2009-01-13

ඒ-9 දැන් කාටත් විවෘතයි

ඒ-9 දැන් කාටත් විවෘතයි
ඉතා ඉක්මනින් මුලතිව් මුදාගන්නවා

හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා

කොටි ත‍්‍රස්තවාදීන්ගේ සියලු අමානුෂික කි‍්‍රයාවලට එරෙහි වෙමින් පරන්තන් කිලිනොච්චි අලිමංකඩ ඇතුළු ඒ - 9 පාරම කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමට යුද හමුදාවට හැකි වීම මුළුමහත් ශ‍්‍රී ලංකා වැසියන් ලද විශාල ජයග‍්‍රහණක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගයෙන් නැඟෙනහිර සිට මේ දක්වා ලද හමුදා ජයග‍්‍රහණ සියලුම සෙබළුන් මහත් කැපකිරීමක් කර ලබාගත් ජයග‍්‍රහණයක් බව හමුදාපතිවරයා පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාව ඒකීය රටක් වන බවත් ඒ රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කිරීමට යුද හමුදාව ඕනෑම වේලාවක සූදානම් බවත් කුමන බාධක පැමිණියත් රටේ ඒකීය භාවය රැක ගන්නා බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

මහා වර්ෂාවට තෙමෙමින්, මඩ වගුරුවල දින ගණන් ගමන් කරමින් කටු පඳුරු වනාන්තර තරණය කරමින් මර උගුල් මග හරිමින් හමුදා සෙබළුන් කිලිනොච්චිය පරන්තන් අලිමංකඩ සහ ඒ - 9 මාර්ග ඇතුළු ප‍්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා පැමිණ ගමන දුෂ්කර බවත් ඒ බාධක සියල්ල ජය ගැනීමට හමුදා සෙබළුන් සමත් වූ බවත් යුද හමුදාපතිවරයා කියා සිටියි.

මේ වන විට යුද්ධය මෙහෙයවීම සඳහා අදාළ නිලධාරීන් විශාල කැපකිරීමක් කරන බවත් ඒ ඒ නිලයන් වලට පත් කර ඇති සියලුම දෙනාට යුද්ධය පිළිබඳව මනා දැනුමක් ඇති බවත් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කරයි.

තමන් සතුව වසර තිහක යුද අත්දැකීම් ඇති බව පෙන්වා දෙන හමුදාපතිවරයා ඒ අත්දැකීම මත අලිමංකඩ සහ ඒ - 9 මාර්ගයද මුදා ගත් අතර ඉදිරියේදී මුලතිව් ප‍්‍රදේශයද ඉතා ඉක්මනින් මුදා ගැනීමට හමුදාවට හැකි බවයි. “අපේ හමුදාව මේ වන විට ඉතා ශක්තිමත්, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. ඉතා ඉක්මනින් මුලතිව් ඇතුළු කුඩා ප‍්‍රදේශය කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමට අපට හැකි වේවි”.

“මේ ජයග‍්‍රහණ ලැබීම සඳහා දායක වූ පිරිසක් සිටිනවා. සටන් වලදී මියගිය වීර සෙබළුන් තුවාල ද සෙබළුන් අප මේ මොහොතේ මතක් කළ යුතුයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා