2009-01-06

නූතන මහා වංශයේ එක් පිටුවක්...

නූතන මහා වංශයේ එක් පිටුවක්...

මහා යශස් ඇත්තා වූ මහින්ද රාජපක්ෂ නම් වූ ධීරසාර මිනිසෙක් මහජන වරම් ලැබ රාජ්‍යත්වයට පත් වූ වහා ගෝඨාභය නම් ස්වකීය මලණුවන්ට රටේ ආරක්ෂාව පවත්වා ගෙන යෑමේ භාරධූර වගකීම පවරමින් ලක්දිව් හි අග‍්‍ර වෙඩික්කරු වූ (ලුතිනන් ජෙනරාල්) සරත් ෆොන්සේකා ඇත් අස් රිය හා පාබල හමුදාවන් හි අධිපතිවරයා කරමින් අහසේ බල පරාක‍්‍රමය මෙහෙයවන්නට (එයාර් වයිෂ් මාර්ෂල්) රොෂාන් ගුණතිලකයන් ද මුහුදින් වටවී ඇති මේ කොදෙව්හි සත් සමුදුර රැක්මේ වගකීම් සම්භාරය (වයිෂ් අද්මිරාල්) වසන්ත කරන්නාගොඩයන්ට ද බාර දී රට රකින්නට උන්ට ඇවැසි ගිනිබට ද අහස් නැව් ද මුහුදු නෞකා ද ඔවුනට ඕනෑ කරන්නා වූ සෙසු සියලු දෑ ද ලක්ෂ සංඛ්‍යාත ජවසම්පන්න ධීර වීර තරුණ සම්පත ද කිසිදු අඩුවකින් තොරව සපයා දී රටේ සාමය රැක්මට පොලිස්පතිවර ජයන්ත වික‍්‍රමරත්නට ද නියෝග දී තිස් වසරක් මුළුල්ලේ රටේ මහ පොළොව පවා නුසුලන සේ අහිංසක නිරායුද මිනිසුන් ඝාතනය කරමින් මිහි තලය ලෝහිතයෙන් නහවමින් සමස්ත ජනතාව ම මහත් සේ පීඩාවට පත් කරමින් සිටින්නා වූ වේළුපිල්ලේ පිරිබාහරන් නමැති කුරිරු ම්ලේච්ඡ මිනීමරු උන්මත්තක ත‍්‍රස්තවාදියා හා උගේ ඊළාම් හමුදාවත් නසා උතුරුකරෙත් නැගෙනහිරත් වෙසෙනා අහිංසක දෙමළ මුස්ලිම් හා සිංහල ජනතාව ද රටේ අවශේෂ ගම් නියම් ගම්වල මෙන්ම විශේෂයෙන් අග නගරයේ ද ජීවත්වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හා මැලේ ජනයාට ද බියෙන් සැකෙන් තොරව සාමයෙන් හා සහෝදරත්වයෙන් ද සහජීවනයෙන් ද ජීවත් වීමට හැකි වන සේ රාජ්‍යා’රක්ෂාව පවත්වා ගෙන යෑමට නිසි පියවර ගන්නැයි නියෝග කළේ ය.

මහා යශස් ඇත්තා වූ ඒ (මහින්ද රාජපක්ෂ) තෙමේ නිසා මේ රටේ ඉතිහාසය අලුත් ආකාරයකට ලියැවෙන්නේ ය. මතු යම් දවෙසක ලක්දිව් හා ජනයා බරපතල පර සතුරු උපද්‍රවයෙකට මුහුණ පා හවුරුදු ගණනාවෙක් ම එයින් මහත් සේ පීඩා විඳිමින් සිටිනා කලෙක දෙවුන්දර තුඩුවේ ආසන්න ගම් නියම් ගමෙක ජන්මෝත්පත්තිය ලැබ සිටින්නා වූ ‘දියසෙන්’ නමින් සුප‍්‍රකට වන්නා වූ සුපින්වත් කුමරෙක් මේ දිව් හි රාජපද ප‍්‍රාප්තියට පත්වීමෙන් පසු ස්වකීය එඩිය රටට පමණෙක් නොව ලෝ වැසි සෑම සියලුදෙනාට ම පෙන්වමින් ඒ සතුරු උපත් උවදුරු සියල්ල ධූරිභූත කොට මිනිස් වගට පමණක් නොව ගහ කොළ සතා සීපාවට පවා අදර පාමින් ප‍්‍රචණ්ඩ වූ මහ සයුරේ අහස උසට නැඟෙන දැවැන්ත රල පතර අතරින් යාත‍්‍රා කෙරෙන්නා වූ නෞකාවක් පදවන දක්ෂ නැව් කප්පිත්තකු සේ කිසිදු අතුරු උපද්‍රවයකින් තොරව ඒ යාත‍්‍රාවත් එහි සිටිනා ජනී ජනයාත් රක්ෂා කොට ගෙන පෙර නරපතියන් ගිය මඟ යමින් තුන් සිංහලය යළි එක් සේසත් කොට ඉතා දැහැමෙන් සෙමෙන් මේ ධර්මද්වීපය පාලනය කරන්නෝ ය.

ඊට ද මූලික වන්නා වූ වටිනා කාරණාවක් ඇත්තේ ය. කිම් දැ ඒ කාරණය යත්. මෙතෙක් කලක් මේ රටේ ජනතාවට ඇවැසි ලෙස රට පාලනය කරන්නේ යැයි ගජබින්න කියා ජනවරම් ලැබ ගත්තා වූ පාලක පාලිකාවන් බලය ලද තැන් පටන් මූදෙන් එතෙර වසමින් මේ පුණ්‍ය භූමියට කෙළ හළමින් සිටිනා පරදේශක්කාරයින්ගේ රූකඩ බවට පත් වී උනට රිසි පරිදි රට කරවමින් මේ උත්තම දේශය විනාශ මුඛය කරා ඇද ගෙන ගියා වූ මඟ අහුරමින් මේ උතුම් මිනිසා වැඩ කරන හෙයිනි.

එතුමෝ අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්නෝ ය. එක තැන පල්වෙමින් පැවති අපේ මව්බිමට නව ජීවක් පිඹිමින් අලුත් ශී‍්‍ර ලංකාවක් ගොඩ නංවා ජාතියේ අනාගත දූ පුතුන් හට සශී‍්‍රක රටක්, දේශයක්, ඉතිරි කරන්නට පියවර ගන්නා වූ සුධාරකයාණෝ මේ තුමෝ නිසාවෙනි.

ඔහු රාජ්‍යත්වයට පත් වූයේ ශී‍්‍ර බුද්ධ වර්ෂ දෙදාස් හාරසිය හතළිස් නමයක් වූ ඉල් මස යැ. කි‍්‍රස්තු වර්ෂයෙන් සඳහන් කරන්නේ නම් 2005 නොවැම්බර් මහේ දහඅට වැනි දාට යෙදුණු ඔහුගේ සැට වැනි උපන් දිනය දා ය.

කෙනෙක් ඔහු දන්නේ වීදි සටන් පමණෙකියි කීහ. ඔහුට රාජ්‍ය පාලනයේ දැනුමක් තේරුමක් නැති වග තවෙකෙක් කීහ. තවත් අයෙක් කීවේ මේ මිනිසා උග‍්‍ර ජාතිවාදියෙක් බවයි.

ඒ සියලු කතා රට ගැන අබමල් රේණුවක තරම් හෝ කැක්කුමක් ඇල්මක් ආදරයක් දයාවක් නැති හුදෙක් බල තණ්හාවෙන් ම පමණක් හිස් ගෙඩි පපු කැවුතු පුරවා ගත් දුෂ්ටවූත් නරුමවූත් කුහකයන්ගේ කුහක වත පිළිබිඹු කරනා නර්මාලාප බැව් අද මේ රටේ බුද්ධිමත් ජනතාව මැනවිනි තේරුම් ගෙන සිටිති.

ඔහු රාජ්‍යත්වයට පත්වීමෙහි ලා ජනතාව අතරට ගියේ ‘මහින්ද චින්තන’ නමින් සැකසූ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික සංවර්ධන ප‍්‍රතිපත්ති මාලාව අතැතිවයි.

අනාගත පරපුර ගැන හිතන මේ රටේ අති බහුතර දේශමාමක ජනතාව මේ යශස් මිනිසාගේ ඒ වන විට තිස් අට වසරක දේශපාලන කි‍්‍රයාකාරිත්වය පිළිබඳව මනා අවබෝධයකින් හොඳ තක්සේරුවකින් සිටි දෑ හිතකාමී ජනතාව ඔහු කෙරෙහි ඉමහත් බලාපොරොත්තු ඇතිව ඔහුට තම මව්බිමේ භාරකාරත්වය පැවරීමට දෙවරක් සිතා නොබැලූහ. ඒ තරමට ම ඔහු කෙරෙහි ජනතාව තබා ඇත්තේ අචල විශ්වාසයකි.

ඔහු ඒ විශ්වාසය බිඳකින් හෝ පළුදු නොකරමින් ඉතා ධීමතින් යුතුව එතැන් සිට ස්වකීය වගකීම් නිසි රිසි අයුරින් ජනතාව උදෙසා ඉෂ්ට සිද්ධ කරන්නට පියවර තැබුවේ පිරිබාහරන් නැමැති මිනීමරු අලුගෝසුවාට ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ උපදේශ පරිදි උන්ගේ සුවච කීකරු ගෝලයා වූ අපේ යුගයේ සිටින දොන් ජුවන් ධර්මපාල විසින් උතුරත් නැගෙනහිරත් පවරමින් ලියා දුන් තෑගි ඔප්පුව අවලංගු කරන්නට ඇවැසි කාල වකවානු ගැන සිතමින් කල්මරමින් ය.

ඊට නිසි හෝරාව එළඹුණු මොහොතේ පවා මේ යශස් මිනිසා ඉක්මන් නොවී ය. ඒ නැගෙනහිර අහිංසක දෙමළ හා මුස්ලිම් ගොවි ජනයාගේ ලේ දහදිය පොළොවට එක් කොට වගා කරන ලද අක්කර දහස් ගණනක කෙත්වතු අළුබාසිනියා කරමින් දහස් ගණනකට බීමට දිය බිඳක් පවා අහිමි කිරීමට වේළුපිල්ලේ පිරිබාහරන්ගේ නියමයට අනුව නැගෙනහිර කොටි හපුළුවන් 2006 ජුලි 26 වැනිදා මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසු ඔවුන්ගේ ගැටලුව නිරාකරණය කිරීමට පමණක් නොව එතැනින් එහාට ගොස් මුළු නැගෙනහිර පළාතෙහි ම සිංහ ධජය ලෙලවීම දක්වා ති‍්‍රවිධ හමුදාව මෙහෙයවීමට රාජවිභ‍්‍රමයෙන් හෙතෙම නියෝග කළේ ය.

එදා නැඟෙනහිර පළාතේ කොටි බලයේ අති ප‍්‍රබල ස්ථානය වූ තොප්පිගල කඳවුර අපේ වීරෝදාර රණවිරුවන් විසින් අත්පත් කර ගත් විට දොන් ජුවන් ධර්මපාලගේ ආත්මය වැළඳගත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කීවේ තොප්පිගල යනු කැලෑවක් බවයි.

වීරෝදාර සෙබළුන් සිය ජීවිත පරිත්‍යාගයෙන් නැගෙනහිර රුදුරු කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගත් විට ඔවුන්ගේ ඒ මහා කැපකිරීම් මේ මිනිසා විසින් හෑල්ලුවට ලක් කළේ කොතරම් නින්දිත නිවට නියාලු අයුරින් ද? රටේ ජනාධිපති වීමේ සිහිනය හැර අන් කිසිවක් නොදකිමින් සිටින මෙවන් මිනිසකු ඒ උතුම් ධූරය සඳහා සුදුසුදැයි යන්න අප එකවරක් නොව සිය දහස් වරක් සිතමින් සිහියේ තබා ගනිමින් කටයුතු කළ යුතු බව ජනතාවට අමුතුවෙන් සඳහන් කළ යුතු නැතැයි සිතමි.

මේ රටේ ජනතාවගේ එකම පැතුම වූයේ නැගෙනහිරින් කොටි බලය විනාශ කළා සේ පිරිබාකරන්ගේ හීන රාජ්‍යයේ අග නගරය බවට ප‍්‍රකාශිත කිලිනොච්චියෙන් මුලතිව් හා මන්නාරමෙන් කොටි බලය සුන් කොට දමා නැගෙනහිර සංවර්ධනයට ‘නැගෙනහිර නවෝදය’ අරඹා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට එහි බලය ජනතාව අත්පත් කළා සේ උතුරෙහි ද සිවිල් පරිපාලනය පිහිටුවා ‘උතුරු වසන්තය’ හරහා ඒ ප‍්‍රදේශවලට ද සංවර්ධනයේ හිරු එළිය ලබා දෙන අයුරු දැක්මයි.

දෙසතියකට පෙර මහා යශස් ඇති ඒ මිහිපල් තෙමේ 2009 වසර වීරෝදාර රණවිරුවන්ගේ විජයග‍්‍රහණයේ වසර සේ නම් කළ අයුරුත් රාජ්‍ය නායකයාගේ ඒ සිතැඟි අනුව කි‍්‍රයා කරනා වීර වික‍්‍රමාන්විත අභීත රණවිරුවන් නව වසර එළඹෙද්දී කොටි ත‍්‍රස්තවාදී්න්ගේ හදවතේ ප‍්‍රධාන රුධිර ධමනියක් සේ සැලකෙන පරන්තන් නගරය අත් පත් කර ගත් අන්දමත් එහි ලා 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වය හා මෙහෙයවීම මත සුරුවිරු රණවිරුවන් ඒ 9 මාර්ගය ඔස්සේ පහළට පැමිණ කිලිනොච්චියට පිවිසෙද්දී බටහිර දෙසින් කොටි හදවත ආක‍්‍රමණය කොට පිරිබාකරන්ගේ සිහින ඊළාම් රාජ්‍යයේ අග නගරය අත්පත් කර ගන්නට 57 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ උපාය උපක‍්‍රමික මඟ පෙන්වීම මත කිලිනොච්චියේ කොටි බලය සුන්කොට දමා ඔහු විසින් සිංහ ධජය ඔසවද්දී ඒ ඓතිහාසික පුවත මහා යශස් ඇති ඒ උත්තම මිනිසා ජනාධිපති කාර්යාලයේ සිට ජාතිය අමතා ප‍්‍රකාශයට පත් කරද්දී මෙලක්දිව් හි දස දෙසින් ඇසුණු ප‍්‍රීති ඝෝෂාව ලක් අඹරේ වාතලය පැයක පමණ කාලයක් පුරා සසල කළ අයුරුත් නිමේෂයකින් ඒ හඬ ලොවසතර දිග් භාගය පුරා පැතිරුණු අයුරුත් ඒ ආරංචිය සාම ලැදි කෝටි සංඛ්‍යාත මිනිසත් වර්ගයාගේ දෙසවන් තුළ නින් නාදවෙද්දී චිත්ත ප‍්‍රීතියට පත් වූ ඔවුන් ද ලාංකේය ජනයා හා හවුල් වී උද්දාමයෙන් ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් ඒ සතුට භක්ති විඳි බැව් සටහන් කරන්නේ හදවතේ උතුරා යන සතුට මෙසේ යයි විස්තර කරන්නට වචන නො මැති හෙයින් කිසියම් සියුම් වේදනාවකින් යුක්තවය.

මෙලක්දිව්හි වසනා දෙමළ මිනිසුන්ගේ විමුක්තිදායකයා තමන් යයි කියා ගන්නා පිරිබාහරන් ඒ අහිංසක අසරණ දෙමළ ජනයා මිනිස් පලිහක් සේ බලහත්කාරයෙන් රඳවා ගෙන සැඟවී සිටින මුලතිව් ගණ වනාන්තරය පීරමින් ඌ සොයා නැගෙනහිර දෙසින් වැලිහොයෙන් ගමන් ඇරඹූ 59 වැනි හමුදා සේනාංකාධිපති බි‍්‍රගේඩියර් නන්දන උඩවත්තයන් ගේ නායකත්වය ලබමින් ඔහුගේ බලමුළු කොටි බල සුන් කරමින් ඉදිරියට ඇදෙන්නේ ද දහසකුත් එකක් වූ දුක්කරදර හිරිහැර බාධක අබමල් රේණුවකටවත් නොසලකා හරිමින් බැව් ගෞරවයෙන් යුතුව සටහන් කළ යුත්තේ ම යැ.

“මම ටකරමක් යට ඉන්නේ. ජෙනරාල්වරයෙක්වෙලත්. මගේ මේ සෙබළු ගස් යට වැස්සට තෙමි තෙමී ඉන්නේ. ඉවසීමෙන් කි‍්‍රයා කළොත් ඉතිරිවී සිටින කොටින් ද විනාශ කළ හැකියි.

ප‍්‍රභාකරන් ද විනාශ කළ හැකියි” මේජර් ජෙනරාල් ජගත් ඩයස් කිලිනොච්චි නගරය අත්පත් කරගත් රණශූර රණප‍්‍රතාප රණවිරුවන් ස්වකීය ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්ව ඊළාම් කොටින්ගේ රණබිමේ සිට ජයගොස නඟද්දී මේ යුද සෙන්පතියා ජාතික ධජය - සිංහ කොඩිය - ගුවනට ඔසවා ඒ වදන් වැල් කිහිපය ප‍්‍රකාශ කරද්දී ඒ දසුන දුටු කවරකුගේ නම් දෑහැට සතුටු කඳුළක් එක් නොවූයේ ද?

තමා හා තම සෙබළ බලමුළු ද අනෙක් සතුරු කඳවුරු එකින් එක අත්පත් කර ගන්නට තමන් හා තම භටයන් මෙන්ම දිවා රෑ නොබලා අව් වැසි පිනි නොබලා වරෙක දැවැන්ත කුණාටුවලට මුහුණ දෙමින් ද වරෙක ගංවතුරට මුහුණ දෙමින් ද මිනීමරු කොටි නායකයා ජීව ග‍්‍රහයෙන් අල්ලා ගන්නට ඇප කැප වී සිටිනා සෙසු සහෝදර සෙන්පතියන් සමඟ කළා වූ මහා දුෂ්කර කි‍්‍රයා සියල්ල කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු මේ සූර වීර ධීර මිනිසුන් තුළින් පහව ගියේ තමන් උපන් රටට ණය නැති බැව් සිත් තුළට කා වැදුණු නිහතමානී ආඩම්බරයත් සමඟින් යයි මට සිතේ.

හමුදාපති සරත් ෆොන්සේකාට අනුව නැගෙනහිර මානුෂික මෙහෙයුම සිදු කරද්දීම උතුරේ ද කොටින්ගේ ග‍්‍රහණයට නතුව දුක් පීඩා විඳිමින් සිටින්නා වූ අහිංසක දෙමළ ජනයා ගලවා ගන්නට හමුදා කණ්ඩායමක් යොදවන ලද්දේ කිසිවකුටත් ආරංචි නොවනා ලෙසයි.

ඒ 2007 වසරේ අවසන් කාර්තුවේ දී ය.

මන්නාරමෙන් පුනරින්වලින් පරන්තන් කිලිනොච්චියෙන් ද පළාගොස් කොටි ත‍්‍රස්තවාදීන් දැන් සැඟව සිටින මුලතිව් දිස්ති‍්‍රත්කය ද මුළුමනින් ම නිදහස් කොට ගෙන අන්තිම කොටි හපුළුවාත් විනාශ කර සමස්ත දේශයට ම නිදහසේ හිරු එළිය උදා කර දෙන දවස කවදා දැයි සාමලැදි ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනතාව ඇඟිලි ගණිමින් සිටිති.

නැඟෙනහිර මුදාගෙන ඒ ප‍්‍රදේශයන් හි ජීවත්වන ජනතාවට නිදහසේ අරුනැල්ල දකින්නට මඟ පෑදීමේ දී ද අපේ රණවිරුවන්ට ගෙවන්නට වූ මිළ සුළුපටු නොවී ය.

එතැනින් නොනැවතී කිලිනොච්චිය දක්වා ආ ගමනේ දී ද අපේ සෙබළුන් සිය ගණනක් රට දැය සමය වෙනුවෙන් ජීවිත පිදූහ. තවත් විශාල රණවිරුවෝ සංඛ්‍යාවක් ආබාධිතවූහ. ඔවුන් සිය ජීවිතවලින් ද ඇස් ඉස් අත් පා අහිමි කර ගත්තේ මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙනි. ජනතාවගේ නිදහස හා ස්වෙරීත්වය වෙනුවෙනි.

පසුගිය කාල වකවානුවල දී පිටකොන්දක් නැති අපෘෂ්ඨ වංශිකයන් ද මේ රටේ පාලනය ජනතාවගෙන් පික් පොකැට් ගසා ගෙන මේ රට උන්ගේ අම්මා අප්පාගේ බූදලය සේ සලකා උතුරත් නැගෙනහිරත් පිරිබාහිරන්ට ලියා දුන් අයුරුත් එදා සිට උනගේ පාලන සමයේ දී කොටි හපුළුවන් අපේ හමුදා කඳවුරු ඉදිරිපිටට විත් ඇඳිවත ඔසවා අපේ හමුදා භටයන්ට - කොටි කෙල්ලන් පවා උන්ගේ නිරුවත පෙන්නූ අයුරුත් මේ රටට රහසක් නොවේ.

පිරිබාහිරන්ගේ තිරස්චීන පාලනයට හසුව සිටිනා අසරණ දෙමළ ජනතාව උගෙන් මුදා ගන්නට හමුදා විරුවන් සටනට පිවිසි විට ඒ කි‍්‍රයාන්විතය එදා රට කරවූ දොන් ජුවන් ධර්මපාලලාට ඉවසුම් නො දෙන්නක් විය.

උහු එදා සිට මේ මොහොත වන තුරුත් දිවා රෑ වෙහෙසෙමින් සැලසුම් සකස් කරන්නේ කුමන්ත‍්‍රණ කරන්නේ අපේ වීර වික‍්‍රමාන්විත රණ විරුවන්ගේ ඉදිරි ගමන ආපස්සට හැරවීමට බව උන් හැර මුළු රට ම දනී.

ඒ කැනහිලුන් හා අත්වැල් අල්ලා ගත් පිරිබාහිරන්ගේ බාප්පොච්චිලාත් අයියලාත් මල්ලිලාත් පිරිස් ගණනාවකි. පරගැති මානසිකත්වයෙන් යුතුව පරදෙසක්කාරයන්ගේ ඩොලර් පවුම් යෙන් යූරෝ ඩොයිෂ්මාර්ක්වලට වහ වැටී මේ නරි රංචුවේ සමහරුන් පත්තරවලට පිටු ගණනින් ලිපි ලියති. තවත් කල්ලියක් පිට රට සවාරි ගසාවිත් සාමයේ අගය වමාරති.

පිරිබාහරනුත් අපේ යුගයේ දොන් ජුවන් ධර්මපාලත් උහුගේ සට්ටම්ඹියනුත් ඊනියා මාධ්‍යවේදී නඩයත් බටහිර බහිරවයන්ගේ අත්වල රැඳවුණු නූල්වලින් නැටවෙන රූකඩ බැව් නො දන්නෝ ද උන්ම ය. උන් කීවේ කිලිනොච්චිය අපේ හමුදාවට කවරදාකවත් අත්පත් කරගත නොහැකි බවෙකි.

එහෙත් එය මේ මුග්ධයන්ගේ නර්මාලාපයක් කරන්නට නිවැරදි දේශපාලන නායකත්වයක් ලද යුද ශිල්පයේ හසල අත්දැකීම් ඇති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයාණන්ගේ මඟ පෙන්වීම මත එඩිතර නිර්භය හමුදාපතිවරයකු ලද රණවිරුවෝ ගුවන් හමුදාවේ මෙන්ම නාවික හමුදාවේ ද පොලිසියේ ද සහය අවැසි විට ඔවුනගේ ද සහය ලබා ගෙන ප‍්‍රතිගාමිත්වයේ අපේක්ෂාවන් භංග කරමින් නව වස උදා වී දෙවැනි දින ඊළාම් සිහින රාජ්‍යයේ හදවත අග නගරය, අත්පත් කර ගත්තේ අනේක අප‍්‍රමාණ මහා දුක් කන්දරාවක් විඳ ගෙන ය.

කිලිනොච්චිය ඇල්ලීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දවල් හීනයක් යයි වහසි බස් කියූ මිනීමරු ත‍්‍රස්තවාදී කොටි නායකයාට එය යථාර්ථයක් බව පසක් කර දෙන්නට අපේ මව්බිමේ සුජාත සෙබළ දූ පුතුන් කළ සියලු ආකාරයේ කැපකිරීම්වලට සමස්ත දේශයේ ම ගෞරවයත් උත්තමාචාරයත් සාධුජනයා හදවතකින් ම පුද කරනා බැව් නූතන මහා වංශ කථාවේ එක් පිටුවක සටහන් කෙරෙන්නේ සොලී රටින් පැමිණ එවක මෙලක්දිව් හි නරපතිවරයා වූ අසේළ රජුන් යටත් කොට පුරා හතළිස් හතර වසරක් රටෙන් කොටසක් බලහත්කාරයෙන් අල්ලාගෙන පාලනය කළා වූ එළාරගේ බලය සුන්කොට දමා ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් තුන්සිය අසූතුනේ දී දුටුගැමුණු නරදේවයාණන් විසින් තුන් සිංහලය ඒකචත‍්‍ර කිරීමෙන් පසු ද මහා පරාක‍්‍රමබාහු මහ රජතුමා මෙන්ම මහා විජයබාහු රජතුමා ද පරසතුරු උවදුරු නසා රට එක්සේසත් කළ ආකාරය අපේ යටගියාව හාරා අවුස්සා බලන විට හමු වේ.

එදා ඒ අභීත මිනිසුන් කරන ලද්දා වූ වීර වික‍්‍රමාන්විත සටන් වලින් අපේ ඉතිහාසයේ පිටු ගණන් පිරී ඇත.

අපේ යුගයේ මේ විජයශ‍්‍රීය ලද අති උදාර මොහොත ලක්දිව් හි ඉතිහාසයේ කෙසේ සටහන් වනු ඇද් ද? මන්ද යත් මෘග ත‍්‍රස්තවාදියාගෙන් රටත් ජනතාවත් මුදවා ගන්නට රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනක මහා ධනස්කන්ධයක් වැය කරමින් වුව රටේ ජනතාවගේ අවශ්‍යතා සියල්ලත් ඒ ඒ අයුරින් ඉටු කරමින් නොදියුණුවේ පත්ලෙහි ම ගිලී සිටින රටක් ජනතාවගේ ජීවනෝපායන් සරි කරන්ටත් ඈත අති දුෂ්කර ගම් දනව්වල ජනතාවගේ මූලික අවශ්‍යතා දැන හඳුනා ගෙන මංමාවත් පාලම් බෝක්කු මෙන්ම කෙතට දියවර සපයන වැව් අමුණු සාදන්නට ප‍්‍රතිසංස්කරණය කරන්නට ද ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් විය පැහැදම් කරමින් රුපියල් හයදාහක් පමණ මිලක් ගෙවා ආණ්ඩුව විසින් ගෙන්වනු ලබන පෝර හොන්ඩරය රුපියල් තුන්සිය හැත්තෑ පහක සහන මිලකට ගොවියාට ලබා දේ.

එවන් මහා සහනයක් දෙන්නේ රට සහලින් ස්වයංපෝෂිත කරන්නට ය. ඒ සඳහා දිවා රෑ වෙහෙසෙන ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඇවැසි පියවර ගන්නට තරම් වත්මන් පාලන තන්ත‍්‍රය මෙහෙය වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහා භාණ්ඩාගාරය හසුරුවන අයුරු ද අදහා ගන්නටවත් නොහැකි තරම් වූ විශ්මය දනවන කි‍්‍රයාවක් හෙයිනි.

පාසල් දරුවනට ඇවැසි පත පොත ඇඳුම කැඩුම ද අඩුවකින් තොරව සපයන්නේ යුද්ධයකට ද ප‍්‍රකෝටි ගණනින් මහා ධනස්කන්ධයක් වැය කරමිනි. ඒත් දරුවන් ගැන හිතන්නට පවා නොහැකි සමහර පාලකයන් දරුවන්ගේ පාසල් නිල ඇඳුම පවා ලබා දෙන්නට පියවර නො ගත්තා පමණක් නොව උපාධිය කරපින්නා ගෙන රක්ෂාවක් ඉල්ලා උද්ඝෝෂණය කළ මේ රටේ උපාධිධාරී තරුණ තරුණියන්ට පොලු මුගුරුවලින් පහර දුන් හැටි ද මේ වැදගත් අවස්ථාවේ සටහන් කර තැබිය යුත්තේ ම ය.

රටක රාජ්‍ය නායකත්වයට පත් විය යුත්තේ රට ජාතිය ආගම දහම සංස්කෘතිය ගැන කැක්කුමක් ඇති සියලු හොඳ දේ දරුවන්ට දීමට නොපැකිළෙන්නා වූ ජනතාවගේ හද ගැස්ම මැනවින් හඳුනන පාලකයෙකි.

ඒ සියලු දැයින් පරිපූර්ණ පාලකයකු අද අපට සිටී. එය මේ රටේ වාසනාවකි. අපේ දූ දරුවන්ගේ වාසනාවකි.

කිඹුල් කඳුළු හෙලනා මිනිසුන්ට මින් පසු අප කවදාවත් නොරැවටිය යුතු නැත. රණවිරුවන්ගේ වෙහෙස මහන්සිය ට ඔච්චම් කරන්නා වූ මිනිසුන් හඳට ගල් ගැසුවාට පොසු ගැසුවාට ඒ එකක්වත් හඳට වදින්නේ නැත.

හඳ අහසේ වඩාත් දීප්තිමත්ව බැබලේ. ඒ දිහා බලා සිටින්නට අකමැති මිනිසුන් ද ලොව කොතැනත් සිටී. මන්ද යත් උන් ආලෝකයකට අකමැති නිසයි. උන් හැඳින්වෙන්නේ නිසාචරයන් යනුවෙනි. මේ නිසාචරයන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කැට කැබළිතිවලින් දමා ගසති.

එහෙත් ඒ සියල්ල මේ යශස් මිනිසා වලකන්නේ ඔහුගේ ගෙලවටා ඇති කුරහන් සාටකයේ බලයෙනි. එය ඈත රූණේ මෙන්ම රජරට ද හේන්වල දාදිය හෙලන මිනිසුන්ගේ ලෙයින් දහයෙන් පෙඟී තෙත බත්ව මහා බලයක් ගොඩ නඟා ඇත. එය බිඳ හෙලීම ලේසි පාසු නැත.

මන්ද යත් ඔහු සියල්ල කරන්නේ මේ රටත් ජනතාවත් කෙරෙහි උපන් ආදරයෙන් දයාවෙන් නිසාවෙනි. ඔහු බිම දැමිය හැක්කේ මේ රටටත් ජනතාවටත් ඔහුට වඩා ආදරයක් කරුණාවක් දයාවක් ඇල්මක් දක්වන්නකුට පමණි.

එවන් පුද්ගලයකු සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු ය. කෙටියෙන් කීවොත් කන කැස්බා විය සිදුරෙන් අහස දැකීම හා සමාන ය.

මේ මිනිසා නිවැරදි නායකත්වයක් ති‍්‍රවිධ හමුදාවටත් පොලිසිටත් ලබා දී කොටි බලය මුළුමනින්ම සුන් කොට දමා ඊළඟට හැරෙනා දිශාව සොයන්නට ගැළීලියෝ එක්කල ආවත් නො හැකි බැව් නම් ඉතා පැහැදිළි ය. එවන් නායකයකු ලබන්නට මේ රට වාසනාවන්ත වී ඇත.

හැබැයි ඒ වාසනාව උදා වූයේ ප‍්‍රමාද වී බැව් ද කිව යුත්තේ ම ය. අප මේ සටහන මෙහි තබන්නේ රටේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෙරීත්වයත් ඒකීය බවත් රකින්නට යුද පෙරමුණට ගොස් රට වෙනුවෙන් දිවි දුන් ලක් මෑණියන්ගේ සුජාත එඩිතර නිර්භීත රණවිරුවන් මේ පොළොවට එක් කළ රුහිරුවලිනි. එහි වටිනාකම අමිල ය. නිවන් දකින්නට ඔවුන් කළ ඒ පුණ්‍ය කර්මය හොඳට ම සෑහේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා