2009-01-13

ඒ-9 විජයග‍්‍රහණය ගැන මෙසේ කියති...

ඒ-9 විජයග‍්‍රහණය ගැන මෙසේ කියති...
 

අපේ ජනාධිපතිතුමා ජාතික වීරයෙක්

අලවි මව්ලානා
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර

මුලින් ම නිර්භයව නිර්භීත ව මේ සඳහා කැප කිරීම් කළ විරෝදාර රණවිරුවන්ට ගෞරව කළ යුතුයි.

මම අවුරුදු පනස් පහක් මේ පක්‍ෂයේ හිටපු පුද්ගලයෙක් හැටියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සඳහා දුන් නායකත්වය අගය කරනවා. ලංකා ඉතිහාසයේ කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි වීර පුරුෂයෙක් තමා මේ යුගයේ අපට ලැබිලා ඉන්න ජනාධිපතිතුමා. ජාතිභේද ආගම් භේද යන කිසිම දෙයකින් තොරව මේ ලැබූ ජයග‍්‍රහණය අගය කළ යුතුයි.
 


ඒ – 9, ඒ - 32 මාර්ග අප වහා ප‍්‍රතිසංස්කරණය කරනවා
 

ටී. බී. ඒකනායක
මහාමාර්ග සහ මාර්ග සංවර්ධන වැඩබලන ඇමැති

ශ‍්‍රීලංකාවේ උතුරට ඇති පළමු ගොඩබිම් මාර්ගය විදියට ඒ - 9 මාර්ගය අත්පත් කර ගැනීම සතුටට කරුණක්.

මේ ඒ - 9 මාර්ග කොටින්ට කප්පම් ගෙවමින් ගිය මාර්ගයක්.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ති‍්‍රවිධ හමුදාවේ ශක්තියෙන් ති‍්‍රකුණාමලේ හරහා අලිමංකඩ දක්වා යන ඒ - 32 සහ ඒ - 9 මාර්ගය ප‍්‍රතිසංස්කරණයට අවශ්‍ය ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. එයට අවශ්‍ය විධිවිධාන අපි සකස් කරනවා.

ඒ වගේම ති‍්‍රවිධ හමුදාවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ මාර්ගයේ වළලා ඇති බිම් බෝම්බ ඉවත් කර අපට සහාය දක්වන ලෙස.

මේ බිම් බෝම්බ ඉවත් කළ පසු කඩිනමින් මේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරනවා. යාපන අර්ධද්වීපයට මුහුදින් හා ගුවනින් ගිය අයට මේ මාර්ගය භාවිතා කර තම තමන්ගේ ගමන් පහසුව සලසා ගත හැකි දිනය වැඩි ඈතක නොවන බව ද සඳහන් කළ යුතුයි.
 


ඒ - 9 මාර්ගය ජනතාවට විවෘත කිරීම සතුටක්

වාසුදේව නානායක්කාර
ජනාධිපති උපදේශක

ඒ - 9 මාර්ගය ඇත්තටම දිගටම විවෘත කර තිබුණා නම් හොඳයි. ජනතාවගේ පහසුව සඳහා මේ වන විට මුළුමනින්ම ඒ - 9 මාර්ගය හමුදාව අත්පත් කර ගෙන නම් වහාම එය විවෘත කිරීමට කටයුතු කරන්නේ නම් හොඳයි. නැව්වලින්, අහස්යාත‍්‍රාවලින් ගිය ගමන් කිසිදු බාධාවකින් තොරව වාහනවලින් යාමට හැකියාව මේ විවෘත කිරීමෙන් ලැබෙනවා. එය සතුටට කරුණක්.

මේ මාර්ගය වසා දැමීම ගැන අපි විටින් විට කතා කළා. එහෙත් මාර්ගය දෙපාර්ශවයක් අත පැවැතීම නිසා එය කළ නොහැකි වුණා. ඒත් දැන් හමුදාව අත පමණක් ඒ - 9 මාර්ගය පැවැතීම නිසා මාර්ගය විවෘත කර ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු කළ හැකියි.
 


රණවිරුවන්ගේ කැපවීම අප අගය කරනවා
 

ගාමිණී ජයවික‍්‍රම පෙරේරා
එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති

මේ ඒ - 9 මාර්ගය පසුගිය කාලවලදී එවකට පැවැති රජයන් සතුව තිබුණා. එහෙත් චන්ද්‍රිකා මැතිනියගේ රජය යටතේ මේ මාර්ගය එල්. ටී. ටී. ඊ. ය සතු වුණා.

පසුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයට සිදු වුණා නැවත වරක් මේ ඒ - 9 මාර්ගය හමුදා අතට ගන්න. ඒ නිසා මෙය අපි අගය කරනවා.

මේ අවස්ථාවේ වීරෝදාර රණවිරුවන් කළ මේ කැපකිරීම් ද අගය කරනවා.

විශේෂයෙන් චන්ද්‍රිකා රජය යටතේ මේ මාර්ගය හමුදාව අතට ගන්නට දිවංගත ජානක පෙරේරා මහතා කළ කැප කිරීම ද මතක් කළ යුතුයි.
 


දෙමළ ජනතාව දැන්වත් ඊළාම් මිථ්‍යාවෙන් ඉවත් වන්න
 

විජිත හේරත්
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනතා විමුක්ති පෙරමුණ

ති‍්‍රවිධ හමුදාව අතට ඒ - 9 මාර්ගය පවරා ගැනීම මේ රටේ සියලු ජාතීන් ලැබූ ජයග‍්‍රහණයක්.

පුනරීන්, කිලිනොච්චි, අලිමංකඩ දක්වා ජයග‍්‍රහණය තහවුරු වූයේ වීරෝදාර ති‍්‍රවිධ හමුදාව නිසා, ඒ වගේම අත් පා, ඇස් අහිමි කර ගනිමින් ජීවිත පුද කරමින්, කි‍්‍රයා කළ රණවිරුවන් සඳහාත් අපේ ගෞරවය සහ ආචාරය පුද කරනවා. තවද ආර්ථික අපහසුකම් මැද මේ වෙනුවෙන් කැප වූ ජනතාවටත් ගෞරවය පිරිනමනවා.

අපි උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වහාම ඊළාම් මිථ්‍යාවෙන් ඉවත් වෙලා තනි රටක් ලෙස ජීවත් වන ඒකීය ලංකාවක් ගොඩ නඟන්න අත්වැල් බැඳ ගන්නා ලෙස.
 


ඒ-9 මාර්ගයෙන් කොටි උතුරේ ජනතාව සූරා කෑවා

හේමකුමාර නානායක්කාර
කෘෂිකර්ම ඇමැති

ඒ - 9 මාර්ගය අත්පත් කර ගෙන එහි බලය හමුදාව සතු කර ගෙන තිබීම ලොකු ශක්තියක්. උතුරු පළාතේ ජනතාවගේ බඩු මිල ඉහළ යාමටත් ඒ අනුව ජීවන වියදම ඉහළ යාමටත් ඒ හේතුව නිසා ජීවත්වීම වදයක් වීමටත් කොටින් කටයුතු කළා. කොටි මෙසේ කප්පම් අරගෙන සැප පහසු වායු සමීකරණ බංගලා තනා ගන්නට කොටි සංවිධානය සියලු සැප මූලස්ථාන හා සාකච්ඡා ශ‍්‍රවණාගාර තැනීමට මේ මුදල් භාවිතා කළා.

උතුරේ ජනතාව පීඩනයෙන් පරිපීඩනයට පත් කරමින් මේ මුදල් ගසා කෑම කරලා කොටි නායකයන් සැප වින්දා.

ඒ - 9 මාර්ගය අත් කර ගැනීමෙන් පසුව යාපනයේ ජනතාවට හාල්, පොල්, එළවුළු, මස්, කිරිපිටි, සීනි ආදී පාරිභෝගික භාණ්ඩ කොළඹ මිලටම ලබා ගන්න පුළුවන් වෙනවා. කප්පම්කාර කොටින්ගේ යුගය වැළලිලා ඉවරයි.

ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ මේ වික‍්‍රමාන්විත යුධ ජයග‍්‍රහණ වළින් අතිගරු ජනාධිපති හා සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන්. නැඟෙනහිර පළාතේ මෙන් ම උතුරු පළාතෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර අපේ සහෝදර දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට මැලේ බර්ගර් ජන කොටස්වලට සර්ව සාධාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය හා ජීවිතයේ සැබෑ නිදහස ලබා දීමට අප කටයුතු කරනවා.

ඒ කටයුතු ඉටු කිරීමටත් උතුරු පළාත සංවර්ධනය කිරීමටත් ඒ - 9 මාර්ගයේ බලය අත්පත් කර ගැනීම මහා විශාල ප‍්‍රදීපස්ථම්භයක් වගේ උපස්ථම්භක වේවි.
 


මේ මාර්ගය අල්ලා ගැනීමෙන් තුට්ටුවක වැඩක් වෙන්නේ නෑ
 

වික‍්‍රමබාහු කරුණාරත්න
නව වාමාංශික පෙරමුණේ නායක

දෙමළ - සිංහල මිනිසුන්ගේ සමඟිය ඒ - 9 මාර්ගය විවෘත කළා කියලා ගොඩ නැෙඟන්නේ නැහැ.

මේ මාර්ගය විවෘත කිරීමෙන් සිදු වෙන්නේ හමුදාව ගිහින් ඒ පළාත් යටත් කර ගැනීමක් පමණයි. සාමයට මෙයින් තුට්ටුවක වැඩක් වෙන්නේ නැහැ. මේ මාර්ගය විවෘත කිරීමෙන් ඒ පළාත්වල සිංහලයන් පදිංචි කරනවාද එසේත් නැත්නම් ඒ පළාත්වල සිටින දෙමළ ජනතාවගේ ආරක්‍ෂාව සඳහා හමුදාව යොදා ගන්නවාද යන්න අපට ප‍්‍රශ්නයක්. මේ මාර්ගය විවෘත කිරීමේ වැදගත්කම රඳ්‍ර පවතින්නේ එම පළාත්වල දෙමළ ජනතාවගේ ස්වයං පාලනයක් තිබෙනවානම් පමණයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා