2009-01-13

සිංහල අය එදා අපිත් එක්ක එකට හිටියා

සිංහල අය එදා අපිත් එක්ක එකට හිටියා

මේ ගොවිපලේ මිදි පැළ 5000 ක් විතර තියෙනවා. මේකෙන් අඩුම තරමේ කිලෝ 15000 ක අස්වැන්නක් ලබාගත හැකියි. ඒ නවය මාර්ගය ඇරියොත් දකුණට ඒවා ප‍්‍රවාහනය කරලා ලොකු මුදලක් ගන්න පුළුවන්. නැත්නම් වගා කරපු මුදලවත් අපිට හොයාගන්න බැහැ.

කොටි ත‍්‍රස්තවාදය වපුරලා යාපනයේ ගොවීන්ව අසරණ කළා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ යාපනේ වගා කරපු භෝග දකුණට අරං ගියා. මේක ලංකාවේ මහා වෙළෙඳ නගරයක් වුණා. එදා තිබූ තත්ත්වය නැවතත් වර්තමාන රජය හමුදාව එක්ක එකතුවෙලා අපට ලබාදේවි කියලා විශ්වාස කරනවා.

උරුම්පිරායි පදිංචි කේ. පරමනාදන් මේ තොරතුරු පැවැසුවේ ඉලවාලෙයි හි පිහිටි ඔහු සේවය කරන ගොවිපලේදීය. ඔහු අපට හමුවනවිට ඒ -9 මාර්ගය මුදාගෙන අවසන් කැර තිබුණේ නැත.

යාපනයේ වගා කෙරුණු රතුලූණු වගාව, දුම්කොළ, මිදි අස්වනු ලබා ගැනීමට ඔහු මෙන්ම තවත් ගොවියෝ බලා සිටිනු දැක ගත හැකි වූවද ඔවුන්ගේ එකම අෙඳ¤නාව වූයේ ඒවා විකුණා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි.

මෙහෙ දැන් අපිට ආරක්ෂාව තියෙනවා. රජයෙන් අඩුවක් නැතිව ආහාර බෙහෙත් වගේම දරුවන්ට ඉගෙන ගන්න පොත් පත් වුනත් දෙනවා. ඒත් උඩින්, මුහුදෙන් භාණ්ඩ රැගෙන එන නිසා මිල ගණන් වැඩියි.

ඒ - 9 විවෘත කළහම බිමින් භාණ්ඩ ප‍්‍රවාහනය කළොත් දකුණේ මිලටම අපිට ඒවා ගන්න පුළුවන්. නැත්නම් හරියට අපි වෙනම රටක් වගේ. එල්.ටී.ටී.ඊ.ය තමයි අපිට මේ අපරාධය කෙළේ. ඒකාලේ අපිත් එක්ක සිංහල අයත් මෙහෙ හිටියා. ඒත් අවුරුදු 25 ක විතර ඉඳලා ඒ අය අපෙන් වෙන්වෙන්න පටන් ගත්තා. 83 න් පස්සේ හරියට අපි තරහකාරයෝ වගේ වුණා. ඒ-9 නැවත විවෘත කළහම අපිට අපේ පරණ යාළුවෝ මුණගැහෙන්න යන්න පුළුවන් වේවි. හමුදාව අපිට ඒකට උදවු කරනවා කියලා අපි විශ්වාස කරනවා.

යාපනය නගරයේදී මුණගැසුණු සෙබස්තියන් පිල්ලෙයි හා ඇන්තනිදාස් හා තවත් වැසියන් පිරිසක් මේ අදහස් පළ කළහ. ඒ අතර වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයෝද වූහ.

එදා ඔවුන් විශ්වාස කළ දේ ඒ-9 මාර්ගය නැවත සාමාන්‍ය ජනතාව අතට පත්කිරීමේ කටයුත්ත ති‍්‍රවිධ හමුදාවේම උත්සාහයෙන් ඉටුකිරීමට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකිවී තිබේ. නැඟෙනහිරින් උදාවී නිදහසේ රන් හිරු කිරණ ඒ-9 හරහා උතුරට ගලායමින් තිබේ.