2009-01-13

ඒ-9 පාරේ ඇවිත් නඟින හිරුත් බසින හිරුත්

ඒ-9 පාරේ ඇවිත් නඟින හිරුත් බසින හිරුත්
බලන්න යමු අලිමංකඩ

ක්‍ෂිතිජයෙන් නැඟ එන හිරුත්, ක්‍ෂිතිජයෙන් බැස යන හිරුත් මේ ලොව කොතනක හෝ එකම ස්ථානයේ සිට නැරැඹිය හැකිද? එනම් මේ පුංචි ශ‍්‍රී ලංකාවේ අලිමංකඩ සිටයි. එවැනි සුන්දර ස්ථානයක් වූ අලිමංකඩ අපට වැදගත් වන්නේ සුන්දරත්වය නිසාම නොවේ. ආර්ථික වශයෙන් හා යුදමය වශයෙන් ද විශාල ප‍්‍රයෝජනයක් ලබා දෙන බැවිනි.

රටේ තිබෙන ඉතාම පටු ස්ථානය වුවත් ත‍්‍රස්තවාදියා එම පටු ප‍්‍රදේශයේ් ලබාගත් වාසිය සියදහස් ගුණයකි. ඔවුන් යුදමය වශයෙන් ශක්තිමත් වූයේ අලිමංකඩ හරහා ආයුධ සපයා ගනිමින්ය.

අලිමංකඩ කුරුලු පරාදීසයකි. පිහිටීම අනුව සුන්දරත්වයෙන් ඉහළම තැනකට පිහිටි අලිමංකඩ චුණ්ඩිකුලම් කැලෑව අලින්ගේ මෙන්ම පිටරටවල සිට පියාඹා එන විවිධ වූ කුරුලු වර්ගයාගෙන් පිරී ඉතිරී ගිය සුන්දරම ස්ථානයකි. ශීත ඍතුවේදී සැතපුම් දහස් ගණන් දුර ඈත සිට පියාඹා එන කුරුල්ලන් දස දහස් සංඛ්‍යාවක් චුණ්ඩිකුලම් කැලෑව තුළ සැරි සරති.

තවද අලිමංකඩ ඒ නමින් හැඳින්වූයේ එහි අලි විශාල ප‍්‍රමාණයක් සිටින නිසාය. අලි චුන්ඩිකුලම් කැලෑව පුරා විසිරී සිටිති. අලි ලුණු කෑමට කැමැති බව අපි දනිමු. රාත‍්‍රි කාලයේදී අලි රංචු පිටින් ලුණු සොයා අලිමංකඩ කැලෑවට පිවිසෙති. මේ සුන්දර පරිසරය අපට අහිමි වූයේ 2000 වර්ෂයේදීය. ඒ දෛවෝපගත සිද්ධියකිනි.

අපේ රටේ උතුරේ ප‍්‍රථම හමුදා කඳවුරු පිහිටුවූයේ 1970 වසරේ අලිමංකඩ ප‍්‍රදේශයෙනි. 1991 වර්ෂයේ අභීත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක කෙරුන “බලවේගය” මෙහෙයුම අලිමංකඩ කඳවුර ආරක්‍ෂා කර ගැනීමට ක‍්‍රියාත්මක වෙද්දී හසලක ගාමිණී නම් වූ ඒ වීරෝදාර හමුදා සොල්දාදුවා කොටින්ගේ බෝම්බ පිරවූ බුල්ඩෝසර් පෙළට කඩා පැන ජීවිතය පූජා කර කඳවුර බේරා ගැනීමේ සිද්ධිය ඉතිහාසයට එක් වූයේ එදිනය.

කඳවුරේ ආරක්‍ෂාව තර කර තිබියදී බෝම්බ පුරවාගත් කොටින්ගේ බුල්ඩෝසරයක් සහිත වාහන පෙළක් කඳවුර වෙත පැමිණෙමින් තිබිණි. මරාගෙන මැරෙන කොටියකු බුල්ඩෝසරය පැදවුවේය. බුල්ඩෝසරය කඳවුර වෙත කඩාගෙන ඇතුල් වුවහොත් එහි සිටි සාමාජිකයන් සමඟම විශාල විනාශයකට පත්වෙනු ඇත. කඳවුරේ සිට ආරක්‍ෂක භට පිරිස් සතුරන්ට ප‍්‍රහාර එල්ල කරමින් සිටියහ. එහෙත් එම ප‍්‍රහාර හමුවේ මරාගෙන මැරෙන කොටි බුල්ඩෝසරය කඳවුර වෙතට ආසන්න වෙමින් පැමිණෙයි.

මේ අවස්ථාව වන විට කඳවුරේ ඉදිරිපස ආරක්‍ෂක කටයුතුවල නියැළී සිටි සෙබළුන් සහ කඳවුර තුළ සිටි පිරිස ද බුල්ඩෝසරයට ප‍්‍රහාර එල්ල කරමින් එහි ගමන වළක්වාලීමට කටයුතු කරමින් සිටියහ.

රාති‍්‍ර ඝන අඳුර මධ්‍යයේ බෝම්බ පුරවාගත් මේ බුල්ඩෝසරය කඳවුරම ගිලගන්නට ධාවනය කරමින් තිබිණි. ඒ අවස්ථාවේ ආරක්‍ෂාවේ යෙදී සිටි පිරිස අතර හසලක ගාමිණී කුලරත්න වීර සොල්දාදුවා ද සිටියේය. ඔහුගේ දෑතේ තිබූ ගිනි අවියෙන් ද මාරක ඩෝසරයට වෙඩි වර්ෂාවක් එල්ල වුණි. එහෙත් ඒ සියල්ල පරදා ඉදිරියට එන මේ ඩෝසරය තවත් විනාඩි කිහිපයක් ඇතුළත කඳවුරම පුපුරුවා හරිනු ඇත. වීර ගාමිණීට තවත් නම් මේ දෙස බලා සිටිය නොහැකි විය. මේ විනාශය වීමට ඉඩදිය නොහැකිය. ඔහු හනිකට බෝම්බ වැළක් තම ශරීරයේ වෙලා ගත්තේය. තවත් කීපයක් දෑතට ගත්තේය. ‘එපා මොනවද මේ කරන්න යන්නේ’ ඔහුගේ සගයා කලබලයෙන් ඇසුවේය.

’ මට තවත් බලාගෙන ඉන්න බෑ. මම පනිනවා. මම මරාගෙන මැරෙනවා’ ගාමිණී කෑගසා කීවේය. මිතුරාට ගාමිණී වළක්වාලිය නොහැකි ය.

මේ සිදුවීමට යන විපත වළක්වන්නට ද හැකියාවක් නැත. ගාමිණීට සියල්ල අමතක වී ගොස් ඇත. ඔහුගේ දුප්පත් මව සොයුරු සොයුරියන් ඒ සියලු දෙනාම ඔහුට අමතක වී තිබුණි. තවත් මොහොතක් වත් ඩෝසරයට ඉදිරියට ඒමට දිය නොහැකිය. ‘මම පනිනවා යැයි’ කෑ ගසාගෙනම හසලක ගාමිණී විරුවා මාරක බෝම්බ ඩෝසරයට කඩා පැන්නේය. අලිමංකඩ ප‍්‍රදේශයම දෙදරවාලමින් බෝම්බ ඩෝසරය පිපිරී ගියේය. කඳවුරේ සිටි සියලු දෙනාම මේ සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකිව බලා සිටියහ. කොටි ත‍්‍රස්තවාදීන් සිතුවේ කඳවුර පුපුරුවා හරින්නට ඇති බවයි. සුළු වේලාවකින් සියල්ල අවසන් විය.

ගාමිණී පැන්න, ඔහුගේ මිතුරෝ පැවසූහ. මේ වීර සෙබළා එදා ඒ ආකාරයෙන් කඳවුර බේරාගත්තා පමණක් නොව සිය ගණනක් හමුදා සොයුරන්ගේ ජීවිත ද බේරා ගත්තේය.

කොටි නායක ප‍්‍රභාකරන් මිනිස් ජීවිතවලට ද්වේශය වෛරය පුරවා මරාගෙන මැරෙන්නට යොමුකරද්දී අපේ වීර හමුදා පුතුන් මේ මාතෘ භූමිය හා මිනිස් ජීවිත වෙනුවෙන් හදවතේ උපදින දයාව කරුණාව ආදරය මැදින් එසේ ජීවිත පූජා කරමින් ඔහුගේ එඩිතර කි‍්‍රයාව ඉතිහාසයට එක් කෙළේය.

වීර ගාමිණී ජීවිතය පූජා කර එදා එසේ රැකගත් අලිමංකඩ කඳවුර යළි 2000 වර්ෂයේ දී ත‍්‍රස්තවාදීන් අතට පත් විය. ඔවුන් උපක‍්‍රමිකව කඳවුරු ප‍්‍රදේශයට ඇතුල් වූහ. ප‍්‍රථමයෙන්ම කඳවුරට ජලය ලබා දෙන ළිඳ අත්පත් කර ගත්හ. පසුව කඳවුර ආක‍්‍රමණය කළහ. එදා සිදු වූ ඒ දෛවෝපගත සිද්ධියත් සමඟ අපේ හමුදා භට පිරිස්වලට කොටි ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කිරීමට සිදුවූයේ වතුර පිපාසයේ පෙළෙමිණි. බඩගින්න, පිපාසය මැදින් ඔවුහු දැවැන්ත සටනක යෙදුනහ. එදින හමුදා සෙබළුන් 359 දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ. 349 දෙනෙක් අතුරුදන් වූහ. දින ගණනාවක් තිස්්සේ කොටි සමඟ යුද වැදුණු ආරක්‍ෂක භට පිරිස්වලින් වැඩි පිරිසක් විජලනය ඇති වී මිය ගොස් තිබුණි. ඔවුහු බංකර්වල පවා ඒ සිටි ආකාරයෙන්ම මියගොස් සිටියහ.

එදා එසේ අහිමි වූ අලිමංකඩ කඳවුර වසර 9 කට පසු යළි 2009 ජනවාරි 9 වැනිදා අපේ හමුදාව යටතට පත් විය. එය යුද හමුදා ඉතිහාසයේ විශිෂ්ට ජයග‍්‍රහණයකි.

පරන්තන් ආසන්නයේ පිහිටි අලිමංකඩ කළපුව ආර්ථික වශයෙන් සුවිශේෂී වටිනාකමකින් යුත් ප‍්‍රදේශයකි.

මේ විශිෂ්ට ජයග‍්‍රහණය ලබාගන්නා තෙක්ම කොටි ත‍්‍රස්තවාදීන් මේ දක්වා එහි බලය අත්පත් කරගෙන සිටියහ. ඔවුන්ගේ බොහෝ කර්තව්‍යයන් ඒ හරහා සිදුකර ගත්හ. අලිමංකඩ ප‍්‍රදේශය එදා අයත්ව තිබුනේ කිලිනොච්චි ප‍්‍රදේශයටයි. පලෙයි ප‍්‍රදේශයද අලිමංකඩ ආසන්නව පිහිටා ඇත.

ආරක්‍ෂක හමුදා මෙන්ම කොටි සංවිධානය ද පලෙයි ඔවුන්ගේ ප‍්‍රධාන වාහන පරීක්‍ෂා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියහ. උතුරට යන වාහන සහ එන වාහන මෙහිදී පරීක්‍ෂා කෙරුණි. අලිමංකඩ තවත් ප‍්‍රසිද්ධ වූයේ ලුණු ලේවායටයි. කොටි ත‍්‍රස්තවාදීන් අතට අලිමංකඩ පත් වූ පසු ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු නැවැත්විණි.

1980 ගණන්වලදී අලිමංකඩ කිලිනොච්චි පොලිසියෙන් පාලනය කෙරුණි. අලිමංකඩින් පලෙයි දෙසට ගිය විට පලෙයි හන්දිය හමුවෙයි. පලෙයි හන්දිය දෙකට බෙදී වමට ගිය විට චාවාකච්චේරියද දකුණට චුන්ඩිකුලම් කැලෑවද හමු වෙයි. චුන්ඩිකුලම් කැලෑව හරහා මුලතිව් ප‍්‍රදේශයට කොටි ත‍්‍රස්තවාදීන් විසින් තනා ගත් කෙටි මාර්ග ඇත. එම කැලෑවේ වුවද ට‍්‍රැක්ටර් වැනි වාහන ගමන් කළ හැකිය. කොටි ත‍්‍රස්තවාදීන් ඔවුන් බොහෝ හොර ජාවාරම් එම කැලෑ මාර්ග හා මුලතිව් හරහා කරගෙන යයි. සාමාන්‍යයෙන් අලිමංකඩ ප‍්‍රදේශයේ මාර්ග මඩ සහිත ගතියකින් යුක්තය.

මුල් අවදියේදී ආරක්‍ෂක හමුදා එම ප‍්‍රදේශයේ බංකර් තනාගෙන සිටියද පසුව කඳවුරු තනා ගැනිණි. එම කඳවුරු පසුව කොටි කඳවුරු බවට පත් විය.

අභීත සෙන්පතියකු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 1980 ගණන්වල සිට කිලිනොච්චි ප‍්‍රදේශයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කෙළේය. මාන්කුලම් සිට කිලිනොච්චි දක්වා ප‍්‍රදේශය කොබ්බෑකඩුව රණවිරුවා යටතේ පැවැති අතර අලිමංකඩ පලෙයි ප‍්‍රදේශ සියල්ලම එම යුද හමුදා බල සේනාංකය යටතට පත් වී තිබුණි.

මේ ප‍්‍රදේශවලට ආශ‍්‍රිතව පිහිටි තවත් බළකොටුවක් වූයේ ඔඩ්ඩුසුඩාන් ප‍්‍රදේශයයි. ඔඩ්ඩුසුඩාන් ප‍්‍රදේශයේ පොලිසියක් ඉදිවූයේ 1980 දශකයේය. එවකට පොලිස්පතිව සිටි ආනා සෙනෙවිරත්න මහතා එම පොලීසිය විවෘත කෙළේය. ඒ කාලයේ කොටි සංවිධානයේ මුල් ආරම්භය වූ නිසා පසු කලෙක කොටි එම ප‍්‍රදේශවලට හිරිහැරයක් වීමට ඉඩ ඇති බව දැනගත් ආනා සෙනෙවිරත්න පොලිස්පතිවරයා එම පොලීසිය ඉතා ශක්ති සම්පන්නව ඉදිකිරීමට පියවර ගෙන තිබුණි. ඔඩ්ඩුසුඩාන් පොලීසිය, උතුරේ ප‍්‍රධාන පොලීසිය වන කිලිනොච්චි පොලීසියට පසු විවෘත වූ ප‍්‍රධානම පොලීසියයි.

අලිමංකඩ කුඩා ප‍්‍රදේශයක් වුවත් කොටි ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ දැවැන්ත කි‍්‍රයාකාරකම්වලට එම ප‍්‍රදේශය යොදාගෙන තිබුණි. බොහෝ විට ඔවුන් ආධුනික කොටි සාමාජිකයන් පුරුදු පුහුණු කෙළේ එම ප‍්‍රදේශයේ ය. අවස්ථා ගණනාවකදීම ඔවුන් අලිමංකඩ කාලතුවක්කු ගාල් කරන ස්ථානයක් ලෙස ද පවත්වාගෙන ගියහ. මුලතිව් ප‍්‍රදේශයේ සිට ගෙන එන අවි ආයුධ එහා මෙහා ගෙන යාම ද මේ හරහා සිදු කෙරුණි.

අලිමංකඩ ප‍්‍රදේශය අහිමි වීම යනු කොටි ත‍්‍රස්තවාදීන් ලැබූ විශාල බරපතළ පරාජයකි. එය ආරක්‍ෂා කර ගැනීම පිණිස යොදා සිටි කොටි ත‍්‍රස්තවාදීන් ඉතා දුර්වල ප‍්‍රහාර ගණනාවක් එල්ල කළහ. ආරක්‍ෂක හමුදාවෝ ඒ ප‍්‍රහාර වළක්වා ප‍්‍රදේශය අත්පත් කර ගන්නා විට ඔවුන් පසුවී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයකිනි.

2007 මාර්තු මාසයේ උතුරේ මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ පටන් කොටි ත‍්‍රස්තවාදීන් අත්පත් කරගෙන සිටි සෑම බිම් අඟලක් ම ආරක්‍ෂා කර ගැනීමට සෑම උත්සාහයක්ම දැරූහ. පරන්තන්, පුනරීන්, අලිමංකඩ, කිලිනොච්චි, මුහමලේ මූලික ප‍්‍රදේශ කේන්ද්‍ර කොට ගනිමින් ඔවුන්ගේ සන්නද්ධ සාමාජික කණ්ඩායම් මෙහෙයුම්වල යෙදූහ. නැෙඟනහිරින් පැමිණි කොටි නායකයන් පවා එම ප‍්‍රදේශවලට යැවූහ. එහෙත් අලිමංකඩ මෙහෙයුම සඳහා කොටි නායකයකු යවා ගැනීමට නොහැකි තත්ත්වයක් ප‍්‍රභාකරන්ට ඇති වී තිබේ.අලිමංකඩ අත්පත් කර ගැනීම එක් පැත්තකින් සිදු වෙද්දී මුලතිව් ජයග‍්‍රහණය ලබා ගැනීමේ අරමුණින් තවත් බල සේනාංක හයක් මුලතිව් වට කරගෙන ඉදිරියට ඇදෙති. එම බල සේනාංකයන් ද මේ වන විට සැළකිය යුතු ප‍්‍රදේශයක් අත්පත් කරගෙන තවදුරටත් මෙහෙයුමේ යෙදී සිටිති.

අලිමංකඩ ජයග‍්‍රහණයේ ගෞරවය හිමිවන්නේ 53 වෙනි සහ 55 වැනි බළ සේනාංකවලටය. 53 බළසේනාංකාධිපති බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න 55 බළසේනාංකාධිපති බි‍්‍රගේ්ඩියර් ප‍්‍රසන්න සිල්වා තම කණ්ඩායම් මෙහෙයවමින් ජයග‍්‍රාහී ලෙස අලිමංකඩ අත්පත් කරගත්හ. ඒ-9 මාර්ගයේ අවසාන ජයග‍්‍රාහී ඉලක්කය වූ අලිමංකඩ අත්පත් කර ගැනීමත් සමඟම උතුර දකුණ යා කෙරෙන ඒ-9 වූ යාපනය – නුවර මාර්ගය කොටි ත‍්‍රස්තවාදීන්ට අහිමි විය. එය එම හමුදා බළ සේනාංක ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. එය මෙරට සිංහල ජාතියට අභිමානයක් එක් කිරීමට ලබා දුන් තවත් විශිෂ්ට ජයග‍්‍රහණයකි.