2009-01-13

කොටින්ට විශාලම ආදායම් මඟ ඒ-9

කොටින්ට විශාලම ආදායම් මඟ ඒ-9

මහනුවර යාපනය ඒ-9 මාර්ගය කොටින්ට තිබූ ආදායම් මාර්ගයකි. ඕමන්තේ සිට මුහමලේ දක්වා වූ ප‍්‍රදේශය ඉකුත් වසර නමයක කාලය සම්පූර්ණයෙන්ම කොටි ග‍්‍රහණයේ පැවතුණි.

වවුනියාවේ සිට යාපනය නගරයට ඒ-9 මාර්ගයේ දිග කිලෝමීටර් එකසිය හතළිස් දෙකකි. මේ මාර්ගයේ කිලෝමීටර් සියයකට වඩා වැඩි ප‍්‍රමාණයක් කොටි ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ පාලනයට ගෙන තිබුණි.

ඒ-9 මාර්ගයෙන් දිනකට රුපියල් ලක්‍ෂ විස්සක පමණ මුදලක් කොටින්ට කප්පම් මුදල් වශයෙන් ලැබුණු කාලයක්ද විය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිව සිටි 2002 වසරේදී කොටි ත‍්‍රස්තයන් සමඟ එම රජය ගිවිසගත් අවබෝධතා ගිවිසුමෙන් කොටින්ට අත්වූ වාසි ගණනාවකි.

ඒ-9 මාර්ගය යාපනය දක්වා විවෘත කිරීම මේ ගිවිසුම අනුව සිදු විය. ඒ 9 මාර්ගයෙන් යාපනය කරා ගමන් කරන සිවිල් ජනතාවගෙන් හිතේ හැටියට මුදල් උපයාගන්නට කොටි ත‍්‍රස්තයන්ට හැකිවිය.

දහස් ගණනක් ජනතාව ඒ-9 මාර්ගයෙන් යාපනයටත්, යාපනයේ සිට වවුනියාවටත් පැමිණෙන්න වූහ. මුහමලේ දී සහ ඕමන්තේදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ නොයෙක් කප්පම් මුදල්වලට මේ ජනතාව හසුවිය.

2003 වසරේදී කොටි ත‍්‍රස්තයන් මේ මාර්ගයෙන් භාණ්ඩ ප‍්‍රවාහන කරන පිරිස්වලින් දැඩි ලෙස මුදල් උපයන්නට විය. සහල් කිලෝවකින් රුපියල් 03, භූමිතෙල් ලීටරයකින් රුපියල් 04, පෙට්ට‍්‍රල් ලීටරයකින් රුපියල් 06, පරිප්පු කිලෝවකින් රුපියල් 03, මාළු කිලෝවකින් රුපියල් 02, මස් කිලෝවකින් රුපියල් 05 ආදී වශයෙන් අහිංසක සිවිල් වැසියන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් කප්පම් වශයෙන් ලබා ගත්හ.

යාපනයේ සංචාරය කිරීම සඳහා මහත් උනන්දුවක් දැක්වූ දකුණේ වැසියන් දහස් ගණනින් ඒ-9 මාර්ගයෙන් උතුරට යන්නට විය. කොටි ත‍්‍රස්තවාදීන් මේ ජනතාව ඉලක්ක කර නොයෙක් නීති පමුණවමින් කප්පම් මුදල් එකතු කර ගත්හ. කොටි ත‍්‍රස්තයන් කිලිනොච්චියේ පිහිටුවා තිබූ ඔවුන් විසින් උසාවියක් යැයි පවසන ලද ගොඩනැඟිල්ලකට ගෙන ගොස් ජනතාවට නොයෙක් ;බාරු චෝදනා එල්ල කරමින් දඬුවම් ලබා දෙමින් මුදල් රැස් කළහ.

උතුරේ ජනතාව දකුණට පැමිණීමේදීත් දකුණේ ජනතාව උතුරට යාමේදීත් කොටින්ට ඒ 9 මාර්ගය මේ ආකාරයට මුදල් ඉපැයීම සඳහා වටිනා මාර්ගයක් විය.

එහෙත් මේ වන විට කොටි ත‍්‍රස්තයන්ට ඒ-9 මාර්ගයේ කිසිදු ස්ථානයක් හිමිව නැත. කොටි ත‍්‍රස්තයෝ මුලතිව්වලට පමණක් කොටු වී සිටිති. ඒ 9 මාර්ගය හමුදාව මෙලෙස අත්පත් කර ගැනීමෙන් කොටින්ගේ මූල්‍ය අංශය සම්පූර්ණයෙන්ම බිදවැටීමක් සිදුවෙයි. සංවිධානයක් ලෙස කොටි විනාශ කර දැමීමට මෙය වැදගත් වූ අංගයකි.

මුලතිව් කරා ඇදෙන හමුදා සේනාංකවලට ඒ-9 මාර්ගය භූමිය අතින් වැදගත් ස්ථානයක් වෙයි. මෙය සියතට ගෙන ඉදිරි මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට ලැබීම මුලතිව් කරා යන ගමන වේගවත් වීමට හේතුවකි.