2009-01-13

පළමුව මවුබිම

පළමුව මවුබිම

වන්නිය ජය ගැනීමට පළමුවෙන් ඇරඹි සේනාංකය වූයේ 57 වැනි සේනාංකයයි. එවකට වවුනියාව - මන්නාරම ප‍්‍රධාන මාර්ගයට සමාන්තරව තිබූ එල්. ටී. ටී. ඊ. බංකර් පෙළ විනාශ කරමින් ඉදිරියට යන ගමන 57 සේනාංකය ඇරඹුවේ 2007 මාර්තු 03 දා වවුනියාව ඉරණඉලුප්පායිකුලම් ප‍්‍රදේශයෙනි.

බි‍්‍රගේඩියර් සුමිත් මානවඩු යටතේ ඇරඹි 57 සේනාංකය මාස කිහිපයක කාලයකින් පසු එවකට බි‍්‍රගේඩියර්වරයෙක්ව සිටි මේජර් ජනරාල් ජගත් ඩයස් යටතට පත් කෙරිණි.

වවුනියාවෙන් උතුරට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන විට ඉරණඉලුප්පායිකුලම් ඊශාන දෙසින් යාපනය නුවර ඒ - 9 මාර්ගයේ පිහිටි ඕමන්තෙයි පිවිසුම් මුර පොළ දක්වා රජයේ පාලන ප‍්‍රදේශය සීමාව වැටී තිබිණි. නමුත් ඕමන්තෙයි බටහිර ප‍්‍රදේශයේ බලය පැවතුනේද එල්. ටී. ටී. ඊ. ය සතුවය.

මෙවැනි තත්ත්වයක් තුළ නැගෙනහිර මුදා ගැනීමේ සටන් කි‍්‍රයාත්මකව තිබියදීම වන්නියෙන් උතුරට නව මෙහෙයුම් ඇරඹිණි. එල්. ටී. ටී. ඊ. ය කිහිප වතාවක් ඉරණඉල්ලුපායිකුලම්, පොම්පෙමඩු ප‍්‍රදේශවලට දරුණු ප‍්‍රහාර එල්ල කරමින් 57 සේනාංකයේ ගමන නවතා දමන්නට උත්සාහයක නිරත විය.

එහෙත් එවැනි සටන්වලදී පසුගාමී නොවූ 57 සේනාංකය පන්ඩිපිරිච්චාන්, පෙරියතම්පනේ හා පෙරියපණ්ඩිපිරිච්චාන් ගම්මාන අල්ලා ගැනීමට මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරිණි.

මෙම මෙහෙයුම් ඉතා සාර්ථක ලෙස ඉදිරියට ක‍්‍රියාත්මක වූ අතර මුලදී එල්. ටී. ටී. ඊ. බංකර් පෙළවල් හා වළලු තනා ගනිමින් ආගන්තුක ආක‍්‍රමණකරුවන් වූ යුද හමුදාවට පහර දුන්නේය. නමුත් මුල පටන්ම හමුදා ප‍්‍රහාර තීව‍්‍ර වූයෙන් ක‍්‍රමක‍්‍රමයෙන් යුද හමුදාව පැත්තට වාසි සහගත තත්ත්වයක් උදා විය.

57 සේනාංකයට බලසේනා 3 ක් ස්ථාපිත කෙරුණු අතර 571, 572 හා 573 වශයෙන් ඒවා නම් කෙරිණි. මෙම බලසේනා ඕමන්තේට බටහිරින් සමාන්තර කොටසකින් උතුරටත්, වයඹට කි‍්‍රයාත්මක වූ මඩු දේවස්ථානය දෙසටත් සිය සේනාංකය මෙහෙයවා තිබිණි.

57 සේනාංකයට පළමුවෙන්ම ආන්දෝලනාත්මක අභියෝගයක් වී තිබුණේ මඩු දේවස්ථානය මුදා ගැනීමය. ජාත්‍යන්තර වශයෙන් එකල ගෙන ගිය එල්. ටී. ටී. ඊ. හිතවාදී මාධ්‍ය ප‍්‍රචාර මෙන් බොර දියේ මාළු බාන දේශපාලන කි‍්‍රයාදාමයන් තුළ ගොනු වූ ඇතැම් කොට්ඨාසයක්, ‘මඩු සාම කලාපයක් කරනු, මෙහෙයුම් නවත්වනු’ ආදී විරෝධතා වැකි කියමින් පෙළපාළි සංවිධානය කරමින් හමුදා ගමන වැළැක්වීමට උත්සාහ කළේය.

මඩු දේවස්ථානය අසලට යුද හමුදා 57 සේනාංකය ළඟා වීමත් සමඟ 2008 අපෙ‍්‍ර්ල් 4 වැනිදා මඩු මාතා පිළිරුව දේවස්ථානයෙන් වෙල්ලන්කුලම් මුදා නොගත් ප‍්‍රදේශයට වැඩමවා තිබුනේ කොටින්ගේ තර්ජන හේතුවෙනි.

නමුත් දේවස්ථානයට හානි නොවන ආකාරයෙන් මෙහෙයුම කි‍්‍රයාත්මක කළ 57 සේනාංකයේ 572 බලසේනාව මඩු ප‍්‍රදේශය ඉකුත් වසරේ අපෙ‍්‍ර්ල් 24 දා හමුදාව යටතට ගත්තේය.

ලෝක කිතුනු බැතිමතුන්ට මඩු දේවස්ථානය දායාද කර දුන් 57 සේනාංකය ඉන් උතුරට මෙහෙයුම් ක‍්‍රියාත්මක කෙළේ ඉන් අනතුරුවය.

පාලම්පිඩ්ඩි ගම්මානය එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ට මෙන්ම හමුදාවට ද යුදමය අතින් වැදගත් ස්ථානයක් වූ අතර එම ප‍්‍රදේශය දරුණු සටහනක් දී අල්ලා ගැනීමට ඉකුත් වසරේ මැයි 16 දා හැකි විය.

පාලම්පිඩ්ඩි ගම්මානයෙන් පසු ඉන් සතියකට පසු මුන්දිමුරිප්පු ගම්මානයත්, ජූනි 15 දා පෙරියමඩු ගම්මානයත් මුදා ගැනීමට 57 සේනාංකය සමත් විය.

එල්. ටී. ටී. ඊ. ය ප‍්‍රහාර එල්ල කරමින් හමුදා ප‍්‍රහාර දරාගත නොහැකිව පසු බැස ගිය අතර එම අවසරයෙන් හමුදා ආරක්‍ෂක වළල්ල තවත් පුළුල් විය.

අනතුරුව 57 සේනාංකය පළමුවරට ඒ – 9 මාර්ගයෙන් බටහිරින් මුලතිව් දිස්ති‍්‍රක්කයට ඇතුළු වෙමින් නැදුන්කන්ඩාල්, කල්විලාන් මුදා ගැනීමේ සටන් මෙහෙයවීය.

වවුනිකුලම් ප‍්‍රදේශයෙන් ඊශාන දිග හමුදා ඉදිරි ආරක්‍ෂක බංකර් පෙළ කඩා දැමීමට පැමිණි චාල්ස් ඇන්තනී බළකායේ දෙවැනියා බව කියූ “පල්ලවන්” නැමති කොටි නායකයා හා ඔහුගේ සගයන් 25 දෙනෙක් හමුදාව අතින් මරුමුවට පත් වූයේ මෙම සටන් කි‍්‍රයාත්මකව තිබියදීය.

කෙසේ වෙතත් ජූලි 11 දා නැදුන්කන්ඩාල් ප‍්‍රදේශයත්, අගෝස්තු 13 දා කල්විලාන් ප‍්‍රදේශයත් මුදා ගත් 57 සේනාංකය ඉන් අනතුරුව මෙහෙයුම් ක‍්‍රියාත්මක කළේ කොටින්ගේ දෙවැනි පරිපාලන නගරය ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබූ “තුනුක්කායි” මල්ලාවි ඇතුළු ප‍්‍රදේශ අල්ලා ගැනීමටය.

වෙල්ලන්කුලම් සිට මාන්කුලම දක්වා දිවෙන ප‍්‍රධාන මාර්ගයේ දකුණු දෙසින් මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ 57 සේනාංකයේ බල සේනා ත‍්‍රිත්වය සංග‍්‍රාමික වශයෙන් වැදගත් තුනුක්කායි හා උයිලන්කුලම් ප‍්‍රදේශ ඉකුත් වසරේ අගෝස්තු 22 දා හමුදාව යටතට ගත්තේය.

මෙවන් දරුණු සටනක් දී තුනුක්කායි ඉල්ලා ගැනීමට යුද හමුදාව සමත් වීම එල්. ටී. ටී. ඊ. ය ලැබූ දරුණු පරාජයක් වූ අතර ඒ අවසරයෙන් පැති කිහිපයකම සටන් මෙහෙයවීම හා එල්. ටී. ටී. ඊ. සැපයුම් අඩාල කිරීමේ හැකියාව එදා හමුදාව සතු විය.

57 සේනාංකයේ සෙබළුන් සැප්තැම්බර් 2 දා මල්ලාවි නගරය ද අත්පත් කරගත් අතර පසුව ඉන් ඔබ්බට මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරිණි.

මෙම මෙහෙයුමේ සෙබළුන් මාස කිහිපයක් තිස්සේ ඉන් අනතුරුව දරුණු සටන්වල නිරත වූයේ අක්කරායන්කුලම් වැව හා ඒ අවට ප‍්‍රදේශවලදීය. 57 සේනාංකයේ ගමන වැළැක්වීමට ඒ වනවිට එල්. ටී. ටී. ඊ. ය කුඩා ප‍්‍රමාණයේ පස් කඳු වලට අමතරව අඩි 10 – 15 අතර පස් කඳු හා ඒවාට හාවන බංකර් තනා තිබිණි.

57 සේනාංකය මෙම ප‍්‍රහාරවලට සමගාමීව ඒ වනවිට භූමියේ වයඹ වෙරළ තීරය ඔස්සේ 58 සේනාංකය ඉදිරියට ක‍්‍රියාත්මක වී තිබිණි.

මේ අවසරයෙන් දරුණු සටන් කිහිපයක නිරත වෙමින් අක්කරායන්කුලම් වැව් බැම්ම ඔක්තෝම්බර් 29 දා සියතට ගත් 57 සේනාංකය වීරෝදාර සෙබළුන් පසුව නොවැම්බර් 05 දා වන විට අක්කරායන්කුලම් ගම්මානය මුදා ගැනීමට සමත් විය.

කිලිනොච්චිය නගරයට හමුදා භට පිරිස් යොමු නොවන්නට වග බලා ගනු රිසියෙන් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සෙබළුන්ට ගෑස් ප‍්‍ර‍්‍රහාර පවා එල්ල කෙළේය. එම ප‍්‍රහාර පවා නොතකා 57 සේනාංකය ඒ – 9 මාර්ගය දෙසට කි‍්‍රයාත්මක වී දෙසැම්බර් 01 දා කොකාවිල් පැරණි රූපවාහිනී සම්පෙ‍්‍ර්ෂණ කුලුන තිබූ සමස්ත ප‍්‍රදේශයේ බලය තහවුරු කෙළේය.

ඉන් දින දහයක් ගතවීමට පෙර ඒ - 9 මාර්ගය ඔස්සේ උතුරට කි‍්‍රයාත්මක වූ 57 සේනාංකයේ 574 බලසේනාව දෙසැම්බර් 10 වැනිදා තෙරුමුරුකන්ඩි ප‍්‍රදේශය මුදා ගනු ලැබිණි.

ඒ වන විට 57 සේනාංකයේ සෙසු බලසේනා දෙක කිලිනොච්චිය නගරයට බටහිරින් හා නිරිත දිගින් ස්ථානගත වී තිබිණි. ඔවුහු කිලිනොච්චි වට කළ එල්. ටී. ටී. ඊ. පස් බැම්ම ස්ථාන කිහිපයකින් කඩා දැමූහ.

2009 ජනවාරි 01 දා ඉරණමඩු මංසන්ධිය එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් මුදාගත් 57 සේනාංකයේ සෙබළුන් කිලිනොච්චි නගරයට කොටින්ගේ පස් බැමි බිඳ දමමින් ඇතුළු විය.

ඒ වන විට යුද හමුදා 58 සේනාංකය පරන්තන් මංසන්ධියෙන් දකුණට කි‍්‍රයාත්මක වී කිලිනොච්චි නගරයේ උතුරු මායිමෙන් ඇතුළු වී තිබිණි.

නගර මධ්‍යයට මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ 571 වන බලසේනාව කිලිනොච්චි නගරය අල්ලා ගැනීම සංකේතවත් කළ අතර 572 හා 574 බලසේනා ද පිළිවෙළින් කිලිනොච්චිය නගරයේ බලය තහවුරු කිරීමට සම්බන්ධ වී ඇත.

මේ අනුව කිලිනොච්චිය එල්. ටී. ටී. ඊ. ප‍්‍රධාන පරිපාලන අග නගරය වීරෝදාර යුද හමුදා සෙබළුන් සතු විය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා