2009-01-13

ප‍්‍රභාකරන් තමන්ගේම මිනිස් පළිහටත් හිංසා කරයි

ප‍්‍රභාකරන් තමන්ගේම මිනිස් පළිහටත් හිංසා කරයි
 


රණවිරුවන්ගෙන් කුසට අහරක්...

නිදහස් සාමකාමි ජීවිතයක්...


ජනාධිපතිතුමාගේ සෙනෙහස...

ප‍්‍රභාකරන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ලක්‍ෂ දෙක හමාරක පමණ අහිංසක වැසියන් පිරිසක් මුලතිව් ප‍්‍රදේශයේ සිරකරගෙන සිටින බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

අහිංසක කුඩා දරුවෝ, පාසල් යන වයසේ දරුවෝ, මවුවරු, පියවරු, වයෝවෘද්ධයෝ, ගැබිණි මවුවරු මේ පිරිස අතර සිටිති. කිලිනොච්චි, මුලතිව්, පලෙයි ඇතුලු සියලු ප‍්‍රදේශවල ජනතාවට ආරක්‍ෂක හමුදා වෙත පැමිණීමට ඉඩ නොදී සිරකරගෙන සිටින්නේ කොටි නායකයාගේ සහ සෙසු නායකයන්ගේ ආරක්‍ෂාව සළසා ගනු පිණිසය. ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදාගෙන සිටියි.

මුලතිව් නගරය මේ වන විට කිසිවකුත් නැති ශුන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වී ඇත. ප‍්‍රභාකරන් සාමාන්‍ය වාසියන් අතරට පැමිණ සිටින බවට, තොරතුරු ලැබී ඇත. කොටි සාමාජිකයො 1500ක් පමණද මොවුන් අතර වෙති.

වෙඩි පහර

මෙසේ සිරකරගෙන සිටින අහිංසකයන් හොර රහසේ ආරක්‍ෂක අංශ වෙත පැමිණීමට උත්සාහ කරති. කොටි ඇසට වැලිගසා කිරි සප්පයන්ද කරපින්නාගෙන ඇදිවත පමණක් ඇතිව වඩගින්නේ පිපාසයේ කටුකැලෑ වනරොද අතරින් රිංගාගෙන එන මේ අහිංසකයන් යම් ආකාරයකින් ප‍්‍රභාකරන්ගේ ගෝලයන්ට හසුවුවහොත් වෙඩි පහරයි.

එසේ පලායාමට උත්සාහ කළ මාපිය දූ දරු කණ්ඩායම් දෙකකට ප‍්‍රභාගේ ගෝලයෝ දෙවරක්ම වෙඩි තැබූහ. මීට දින දෙකකට ඉහතදී එල්ල කළ ප‍්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු හත්දෙනකු මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා විය. පණ රැකගන්ට යන අහිංසකයන්ට වෙඩි තබා ඝාතනය කරන කොටි නායකයාගේත් ඔහුගේ ගෝලයන්ගේත් අවසානය පෙනි පෙනී තිබියදීත් ඔවුන් කරන අපරාධ තවමත් අවසන් වී නැත. දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා යැයි කියූ ඒ මිනීමරු ප‍්‍රභාකරන්ගේ ගිනි අවියට බිළිවී මියයාමට මේ අසරණ අහිංසක දරුවන් කළ වරද කුමක්ද?

ඇඳි වත පිටින්


ආරක්ෂාවට මුල් තැන...

දින ගණනකින් සෝදා නැති කුණු වැහැරුණු ඇඳුම් කඩමාල්ලත් දශක දෙක තුනක් තිස්සේ දසදුක් විඳ කොටි නායකයාට බංකර්, බිම් අඟල් භූගත මැලිගා තැනීමට දෑතේ කරගැට එනතුරු ගත වැහැරෙනතුරු දහදිය කඳුළු හෙලූ ඒ අහිංසක වැසියන් සැනසුමක් සොයා කොටි කටෙන් එළියට යාමට උත්සාහ කරද්දී අනෙකුත් සහෝදර ජනතාව ඉදිරියේ වෙඩි තබා ඝාතනය කරනතෙක් මේ මනුෂ්‍ය ලොව කාහට නම් බලා සිටිය හැකිද?

එහෙත් ඔවුන් බේරා ගැනීමේ ඉලක්කය ආසන්නයටම අපේ වීරෝදාර හමුදාවෝ ගමන් කරමින් සිටිති.

එපමණක් නොවේ කොටි හිරෙන් කෙසේ හෝ පැන එන ඒ සියලුම දෙනා බාරගෙන ඔවුන්ට අවශ්‍ය ආහාර, ඉඳුම් හිටුම්, වෛද්‍ය පහසුකම් ලබාදීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා සියලුම බළසේනාංකාධිපතිවරුන්ට ලබාදී ඇති උපදෙස් දැන් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. එකම සිවිල් වැසියකුට හෝ කුඩා අනතුරක් හෝ සිදුවීමට ඉඩ නොතබා ඔවුන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටියදී සිදුවන මේ අවාසනාවන්ත ඉරණම දැක මේ රටේ ජනතාවට දුක් නොවී සිටිය හැකිද? ඔවුන් අපේම සහෝදර සහෝදරියන්ය. දරු පැටවුන්ය. ඔවුන් අප අතරට පැමිණෙන දිනය තෙක් අප බලා සිටිමු.

එතෙක් ඔවුන් ආරක්‍ෂා කර දෙන්නැයි මේ රට ආරක්‍ෂා කරන දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලා සිටිමු.