2009-01-13

රට වෙනුවෙන්ම දිවි දුන් අභීත සෙන්පතියාණෙනි

රට වෙනුවෙන්ම දිවි දුන් අභීත සෙන්පතියාණෙනි

වන්නි මානුෂීය මෙහෙයුමේදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදී අවසානයේ මේ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පූජා කළ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා කර්නල් කේ. එම්. ඒ. එන්. කුමාරසිංහ ආර්. ඩබ්. ජී., ආර්. එස්. පී. වීරෝදාර සෙන්පතියාය.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ 5 වන ගැමුණු හේවා බළ ඇණියේ අණ දෙන නිලධාරී කර්නල් කුමාරසිංහ පසුගිය ජනවාරි 8 වැනිදා යාපනය පලෙයි ප‍්‍රදේශයේදී දිවි පූජා කෙළේය.

ත‍්‍රස්තවාදීන් විසින් අටවන ලද මර උගුලකට හසුවීමෙන් මිය ගිය කර්නල් කුමාරසිරි 1967 වසරේ රත්නපුර ප‍්‍රදේශයේ උපත ලබා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් මාතෘ භූමියට ත‍්‍රස්තවාදී තර්ජන එල්ල වී තිබූ යුගයක ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළ සේනාවට කෙඩේට් නිලධාරියකු ලෙස එක්විය.

1989 ජූනි 29 වැනි දින 2 වැනි ලුතිනන්වරයකු ලෙස ගැමුණු හේවා බළ ඇණියට එක් විය. තම රාජකාරියේදී දැක්වූ දස්කම් මත ලුතිනන්වරයකු, මේජර්වරයකු, ලුතිනන් කර්නල්වරයකු ලෙස උසස්වීම් ලැබූ කුමාරසිංහ රණවිරුවා පසුව 5 වැනි ගැමුණු හේවා බළ ඇණියේ ඛණ්ඩ භාර නිලධාරී ලෙසත්, අණ දෙන නිලධාරී, බුද්ධි නිලධාරී, විධායක අධිකාරී දෙවැනි අණ දෙන නිලධාරී මවුසේනා ගුවන් සංග‍්‍රාමික බළ සේනාව නියෝජනය කරන 5 වැනි ගැමුණු හේවා බළ ඇණියේ අණදෙන නිලධාරී ලෙසත් කටයුතු කෙළේය.

පෞරුෂත්වය

නායකත්වය හා පෞරුෂත්වය තම සේවයෙන් මනාව පිළිබිඹු කරමින් අණ දෙන නිලධාරී වශයෙන් තම බළ ඇණියේ සියලුම නිලධාරීන්ගේ නොමද ප‍්‍රසාදයට ලක් වෙමින් සෙබළ කැල ජයග‍්‍රහණය කරා මෙහෙයවූ මේ අභීත සෙන්පතියා උතුරු නැෙඟනහිර ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කි‍්‍රයාත්මක කරන ලද බලවේගය 1, 2, 3, රිවිරැස, හයිඩවුට්, ති‍්‍රවිධ බලය, අකුණු පහර, ගජසංඛ හා භූමි කම්පා යන කි‍්‍රයාන්විතයන් සඳහා සහභාගි වෙමින් රට වෙනුවෙන් උදාර අමිල මෙහෙයක් ඉටුකෙළේය.

කි‍්‍රයාන්විතයේදී දැක්වූ වික‍්‍රමාන්විතභාවය වෙනුවෙන් මේ අභීත සෙන්පතියා “රණ වික‍්‍රම” සහ රණ ශූර පදක්කම්වලින් පිදුම් ලැබූ මේ එඩිතර නිලධාරියා පූර්ණ භූමි, උතුරු නැෙඟනහිර සංග‍්‍රාමික, රිවිරැස මෙහෙයුම්, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති, සන්නද්ධ සේවා දීර්ඝ සේවා, සාම සාධක මෙහෙයුම් යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.

තිර අදිටන

හමුදා නිලධාරියකු සතුව තිබිය යුතු තිර අධිෂ්ඨානය, වීරත්වය හා දැඩි කැපවීම යන උත්කෘෂ්ඨ ගුණාංගයන්ගෙන් හෙබි රණවිරුවාණනි උපන් දේශයේ සාමය, සමගිය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් උදාරතර මෙහෙවරක් ඉටු කළ වීර සෙන්පතියාණෙනි ඔබ අවසන් ගමන් ගියේ මුළු මහත් ජාතියේම පොදු අරමුණක් වෙනුවෙන් කැපවීම හේතුවෙනි.

එබැවින් ඔබගේ වීර නාමය සදා අමරණීය වනු ඇත. ඔබගේ අකල් වියෝව දයාබර මවුපියන්ට, බිරිය, පුතුට මෙන්ම පවුලේ ඥාතීන්ටද සමස්ත යුද හමුදාවටත් පොදුවේ රටටත් දැරිය නොහැකි පාඩුවකි.

බිහි කළ මවටද දිනූ දේශයට ද අභිමානයක් වූ හෙළ විරුවාණෙනි! හිරු නැඟ එන මොහොතේත්, හිරු බැස යන මොහොතේදීත් අපි ඔබව ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. ඔබ පැතූ නිදහස් ලෝකය සාමය තව නොබෝ දිනකින් මේ රටට උදාවනු ඇත. යුද බිමේ අද ඔබ නැතත් ඔබගේ ආශීර්වාදය සහෝදර සෙබල කැලට ආශීර්වාදයක් වේවා!