්‍රහණය කරා යා හැකි හමුදාවක්. කොටින්ගේ ඕනෑම දරුණු ඉලක්කයකට පහරදී ජයග‍්‍රහණය කිරීමට හැකියි. කිලිනොච්චි පරන්තන් ජයග‍්‍රහණය කළ හමුදා සේනාංකවලට ඉදිරියද ප‍්‍රශ්නයක් නැති බව බළසේනාංකාධිපතිවරුන් පවසති.

මේජර් ජනරාල් ජගත් ඩයස්

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ යුද්ධයක් සිදුවුණා. ඒ සෑම එකකදීම හමුදාවෝ කොටින් හා සටන් කෙළේ මුහුණට මුහුණදීමෙනි. කොටි ත‍්‍රස්තවාදීන් මේ සටන්වලට හුරු වී සිටියා.

නැඟෙනහිර මෙහෙයුම් ආරම්භ වී අනතුරුව උතුරට ආරක්ෂක බළසේනාවල අවධානය යොමුවෙද්දී හමුදාපතිවරයාගේ උපක‍්‍රමවලට අනුව ඒ වන විට උතුරේ මෙහෙයුම් ආරම්භ වී තිබුණි.

ඒ බව දැනසිටියේ හමුදාවේ සුළු පිරිසක් පමණි. ඉතා සූක්ෂම ලෙස කි‍්‍රයාත්මක වූ එම මෙහෙයුම ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩි වූයේ කොටි ත‍්‍රස්තයන් බලාපොරොත්තු නොවූ වෙනස් ආකාරයකටයි. දුර විහිදුම් බළකායේ කුඩා කණ්ඩායම් කොටි බළමුළු කඳවුරු අසලටම ගොස් තොරතුරු බලාගෙන පැමිණෙති.

භූමිය අල්ලා ගැනීම අවශ්‍ය ප‍්‍රධාන කාර්ය බවට හමුදා සේනාංක පත්කර නොගැනීමට හමුදාපතිවරයා උපදෙස් දී තිබුණි. ත‍්‍රස්තවාදීන් විනාශ කරන විට භූමිය ඉබේම අත්පත් වන බව හමුදාපතිවරයා කියා තිබිණි.

බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා

කොටි දුර්වල කිරීම එම මෙහෙයුම්වල තවත් ප‍්‍රධාන සාධකයක් වේ. තව ද එම මෙහෙයුම මානුෂීය මෙහෙයුමකි. කාලයක් තිස්සේ පිළිලයක්ව තිබූ ත‍්‍රස්තවාදය පළවාහරිමින් කොටි නායකයාගේ යකඩ සපත්තුවට හිරවී සිටින අහිංසක ජනතාවට සාමයෙන් සතුටින් සිටීමට හැකි පරිසරයක් ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම යුද හමුදාවේ මේ ක‍්‍රියාන්විතයේ අරමුණ බව හමුදාපතිවරයා කියා සිටියේ ය.

මේ මෙහෙයුම්වලට සැළසුම් කළ හමුදාපතිවරයාත් කි‍්‍රයාන්විතයන්ට පණදුන් බළ සේනාංකාධිපතිවරු ඇතුලු සමස්ථ හමුදා සොල්දාදුවන් තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබිණි. ඒ උතුර ජයග‍්‍රහණය කරන බවට වූ විශ්වාසයයි. ඔවුන් තුළ ඒ විශ්වාසය ගොඩ නැගුනේ හමුදාපතිවරයා නිසා ය. එතුමා මෙහෙයුමට අත ගැසුවේ නිකම්ම නිකන් නොවේ.

හමුදාවට අවශ්‍ය බොහෝ දේ ලබාගත් හ. සොල්දාදුවාට අවශ්‍ය සියලු දෑ ලබා ගැනීමට අවස්ථාව සළසා දුන්නේ ය. හමුදාවට සිදුවූයේ පෝෂණය වූ කොටි සංවිධානයක් සමඟ සටන් කිරීමටය. ඊට හොඳම පිළිතුර වූයේ කොටියා බලාපොරොත්තු නොවන ආකාරයකට මෙහෙයුම් සිදු කිරීමයි. හමුදාපතිවරයාගේ ඒ උපක‍්‍රම හමුවේ කොටි අන්දමන්ද විය.

පැති පහකින් පැමිණි බළ සේනාංක උතුර වට කර පහර දෙද්දී ඉදිරියට යන එම බළසේනා තැනින් තැනින් කඩාගෙන කොටියන්ට පහර දෙන විට කොටින් සතු පිරිස් යවන්නේ කුමන කණ්ඩායම සමඟ යුද වැදීමට ද යන්න ඔවුන්ට තේරුම් බේරුම් කර ගැනීමට පවා නොහැකි විය.

ඉදිරි යුද සැලැසුමක් සාකච්ඡා කරමින්...

දශක තුනකට ආසන්න කාලයක් සිදු වූ මෙහෙයුම්වලදී බොහෝ විට එම මෙහෙයුම් අතර මඟ නතර කිරීමට සිදුවිණි. ඊට හේතුව පාවාදීමයි. ඇතැම් පිරිස් හමුදා සැළසුම් ත‍්‍රස්තවාදියා අතට පත් වීමට ඉඩ සැලසූහ.

මුලතිව් හමුදා කඳවුර සම්පූර්ණයෙන් කොටි විනාශකළේ එවැනි පාවාදීම්වල ප‍්‍රතිඵල නිසාය.

එහෙත් හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා තමාගේ සැළසුමට සම්බන්ධ කර ගත්තේ තමාට විශ්වාසවන්ත අවංක කැපවීමෙන් වැඩ කරන සේනාංකාධිපතිවරු පිරිසකි.

අවුරුද්දක් වැනි සුළු කාලයක් තුළ දී කොටි සංවිධානයට අයිතිව තිබූ භූමි ප‍්‍රමාණයෙන් සියයට අනූ පහක් අත්පත් කර ගැනීමට හැකිවූයේ ඒ බලසේනාංකාධිපතිවරු ප‍්‍රමුඛ සමස්ථ හමුදා විරුවන්ගේ කැපවීම නිසාය. කොටි සංවිධානයේ අවසන් සටන කිසිඳු පාවාදීමක් නොවූ එකම සටන බවට ඉතිහාසයට එක් වෙයි.

එපමණක් නොවේ. දිවා රෑ නොබලා තම ජීවිතයේ සියලු සැප සම්පත් වගකීම් පසෙකට ලා මේ අවසන් සටන ජය ගැනීමට හමුදාපතිවරයා දරන උත්සාහය හමුදා සොල්දාදුවන්ගේ චිත්ත ධෙර්යය රඳවා තබා ගැනීමට ඔවුන්ට ශක්තියක් වන ආකාරය හමුදා විරුවන් පුදුමයට පත් කරවන්නක් බව පවසන්නේ උතුරේ මෙහෙයුම්වල යෙදෙන හමුදා විරුවෝය.