2009-01-13

පාබල හමුදාවට අත්වැලක් වූ

පාබල හමුදාවට අත්වැලක් වූ
අපේ ගුවන් හමුදාව

නවය මුදා ගැනීමේ මහා මෙහෙයුම කි‍්‍රයාත්මක කළ පාබල හමුදාව ගමන් කළ මාර්ගය අවහිර කරමින් ත‍්‍රස්තවාදීන් දිගින් දිගටම පහර දෙන විට පෙර ගමන්කරුවා ලෙස පෙරමුණට ගියේ ගුවන් හමුදාවයි.

ත‍්‍රස්තවාදීන් ගේ ඉදිරි ආරක්ෂක වලලු මෙන්ම ප‍්‍රබල ස්ථාන වෙත ගුවනින් පහර දෙමින් ත‍්‍රස්තවාදීන් අඩපණ කිරීමට ජෙට්, මිග්, එම්.අයි 24 පෙරමුණ ගනු ලැබීය.

මේ අනුව ඉකුත් මස 20 වැනිදා සිට ඒ නවය මාර්ගය මුදාගෙන අවසන් කරන තෙක් ඉදිරියෙන් ගමන් කළ ගුවන් නියමුවෝ අලිමංකඩ, පරන්තන්, මුහමලේ හා කිළාලි කොටි ප‍්‍රබල ස්ථාන, බර අවි ස්ථානගත කළ අංගන, ඇතුළු කොටින් රැස්ව සිටි රහසිගත කඳවුරු සියල්ල ගුවනින් වනසා දමනු ලැබීය.

මෙසේ නිවැරදි ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීමට ආරක්‍ෂක මිනිස් ඔත්තු සේවාව හා කේලමා (නියමුවකු රහිත ගුවන් යානය) ඇතුළු විද්‍යුත් සන්නිවේදන මෙන්ම භූමියේ භට පිරිස් නිවැරැදි තොරතුරු සපයන ලදී.

ගුවන් නියමුවන් තමාට ලැබුණු දත්ත මත නිවැරැදි ඉලක්කය සොයා ප‍්‍රහාර එල්ල කළ අතර ගුවන් ඉංජිනේරුවෝ ප‍්‍රහාරක යානා දෝෂ රහිත ලෙස නිතර පරීක්‍ෂා කර සකසා දුන්හ.

ගුවන් හමුදාව පාබල හමුදා වෙත මෙසේ සහාය ලබා දෙන විට නාවිකයෝ මුහුදේ ආරක්ෂාව තහවුරු කළහ.

වෙරළාසන්න නොගැඹුරු මුහුදු සීමාවේ එක් කණ්ඩායමක් ද මධ්‍යම හා ගැඹුරු මුහුදු සීමාවේ තවත් කණ්ඩායම් දෙකක් ද යොදවමින් ශී‍්‍ර ලංකා නාවික හමුදාව වළලු තුනකින් මුහුදු සීමාවේ ආරක්‍ෂාව තහවුරු කරමින් ත‍්‍රස්තවාදීන්ට ගොඩබිමට අවශ්‍ය සැපැයුම් ලබාදීමට ඇති හැකියාව අසුරන ලදී.

නැගෙනහිර සිට ඒ නවය මුදා ගෙන අවසන් වන තෙක් ද මෙසේ ලබාදුන් සහාය නාවික හා ගුවන් හමුදා උතුරේ ත‍්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කරන තුරු ලබා දෙනු ඇත. ති‍්‍රවිධ හමුදාවේ කැපවීම හෙට දින උතුරටද නැගෙනහිරට මෙන්ම සාමයේ දොරටු විවර කරනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා