2009-01-06

නිදහස දිනූ කිලිනොච්චිය

නිදහස දිනූ කිලිනොච්චිය

ත‍්‍රස්තවාදයේ ඇති බිහිසුණු බව, කුරිරු බව වඩා හොඳින් හඳුනාගත් රටක් ලෙස අප ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකිය. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයේ කුරිරු බවෙන් වසර 30 ට අධික කාලයක් පීඩා විඳින ශ‍්‍රී ලංකාව ඉන් මිදීමට ආසන්නව සිටිනුයේ මුළු ලෝකයටම ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එකතුවන ලෙස ආයාචනය ද කරමිනි.

එම ආයාචනයේ වැදගත්කම තව තවත් ලෝකයට ඔප්පු වෙමින් ඇත.

බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම කොටි ත‍්‍රස්තවාදය මෙල්ල කිරීමට විවිධ පියවර ගත්තත් කොටියාව නිසි ලෙස මෙල්ල කළ නොහැකි තත්ත්වයට පත් විය.

බලයට පත් සෑම ආණ්ඩුවක් ම, සෑම රාජ්‍ය නායකයකු ම කොටියා නොමඟ යැව්වේය.

නමුදු 2005 වර්ෂයේ බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ‘කොටියා හා ත‍්‍රස්තවාදය’ සැබෑ ලෙස හඳුනා ගත්තේය. රජය ප‍්‍රථමයෙන් සාකච්ඡා මාර්ගයට කතා කළත් එය ප‍්‍රතික්ෂේප කර රජයේ හමුදාවට කොටි ප‍්‍රථමයෙන් ප‍්‍රහාර එල්ල කෙළේය.

2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව ජනතාවට කොටියාගෙන් මුදා දීමට මානුෂීය මෙහෙයුම ඇරැඹීමට රජයේ හමුදාවන්ට සිදුවිය.

ඒ මානුෂීය මෙහෙයුමෙන් මුළු මහත් නැඟෙනහිරම මුදාගෙන අනතුරුව සිලාවතුර හරහා පුනරීන් දක්වා ද එතැනින් කිලිනොච්චිය දක්වා ද ජයග‍්‍රාහී ගමනක් ඒමට වීරෝදාර හමුදාවට හැකි විය.

නිවැරැදි දේශපාලන නායකත්වය යටතේ නිවැරැදි යුද ක‍්‍රම මූලෝපායන් අනුව, හමුදාවන්ට උපරිම පහසුකම් ලබා දී විරෝදාර රණවිරුවන්ගේ අති මහත් කැපවීම ඇතිව ජීවිත පූජාවෙන් දිනාගත් භූමිය මේ මොහොත වන විට සම්පූර්ණයෙන් ම කොටියාගෙන් නිදහස් කර ගැනීමේ තීරණාත්මක අවස්ථාවට දැන් පැමිණ ඇත.

’කිලිනොච්චිය’ වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සිහින ඊලාම් රාජ්‍යයේ හදවතයි. ඒ හදවත මේ මොහොත වන විට වීරෝදාර හමුදාවෝ සිදුරු කර අවසන් ය. කිලිනොච්චිය කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීම යනු ත‍්‍රස්තවාදයේ අවසන් ගමනයි.

කොටි ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ ඒ අනගිභවනීය අවස්ථාවට අප දැන් පැමිණ ඇත. සාමයේ අරුණලු දැන් කිලිනොච්චියට ද වැටෙමින් ඇත. මුළු මහත් ශී‍්‍ර ලංකාවටම සාමයේ අරුනලු වැටෙන දිනය කවදාද යන්න මුළුමහත් රට වැසියන් දෑස් දල්වා බලා සිටිනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා