2009-01-13

මා ගිය ඒ – 9 මාර්ගය...

මා ගිය ඒ – 9 මාර්ගය...

2000, 2002, 2003, 2005, යන වසර වලදී ඒ 9 මාර්ගයේ වවුනියාව ඕමන්තේ හරහා කිලිනොච්චි, මුලතිව් සහ යාපනය ප‍්‍රදේශවලට යාමට ලියුම්කරුට හැකි විය. එක් අවස්ථාවකදී කොටි සහ යුද හමුදාව අතර ගැටුම් පැවතුනි. තවත් අවස්ථාවකදී රජය සහ කොටි සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් පැවතුනි. ඒ 2000 සහ 2002 වසර වලදීය. 2005 වසරේ දී එම ප‍්‍රදේශවලට යාමට අවස්ථාව ලැබුනේ සුනාමියෙන් පසුව ය. එහිදී මුලතිව් සහ ඒ අවට ප‍්‍රදේශ රැසක සංචාරය කිරීමට හැකි විය. මේ ගමන් වාර සියල්ලේ දීම කොටි ඕමන්ත මුර පොළේ දී ලියුම්කරු ඇතුළු ගමන් කළ පිරිස දැඩි සෝදිසියකට ලක් කළහ. ඒ 9 මාර්ගයේ ගමන් කරන විට පිළිපැදිය යුතු නීති මාලාවක් ද අප හට හඳුන්වා දෙනු ලැබිණි. ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා ගිය ගමන් මගේ දී ලියුම්කරු නෙත ගැටුනේ කොටි ත‍්‍රස්තවාදීන් පාවිච්චි කරන සුඛෝපභෝගි මෝටර් රථ පමණි.මාර්ගය දෙපස දක්නට ලැබුණේ පැල්පත් නිවාස ය. හොඳින් නිම වූ ගොඩනැගිලි කිහිපයක් හමු වූ අතර ඒවා පිළිබඳව සොයා බැලීමේ දී තහවුරු වූයේ කොටි ත‍්‍රස්තවාදීන් නොයෙක් පරිපාලන කටයුතු සඳහා මෙම ගොඩනැගිලි උපයෝගී කර ගන්නා බවයි.

කොටි ත‍්‍රස්තයන් කිලිනොච්චි වල ගොඩනැගිලි රැසක් ඉදිකර තිබුණි. එම ගොඩනැගිලි සියල්ලම ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා ය. මුලතිව් ප‍්‍රදේශයට ගිය අවස්ථාවක අපගේ මෝටර් රිය ළමයින් පිරිසක් විසින් සිප ගත් අතර තවත් ළමයෙකු එය ලෙව කෑවේ මෙය කුමක්ද යන්න පිළිබඳව වටහා ගැනීමට ය. ඒ අවස්ථාව මතක් වන සෑම මොහොතකම ලියුම්කරුගේ සිත දැඩි සේ කම්පාවට පත්වේ.

ලියුම්කරු සෑම අවස්ථාවකදීම දුටුවේ කොටි ග‍්‍රහණයේ සිටින සිවිල් වැසියන් විඳීන දුක ය. කොටින් ගේ තුවක්කුවට බියේ මේ ජනතාව අන්ත අසරණව සිටින අයුරුය. කිලිනොච්චිය පරන්තන් ඇතුලු ඒ 9 මාර්ගය හමුදාව ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ලියුම්කරු 2009 ජනවාරි මුල් සතියේ ඒ 9 මාර්ගය ඔස්සේ කිලිනොච්චියට ගියෙමි.

ලියුම්කරු හට බොහෝ දේ දැනිනි. කිලිනොච්චිය සහ ඒ අවට ලියුම්කරු දුටුවේ යුද හමුදාවේ සෙබලුන් ය. තාවකාලික කඳවුරුය. කොටි ත‍්‍රස්තයෝ කොහෙන් මතුවේද යන බිය සිත තුළ නොමැත. ලියුම්කරුට මහත් සතුටක්. 2005 වසරෙන් පසු වසර තුනකට පසුව ලියුම්කරු කිලිනොච්චියට ගිය මේ අවස්ථාවේ කිලිනොච්චිය හෝ ඒ අවට ප‍්‍රදේශවල කිසිදු සංවර්ධනයක් නොදැක්කෙමි. මහා මාර්ගද එසේ ය.

එහෙත් කිලිනොච්චිවල 2005 දී තිබූ කොටි සංවිධානයේ ගොඩනැගිලි මේ වන විට මහා මාලිගා බවට පත් කර ඇත. කිලිනොච්චි සහ ඒ අවට ප‍්‍රදේශවල දියුණු වී තිබුණේ කොටින් ගේ උවමනාවන් සඳහා වූ දේ පමණි.

කොටින්ගේ කි‍්‍රයාකලාපයන් ගෙන් පැහැදිලි වන්නේ දෙමළ විමුක්තිය වෙනුවට කොටි ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් පමණක් කටයුතු කර ඇති බවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා