2009-01-13

උතුර-දකුණ යළි එක්වූ වගයි...

උතුර-දකුණ යළි එක්වූ වගයි...

කොටි ත‍්‍රස්තයන් විවිධ උපක‍්‍රම යොදා ගනිමින් ඒ 9 මාර්ගයේ බලය ඔවුන් අතට ගත් දින සිට යාපනයේ වැසියන්ට දකුණට ඒමට තිබූ ඉඩකඩ ඇහැරිණි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී අඛණ්ඩව සිවිල් වැසියන්ට ඒ 9 මාර්ගයෙන් උතුරේ සිට දකුණට පැමිණීමට අවස්ථාව හිමි විය. එලෙසම කොටි ත‍්‍රස්තයන් ඔවුන්ගේ ප‍්‍රයෝජනය සඳහා පමණක් සිතමින් ඒ 9 මාර්ගය ඔස්සේ යාපනයේ ජනතාවට වවුනියාවට පැමිණීමට අවස්ථා කිහිපයක් ලබා දුන්හ. එහෙත් යුද ගැටුම් සහ ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් ඒ 9 මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගියේ ය.

යාපනයේ අහිංසක සිවිල් වැසියන්ට දකුණට ඒමට තිබූ ඉඩ ඇහැරිනි. ඔවුන්ට ගුවන් මගින් හෝ නෞකා මගින් පමණක් කොළඹ ඇතුලු ප‍්‍රදේශවලට පැමිණීමට සිදු විය. කොටින්ගේ මේ කි‍්‍රයා කලාපය හේතුවෙන් යාපනයේ සිවිල් ජනතාව දකුණේ ජනතාව ගෙන් ඈත් විණි.

සිංහල දමිළ සංස්කෘතීන් ශී‍්‍ර ලංකාවේ සෑම ප‍්‍රදේශයකම පැතිරී තිබෙයි. කොළඹ, ගාල්ල, කතරගම, ති‍්‍රකුණාමල, අම්පාර ඇතුලු තවත් ප‍්‍රදේශ රාශියකම සිංහල දෙමළ වැසියන් ඉතා හොඳ මිතුරන් සේ සිටිමින් ඔවු නොවුන්ගේ සංස්කෘතික, සමාජීය, බැදීම් හුවමාරු කර ගනියි.

සිංහල දෙමළ යන වචනයෙන් ඔව්හු වෙන් නොවෙයි. ශී‍්‍ර ලාංකිකයන් ලෙස සිතමින් මේ රට ආරක්ෂා කරන්නට රට රකින්නට රටට ආදරය කරන්නට පෙළඹී සිටිති.

බොහෝ නගර මෙන්ම ගම්මානවල දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුලු නොයෙක් ජාතීන්ගේ දූ දරුවන් එකම කී‍්‍රඩා පිටියක එකට කී‍්‍රඩා කරති. ආහාර පාන ගනිති. මේ ආකාරයට කුඩා කළ සිටම මේ ජාතීන් අතර හොඳ බැඳීමක් පවතියි. එහෙත් කොටි ත‍්‍රස්තවාදීන් ඒ 9 මාර්ගය හරස් කර යාපනයේ ජනතාව දකුණේ ජනතාවගෙන් වෙන් කිරීමට කටයුතු කෙළේ ය. සිංහල වැසියන් ති‍්‍රවිධ හමුදාව අමානුෂික පිරිසක් ලෙස හංවඩු ගසා දෙමළ ජනතාවට වෛරයක් ඇති කිරීමට උත්සහ ගත්හ.

එහෙත් මේ මොහොත වන විට කොටින් ගේ සියලු කි‍්‍රයාකාරකම් බිද දැමීමට හමුදාවෝ සමත්ව ඇත. අනාරක්ෂිත ප‍්‍රදේශයක් කොටින් ගෙන් මුදා ගත් වහාම ප‍්‍රථමයෙන් රතිඥා පත්තු වන්නේ යාපනය නගරයේ ය. දෙමළ වැසියන් සිංහ කොඩිය රැගෙන යාපනය නගරයේ පෙලපාලි යන්නට ද පටන් ගෙන ඇත.

මේ සියල්ල සිදු වූයේ හමුදා ජයග‍්‍රහණ සමඟ ය. අද හමුදාව විසින් ඒ 9 මාර්ගය මෙන්ම කොටි ග‍්‍රහණයේ තිබූ බොහෝ ප‍්‍රදේශ මුදා ගෙන හමාරය. කොටි මුලතිව් වලට පමණක් කොටු වී සිටිති.

ති‍්‍රවිධ හමුදාවේ මේ ජයග‍්‍රහණ සමග උතුරේ වැසියන්ට නව ලොවක් උදාවී ඇත. උතුරේ ජනතාවට සිතන්නට හෙටක් ඇත. දරුවන්ට දෙන්නට ලෝකයක් ඇත. නිදහසේ සිහිනය සැබෑ වී තිබේ.

ඒ 9 මාර්ගය නිදහස් කර ගැනීමෙන් උතුරේ දකුණේ ජනතාවගේ බැදීම වැඩි වී ඔවුන්ගේ සංස්කෘතියන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමෙන් නව සමාජයකට පිවිසීමට හැකි වෙනු ඇත. එම සමාජ බැඳීම නැවත කොටි සංවිධානයක් බිහි නොකරනු ඇත.