2009-01-13

වසර විසි තුනකට පසු මුදාගත් ඒ-9

වසර විසි තුනකට පසු මුදාගත් ඒ-9

ත‍්‍රස්තවාදය පරදවා මේ රටේ යුද හමුදාව ලබන්නාවූ ජයග‍්‍රහණ අතර ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් විය. ඒ වූ කලී වසර 23 කට පසු යාපනය නුවර ප‍්‍රධාන මාර්ගය හෙවත් ඒ-9 මාර්ගය ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමයි.

80 දශකයේ ආරම්භයේ සිටම උතුරේ ප‍්‍රදේශ අත්පත් කර ගැනීමට අවස්ථා ගණනාවකදීම ප‍්‍රහාර එල්ල කළ කොටි ත‍්‍රස්තවාදීහු 1985 වර්ෂයේදී ඒ 9 මාර්ගය අත්පත් කරගත්හ.

ඒ-9 මාර්ගය වූකලී උතුර දකුණ යාකෙරෙන ප‍්‍රධාන මාර්ගයයි. දකුණේ සිට යාපනය දක්වා ප‍්‍රවාහන පහසුකම් සළසා ගත හැකි එකම පහසුම මාර්ගයද එයයි.

වවුනියාවේ සිට ඕමන්ත, පුලියන්කුලම, මාන්කුලම්, කොකාවිල්, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, මුහමාලේ සහ යාපනය ඒ 9 මාර්ගය ඔස්සේ ඇති ප‍්‍රධාන නගරයන්ය.

මුදල් රැස්කිරීමට

80 දශකය ආරම්භ වන විට උතුරේ කොටි කි‍්‍රයාකාරකම් ක‍්‍රමයෙන් වැඩිවිය. වවුනියාව සිට කිලිනොච්චිය දක්වාවූ ප‍්‍රදේශවල සිටි ජනතාව කොටි සංවිධානයට සම්බන්ධ කර ගැනීමට කටයුතු කෙළේ එම වකවානුවේ දීය. එම සංවිධානයට අරමුදල් එක්රැස් කර ගැනීමට කොල්ලකෑම් ආදිය ද සිදුවිය. විවිධ ආකාරයෙන් සංවිධානයේ කටයුතු වැඩි දියුණු කර ගැනීමට කටයුතු සිදුවෙද්දී ඔවුන්ට වවුනියාවේ සිට යාපනය දක්වා වූ ඒ 9 මාර්ගයේ අවශ්‍යතාව ද වැඩිවිය. ඒ නිසා ඔවුන් ඒ-9 මාර්ගය ඔවුන් යටතට ගැනීමට කුමන්ත‍්‍රණය කළහ. පහරදීම් සිදු කිරීමට උත්සාහ කළහ. 80 – 84 දක්වාවූ කාලය වනවිට කොටි කි‍්‍රයාකාරකම් බෙහෙවින් වැඩිවෙමින් තිබුණි. වඩමාරච්චි මෙහෙයුම සිදුවූයේද 1987 වර්ෂයේ දීය.

මේ කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේ ඒ 9 මාර්ගය ඇතුලු ප‍්‍රදේශ පැවතුණි.

කාලයක් යනවිට හමුදාව හා කොටි ත‍්‍රස්තවාදීන් අතර දරුණු ලෙස ප‍්‍රහාර එල්ලවීම සිදුවිය. 90 දශකයේ ආරම්භය වන විට ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා වූ ප‍්‍රදේශය කොටි අත්පත් කරගත්හ.

කොටි අත්පත් කරගත් ඒ 9 මාර්ගය ආපසු ලබාගැනීම පිණිස ආරක්‍ෂක හමුදා මෙහෙයුම් ගණනාවක් සිදු කළහ. යාල්දේවි, අකුණුපහර, බලවේගය, සත්ජය, ජයසිකුරු එම මෙහෙයුම් ය.

එම මෙහෙයුම්වලදී වරෙක ඒ 9 හරහා ඇති ප‍්‍රදේශ අත්පත් කරගනිමින් ඒ 9 රැකගැනීමට උත්සාහ කළහ.

පසුව වවුනියාවේ සිට ඕමන්ත ප‍්‍රදේශය දක්වාත්, කිලිනොච්චි සිට යාපනය දක්වාත් ආරක්‍ෂක අංශ යටතේ පැවතුනි. පසුව කිලිනොච්චිය අතහැර අලිමංකඩට පසුබැසීමට ආරක්‍ෂක හමුදාවට සිදුවිය.

වසර 9 කට පෙර

මීට වසර 9 කට පෙර අලිමංකඩ ප‍්‍රදේශය ආරක්‍ෂක හමුදාවලට අහිමිවීමෙන් පසු ඒ 9 මාර්ගයේ බලය අලිමංකඩ දක්වාම කොටි ත‍්‍රස්තවාදීන්ට හිමිවිය. ආරක්‍ෂක හමුදාවලට ඉන්පසුව හිමිවී තිබුණේ මුහමාලේ සිට යාපනය දක්වා ප‍්‍රදේශය පමණි. ඒ අනුව වවුනියාවේ සිට ඕමන්ත දක්වාත්, මුහමාලේ සිට යාපනය දක්වාත් ඒ 9 මාර්ගය හිමිව තිබියදී සෙසු ප‍්‍රදේශ කොටි ත‍්‍රස්තවාදීන්ට හිමිවී තිබුණි.

යුද හමුදාවේ ප‍්‍රධාන ආරක්‍ෂක මුරපොළ ඕමන්තේ පිහිටා තිබුණි. ඉන් එහාට සුළු ප‍්‍රදේශයක් මිනිසුන් නොගැවසෙන ‘නෝ මෑන් ඒරියා’ වශයෙන් තිබුණි. ඉන් අනතුරුව කොටින්ගේ අඩෙවියට ඇතුලු වන කොටි ප‍්‍රධාන මුරපොළ පිහිටා තිබුණි.

කොටින්ගෙන් බද්දක්


හසලක ගාමිණි රණවිරුවා


විනාශ කළ බෝම්බ ඩෝසරය


අලිමංකඩ ජයග‍්‍රාහි අවස්ථාව

දිනකට වාහන සිය ගණනක් ඒ 9 මාර්ගයේ එහාට මෙහාට ධාවනය වෙයි. යාපනය, පූනරින්, මුලතිව්, කිලිනොච්චි ඇතුළු සෙසු ප‍්‍රදේශවලට දකුණේ සිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය යැවෙන්නේ ඒ 9 මාර්ගය හරහාය. එසේ යවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම ඕමන්තේ මුරපොළේදී පරීක්‍ෂාවට ලක් කෙරේ. ඕමන්තෙන් ඇතුළුවන වාහනවලට කොටින්ගේ පුලියන්කුලම මුරපොළේදී බද්දක් අය කෙරිණි. ආරක්‍ෂක හමුදා කිසිදු බද්දක් අය නොකර යවන වාහනවලින් කොටි බද්දක් අය කරන්නේ ඔවුන්ගේ ප‍්‍රයෝජනය සඳහාය. බදුවලට අමතරව ඔවුන් රුපියල් මිලියන ගණනින් කප්පම්ද එකතු කරගත්හ. පස්වරු 6.00 වන විට ඕමන්ත ආරක්‍ෂක මුරපොළ වසා දමයි. එම වෙලාවෙන් පසු මුහමාලේ ආරක්‍ෂක මුරපොළෙන්ද කිසිවකුටත් කොටි අඩවියට ඇතුලු වීමට අවසර නැත.

කොටි සංවිධානය වසර 23ක කාලයක් තිස්සේ එම ජාවාරම කරගෙන ගියහ. දිනකට බදු වශයෙන් උතුරට යන එන වාහනවලින් දිනකට රුපියල් ලක්‍ෂ 20ක් පමණ එක්රැස් කර ගත්හ. එම වසර 23 දක්වා කාලයේ යාපනයේ බඩුමිල ඉහළම තත්ත්වයක පැවතුණි. දකුණේ පොල් ගෙඩියක් රුපියල් විස්සක් වනවිට උතුරේ රුපියල් සියයක් වෙයි. බඩුවලින් පමණක් නොව ඒ හරහා එහා මෙහා යන පුද්ගලයන්ටද බලපත‍්‍රයක් නිකුත් කළහ. ඒ සඳහාද මුදලක් අය කෙරුණි.

වෙනම නීති මාලාවක්

කොටි ඒ-9 මාර්ගයේ ඔවුන්ගේ අඩෙවිය හරහා යන එන වාහන පුද්ගලයන් වෙනුවෙන් වෙනම නීති මාලාවක්ද පනවා තිබුණි. රථ වාහන නීති පද්ධතියක්ද විය. ඒවා අනුගමනය නොකරන පුද්ගලයන්ට සහ වාහනවලට දඩ කොල නිකුත් කෙරිණි.

තවද පුලියන්කුලම සිට අලිමංකඩ දක්වා වූ ප‍්‍රදේශ අතරින් මුලතිව් දක්වා යන ඒ 35, ඒ 34, ඒ 32 මාර්ග උපයෝගී කරගනිමින් ඒ 9 මාර්ගය හරහා මුලතිව්, පුනරින්, කිලිනොච්චි ප‍්‍රදේශවලට මුහුදු මාර්ග ඔස්සේ එන විවිධ හොර බඩු, අවි ආයුධ ප‍්‍රවාහනය, සාමාජිකයන් විදේශ රටවලට ගෙනයාම ඇතුලු බොහෝ දෑ සිදුකළහ. එපමණක් නොව මත්කුඩු ජාවාරමද කොටි තදින්ම කරගෙන ගියහ.

දකුණේ සිට උතුරට අවි ආයුධ කොටි සාමාජිකයෝ පුලියන්කුලම දක්වා ගෙනවිත් ඉන් පසු ඔඩ්ඩුසුඩාන්, පරාක‍්‍රමපුර, වැලිඔය දෙසින්ද මඩු පරයානකුලම්, පුවරයන්කුලම්, මන්නාරම දෙසින්ද හොර කැලෑ පාරවල් ඔස්සේ එහා මෙහා ගෙන ගියහ.

ඔවුන් වැඩි වශයෙන්ම මත්කුඩු ජාවාරම් කරගෙන ගියේ ඒ 32 එනම් නැඟෙනහිර දෙසින් මන්නාරම ප‍්‍රදේශය හරහාය. ඔවුන්ගේ පරාජයන් දවසින් දවස සිදුවන විට දකුණේ මත්කුඩු ජාවාරමටද නැවතීමේ තිත වැටුණි.

වාහන ජාවාරම

දකුණේ සිට වාහන ජාවාරම්කරුවන් හොර රහසේ උතුරට වාහන ගෙන ගොස් විකිණීමද තදින්ම සිදු කෙරුණ නීති විරෝධී ජාවාරමකි. දකුණේ රුපියල් ලක්‍ෂ ගණන් වටිනා වාහන පැහැරගෙන යන කොල්ලකරුවන් ඒවාට ව්‍යාජ පොත් සකස්කර ඉතා අඩු මිලකට කොටින්ට විකුණා ආපසු එති. සටන් විරාමය සමයේදී කොටි ත‍්‍රස්තයෝ එම නීති විරෝධී ජාවාරම්, අවි ආයුධ ප‍්‍රවාහනය, කොටි සාමාජිකයන් එහා මෙහා ගෙනයාම පිණිස ඒ-9 මාර්ගය විවෘතවම යොදාගත්හ. ඊට හේතුව සටන් විරාමය කාලයේ උතුරට යන එන වාහන පරීක්‍ෂා නොකිරීමට එවකට පැවැති රජය අවසර දී තිබීමයි.

කොටි හිතවාදී ඇතැම් කණ්ඩායම්ද බෝම්බ පිපිරවීම් ඇතුළු කොටින්ගේ අපරාධවලට සහාය දී නීතියෙන් බේරී සිටීම සඳහා පලාගියේ කොටි අඩවිය වෙතටය. ඕමන්තෙන් පැනගත් පසු ඔවුනට බෙහෙවින්ම කොටි ආරක්‍ෂාව හිමිවිය.

මේ ආකාරයෙන් ඒ 9 මාර්ගය උපයෝගී කරගනිමින් එම මාර්ගයේ නැඟෙනහිර සහ බටහිර දෙසට තිබූ කොටි අඩෙවිවල සිදු කෙරුණ නීති විරෝධී ජාවාරම් අප‍්‍රමාණය.

කොටින්ගේ සැපයුම් මාර්ග

ඒ 9 මාර්ගයේ කොටන්ගේ අඩෙවිය හරහා වැටී ඇති මාර්ගය දෙපස කොටින්ගේ මුරපොළවල් විශාල ප‍්‍රමාණයක් තනාතිබුණි.

ඒ අතර ප‍්‍රධාන කඳවුරු ගණනාවක්ද විය. මුලතිව්වලට දිවෙන ඒ 35 මාර්ගය ඒ 9 මාර්ගය ඔස්සේ මුලතිව් දෙසටත් ඒ 34 මාර්ගය ඒ 9 මාර්ගයේ මාන්කුලම්, ඔඩ්ඩුසුඩාන් හරහා මුලතිව් දෙසටත් දිවෙයි. කොටින්ගේ සැපයුම් මාර්ග නැඟෙනහිර හා බටහිර දෙසට සිදුවූයේ ඒ 9 මාර්ගය හරහායි.

මුහමාලේ ආරක්‍ෂක කඳවුරට ප‍්‍රහාර එල්ල කර එම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට ත‍්‍රස්තවාදීහු අවස්ථා ගණනකදීම උත්සාහ කළහ. ඔව්හු පුනරින් සහ කිලාලි සිට මුහමලේට නිතර නිතර කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළහ. එවැනි අවස්ථා ගණනාවකදීම ආරක්‍ෂක හමුදාවන්ට හානිද සිදුවිය. එහෙත් කොටින්ට කිසිසේත් මුහමලේ ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට ඉඩ නොලැබෙන පරිදි මුහමලේ ආරක්‍ෂක බළ සේනාංකාධිපතිවරු කටයුතු කළහ.

ඒ-9 මාර්ගය 57, 58, 59 කාර්යසාධක එක දෙක තුන යන සේනාංකවලින් කිලිනොච්චි - ඕමන්තේ දක්වා ප‍්‍රදේශය බටහිර සිට නැඟෙනහිර දක්වා වූ මෙහෙයුම්වලින් සිදුවෙද්දී 53 සහ 55 මුහමලේ සහ කිලාලි කොටි ආරක්‍ෂක වළලුවලට පහර දෙමින් ඉදිරියට ගොස් අවසානයේ ඒ 9 ඉතුරුවී තිබූ ප‍්‍රදේශය අත්පත් කරගත්හ.

ඓතිහාසික දිනය

ඒ ඓතිහාසික දිනය බවට පත්වූයේ 2009 වසරේ ජනවාරි 9 වැනිදාය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආරක්‍ෂක හමුදා ලබාගත් ඒ සුවිශේෂි ජයග‍්‍රහණය පිළිබඳව ජාතිය අමතමින් දැනුම් දුන්නේය.

උතුරේ ඒ-9 මාර්ගය ආරක්‍ෂක අංශ අතට පත්වන ආකාරයට අවශ්‍ය යුද සැළසුම සකස් කෙළේ යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාය.

ඒ 9 මාර්ගය හරහා වැටුණ සැපයුම් මාර්ග කොටි ත‍්‍රස්තවාදින්ට අහිමිවීමත් සමඟම ඒ-9 මාර්ගය අහිමිවීමෙන් කොටි සංවිධානයට බොහෝ දේ අහිමිවී හමාරය.

අහිංසක මිනිසුන් එදිනෙදා හරිහම්බ කරන මුදලින් ඒ 9 පාර හරහා පොළට ගොස් බඩුටික ගෙන යන පුද්ගලයන්ද, දකුණෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට ගිය අහිංසක රෝගින්ගෙන් පවා බදු අය කරමින් තම සැපසම්පත් ළඟාකරගත් කොටි නායක ප‍්‍රභාකරන් ඇතුලු සෙසු කොටි නායකයන්ගේ සිහින රාජ්‍යයේ අගනුවරත් සමඟ අගනුවර හා සම්බන්ධ වන ඒ 9 මාර්ගයත් අහිමිවීම පිළිබඳ ඔවුන් තවත් කුමක් පවසන්නද?

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා