2009-01-13

ඉලක්ක සපුරා ගත් අභීත ගමනක්

ඉලක්ක සපුරා ගත් අභීත ගමනක්

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අභීත වීරෝදාර රණවිරුවන් විසින් යාපනය - මහනුවර ඒ - 9 පාරේ අලිමංකඩ ප‍්‍රධාන කොටි කඳවුරු සංකීර්ණය ඇතුළත් ප‍්‍රදේශය ඉකුත් සිකුරාදා (09) අත්පත් කර ගැනීමත් සමඟම වසර 23 කට පසුව එම මාර්ගයේ පූර්ණ අධිකාරී පාලන බලය ශ‍්‍රී ලංකා රජය සතුවිය.

මේ නිසාම උතුර - දකුණ යා කරමින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ පාලන බලය ශ‍්‍රී ලංකා රජය සතුවීමෙන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ශ‍්‍රී ලංකාව ඒකීය ශ‍්‍රී ලංකාවක් බවට පත්වූවා යැයි කිවහොත් එය නිවැරැදිය.

වසර 23 ක් තිස්සේ ඒ - 9 පාරේ වවුනියාව නොච්චිමුඩා සහ පසුව ඕමන්තේ ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ අවසන් පාලන මුරපොළ පවත්වාගෙන ගිය අතර එතැන් සිට යාපනය දක්වා වූ පාලන බලය කොටි ත‍්‍රස්තවාදීන් සතුවිය.

සාමාන්‍ය වැසියනට ඕමන්තේ සිට යාපනයට යෑමට කොටි ත‍්‍රස්තවාදීන්ගේ පූර්ණ අවසරත්, බදු මුදල් නමින් කප්පම් ගෙවීමත් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු කි‍්‍රයාවක් විය. එසේ යා හැකි වූයෙත් දෙමළ ජනතාවට පමණක් වන අතර විශේෂ අවසරයකින් යා හැක්කේ රට බෙදීමට උදවු උපකාර කිරීමට පැමිණ සිටි විදේශීය ඒජන්තයන් සහ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන මාෆියාවන්ට පමණි. ඒ හැර දෙමළ නොවන සිංහල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු පුරවැසියන්ට ඕමන්තේ සිට කොටි අඩවියට ඇතුළු වුවහොත් මරණය නියත විය. එය සාමාන්‍ය දෙයක් බවට පත්විය.

2002 සටන් විරාම ගිවිසුමෙන් පසු යුගයේදී ඕමන්තේ සිට උතුරට ජනතාවට ගමන් කිරීමට සිදුවූයේ පිට රටකට වීසා ලබාගෙන යන ආකාරයකිනි. එල්.ටී.ටී.ඊ. දෙමළ ඊළාම් රාජ්‍යයේ ලාංඡනය සහිත ලිපිලේඛන කීපයක අස්සන් කර කොටි සිහින ඊළාම් රාජ්‍යයේ නිල ඇඳුම්ලාගත් බිංකුණ්ඩන්ගේ කැමැත්තත්, ඔවුන්ගේ බදු නමින් අය කළ කප්පම් මුදලුත් ගෙවීමෙන් පමණි.

එහෙත් වන්නි මානුෂික මෙහෙයුම ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් ආරම්භ කිරීමෙන් පසු වන්නියේ කොටි පාලන ප‍්‍රදේශ ක‍්‍රම ක‍්‍රමයෙන් වසර දෙකක් ඇතුළත ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව සතුවිය. ඒ - 9 මාර්ගයේ කිලිනොච්චිය මුල්කරගත් දෙමළ ඊලාම් සිහින රාජ්‍යයේ මහා නගරය අපේ වීරෝදාර සෙබළුන්ගේ පාලනයට පත්විය.

කිලිනොච්චියේ සිංහ ධජය ලෙළඳෙන්නට විය. එමගින් රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා විය. එහෙත් ඒ - 9 මාර්ගය සම්පූර්ණයෙන්ම හමුදාව අතට පත්වීමේ දැඩි අවශ්‍යතාවවන් අලිමංකඩ හමුදාව අතට ගැනීමත් අත්‍යවශ්‍ය විය. දැන් එය සිදුවී තිබේ. කොටි සටන් ඉතිහාසයේ යුද උපක‍්‍රම අතින් ඉතාමත්ම වැදගත් අලිමංකඩ ප‍්‍රදේශයේ බලය හමුදාව සතුවීමෙන් පසු මේ වනවිට කොටි නායක ප‍්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ ගෙල සිඳී ගොස් තිබේ. ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍යයේ සියයට 96 කටත් වඩා වැඩි ප‍්‍රදේශයක් ශ‍්‍රී ලංකා රජය සතුවී තිබේ. ඉතාමත්ම නොබෝ දිනයකින් ඉතිරි සියයට 4 ක් පමණ වූ ප‍්‍රදේශයද ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අභීත රණවිරුවන් විසින් අත්පත් කරගනු නොඅනුමානයි.

යුද හමුදාවේ 57 සහ 58 වැනි සේනාංක විසින් කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු 58 වැනි සේනාංකය විසින් නැවතත් ඒ - 9 පාරේ උතුරු දෙසට පරන්තන් සිට අලිමංකඩ දක්වා ගමන් කරමින් ත‍්‍රස්තවාදින්ට දැවැන්ත ප‍්‍රහාර එල්ල කෙළේය.

ඊට සමගාමීව යාපනයේ මුහමලේ සිට ත‍්‍රස්තවාදීන්ට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් යුද හමුදාවේ 53 සහ 55 වැනි සේනාංකාධිපතිවරුන් වූ බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න හා බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් යුත් රණවිරුවෝ දීන කීපයකදී අලිමංකඩ දක්වා කිලෝමීටර් 22 ක් ඒ - 9 පාරේ ඉදිරියට පැමිණියේ පල්ලෙයි හා සොරොන්පත්තු ගම්මානද අත්පත් කර ගනිමිනි.

ඉන් අනතුරුව දිනක් ඇතුලත අයියකච්චි ප‍්‍රදේශයද අත්පත් කර ගැනීමෙන් පසු අලිමංකඩ කොටි කඳවුරු සංකීර්ණයට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් 2009 ජනවාරි 09 වැනිදා අලිමංකඩ ඓතිහාසික ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට අපේ රණවිරුවෝ සමත්වූහ. කිලිනොච්චිය නගරය ජනවාරි 02 වැනිදා ආරක්ෂක හමුදාව විසින් අත්පත් කර ගැනීම හා සමානම විජයග‍්‍රහණයක් ලෙස ඒ - 9 පාරේ අලිමංකඩ ප‍්‍රදේශය අත්පත් කර ගැනීමද හඳුන්වා දිය හැකියි. කොටි සටන් ව්‍යාපාරය තුළ අලිමංකඩ කඳවුරු සංකීර්ණය ඒ තරම්ම ඉතාමත් වැදගත් වූ ප‍්‍රධානතම සන්ධිස්ථානයකි.

අලිමංකඩ ප‍්‍රදේශය හරහා අතීතයේදී වල් අලි මාරුවීම නිසාම එයට අලිමංකඩ ලෙස නම පැටබැඳී ඇති අතර එහි භූගෝලීය පිහිටීම අනුව උතුරේ යාපනය අර්ධද්වීපය හා දකුණු දිශාවෙන් කිලිනොච්චිය දිස්ති‍්‍රක්කය යාකරන කළපුවෙන් වටවූ වැලිතීරුවලින් සමන්විත විවෘත ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ කළපුව ආශ‍්‍රිතව ලුණුලේවායන්වලින්ද සමන්විතය.

අලිමංකඩ නැගෙනහිර දිශාවෙන් කළපුවෙන් එහා චුන්ඩිකුලම් කුරුළු අභය භූමියත් බටහිර දිශාවෙන් යාපනය පුනරීන් කලපු ප‍්‍රදේශය පිහිටා තිබේ. අලිමංකඩ මේ නිසාම යුද්ධ උපක‍්‍රමික වශයෙන් වැදගත් වූ අතර අලිමංකඩ ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට කොටි ත‍්‍රස්තවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාවද කලින් කලට සිය උපරිම යුද ශක්තිය යොදවා එය තමන් සතුකර ගැනීමට කටයුතු කළ ආකාරය 30 වසරක එල්.ටී.ටී.ඊ. යුද සටන් ඉතිහාසය තුල සිදුවී තිබේ.

1970 දශකයේ මුල් කාලයේදී මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීම පිණිස 20 කට අඩු යුද හමුදා සෙබළ පිරිසක් අලිමංකඩ රඳවා තිබේ. විශේෂයෙන් ඉන්දියාවේ සිට ලංකාවට හොර බඩු ගෙන්වන ජාවාරම්කරුවන්ගේ වාහන පරීක්ෂා කිරීම මෙම ස්ථානයේදී සිදුකෙරී තිබේ.

ඉන් අනතුරුව 80 දශකයේදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් උත්සන්න වෙමින් පැවැතීමත් සමඟම මාන්කුලමේ සහ අලිමංකඩ යුද හමුදා අනු කණ්ඩයක් පිහිටුවා තිබේ. කිලිනොච්චිය නගරයේ පන්සලේ ආරක්ෂාවමෙන්ම කිලිනොච්චිය පොලිසියේ ආරක්ෂාවටද මේ අලිමංකඩ සහ මාන්කුලම් හමුදා අනුඛණ්ඩවල සෙබළුන් අතින් සිදුවී තිබේ.

ඒ සමඟම මේ කාලයේදී 1981 දී රූපවාහිනී සම්පේ‍්‍රෂණ කුළුන ඒ - 9 පාරේ කොකාවිල්හි පිහිටුවීමෙන් පසු කොකාවිල්හි තවත් යුද හමුදා අනු කණ්ඩයක් පිහිටුවා තිබේ. ඉන් අනතුරුව අලිමංකඩ කඳවුරේ සිට වවුනියාව දක්වා ඒ - 9 පාරේ එන යුද හමුදා වාහනවලට කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ලවීම් දැඩිවී තිබේ. 1983 වසරේ කළු ජූලියෙන් පසු ඒ - 9 පාරේදී යුද හමුදාවට බිම් බෝම්බ හා වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම් වැඩි වූ අතර 1986 වසරේ සිට මේ මාර්ගයේ වවුනියාවත් - යාපනයත් අතර කිලෝමීටර් සියයකට ආසන්න ප‍්‍රමාණයක් කලින් කලට තැනින් තැන දෙමළ ඊළාම් කොටි ත‍්‍රස්තවාදීන් සතුවිය.

අවසන් වරට මෙම මාර්ගයේ යුද හමුදා වාහන පෙළක් කොළඹ සිට යාපනය දක්වා ගමන්කර ඇත්තේ 1986 වසරේදී බවත් වාර්තා වෙයි. එසේ ගමන්කර ඇත්තේ වාහන 30 කින් පමණ දැඩි ලෙස සන්නාහ සන්නද්ධ වූ හමුදා විරුවන් පිරිසක් වන අතර ඔවුන්ට ගුවනින් හෙලිකොප්ටර් මගින්ද ආරක්ෂාව සපයා දී තිබේ. අලිමංකඩ ඇතුළු ඒ - 9 පාරේ හමුදා අනුඛණ්ඩවලට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර දැඩිවීමත් සමඟම එම කඳවුරුවලට ගුවන් මගින් ආහාර, ආයුධ ආදී සැපයුම් කර තිබේ.

අලිමංකඩ හැර 2000 වසර වනවිට වන්නියේ හමුදා කඳවුරු ත‍්‍රස්තවාදීන් සතුකරගත් අතර 2000 වසරේ අපේ‍්‍රල් මාසයේදී අලිමංකඩට ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ මහා ප‍්‍රහාරයෙන් අපේ රණවිරුවන් තුන්සියයකට අධික පිරිසක් මියගොස් තවත් තුන් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන් වූ පුවත එදා මුළු රටම සෝචනීය තත්ත්වයකට පත්කරවන්නක් විය.

ඊට පෙර 1991 ජූලි මාසයේදී ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ පුරවාගත් මරාගෙන මැරෙන ට‍්‍රක් රථයක් අලිමංකඩ කඳවුරට ඇතුල්වීමට ගත් උත්සාහයේ දී හසලක ගාමිණී කුලරත්න රණවිරුවාද එම ත‍්‍රස්ත බෝම්බ රථයට කඳවුරට ඇතුළුවීමට නොදී තමාගේ ජීවිතයද පරදුවට තබා රථයට අත් බෝම්බයක් එල්ල කර පුපුරුවාලමින් කළ වීරවිකුම් කි‍්‍රයාව එදා අපි වාර්තා කෙළේ මහත් අභිමානයෙනි. එදා ගාමිණී කුලරත්න විරුවාණන් දිවි පූජාකර රැකගත් අලිමංකඩ කඳවුර 2000 වසරේ අපෙ‍්‍ර්ල් මාසයේදී රැක ගැනීමට නොහැකි වූයේ මන්ද යන්න අදටත් යුද විශ්ලේෂකයින්ගේ කතාබහට ලක්වී තිබේ.

එම ප‍්‍රහාරයේදී ප‍්‍රථම වරට ත‍්‍රස්තවාදීන් විසින් මල්ටි බැරල් රොකට් ලෝන්චර් බර අවි පාවිච්චි කර එකවර වෙඩි වරුසාවල් රැසක් එල්ල කළ අතර ඒ වනවිට ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව සතුව එවැනි බර අවි නොතිබීම නිසා අලිමංකඩ කඩා වැටුනේය යන්න එදා කතාබහට ලක්වූ කරුණක් විය.

කෙසේ වෙතත් වසර අටකට පසු අලිමංකඩ කඳවුර නැවත ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව සතුවීම සුවිශේෂී ජයග‍්‍රහණයකි.

මෙවර නැවතත් අලිමංකඩ අත්පත් කර ගැනීමේ සටනේදී හමුදාවට අවම ජීවිත හානියක් සිදුවූ අතර මෙවර සේනාධිපතිවරුන් මෙන්ම රණවිරුවන්ගේ යුද උපක‍්‍රම ඉතාමත් දියුණු මට්ටමකින් පැවතීමත් විශේෂයෙන් ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළම මට්ටමක පැවැතීම එම ජයග‍්‍රහණයට හේතුවිය. විශේෂයෙන් මෙවර යුද ජයග‍්‍රහණවලට සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමාගේත් ආරක්ෂක ලේකම්තුමාගේත් උපරිම සහය යුද හමුදාපතිතුමාට ලබාදීමත්, යුද්ධයට අවශ්‍ය සැපැයුම් හා රණවිරුවන්ට චිත්ත ධෛර්යය උපරිම ලෙස ලබාදීමට රජය කටයුතු කෙළේය. එසේම දක්ෂ අත්දැකීම් සහිත යුද හමුදාපතිවරයකු වු ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා යටතේ යුද්ධය මෙහෙයවීම උතුර - නැඟෙනහිර ත‍්‍රස්ත බලය සුණුවිසුණු කිරීමට හේතුවිය.

අලිමංකඩ සමඟ ඒ - 9 පාරේ සම්පූර්ණ බලය හමුදාව සතුවීමත් සමඟම අද හෙටම එය යාපනයේ සිවිල් ජනතාව සඳහා විවෘත වනු ඇත. ඒ - 9 පාර මුදා ගැනීමෙන් මේ රටේ වැඩියෙන්ම සතුටට පත් ජනතාව වන්නේ යාපනය වැසියන් වන අතර ඔවුන්ට රටේ දකුණු ප‍්‍රදේශයට සිය නිෂ්පාදන අලෙවි කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය දෑ දකුණු ප‍්‍රදේශයෙන් ගොඩ බිම් මාර්ගයෙන් ගෙනඒමටත්, තම අධ්‍යාපන රැකියා, ව්‍යාපාරික අවශ්‍යතා දකුණේ ජනතාව සහ රජය සමඟ සපුරා ගැනීමටත් එමගින් තම ජීවිත සුඛිත මුදිත කර ගැනීමට හැකිවේ.

යාපනයේ භාණ්ඩ මිල අඩුවීම සිදුවේ. ඒ - 9 පාර මෙන්ම ඒ - 32 මාර්ගයද මේ වනවිට යුද හමුදාව සතුව පවතින අතර හමුදාවටද මේ මාර්ග දෙක ඔස්සේ සිය සැපයුම් උතුරට ගොඩබිම් මාර්ගයෙන් ගෙනයා හැකියි. මෙතෙක් කලක් මුහුදු මාර්ගයෙන් සහ ගුවන් මාර්ගයෙන් සැපයුම් සිදුකර ගැනීමෙන් වැය වූ කෝටි සංඛ්‍යාත මුදල් සම්භාරයක් රජයටද ඉතිරිවනු ඇත. එම මුදල් රටේ පොදුජන සුභසෙත හා සංවර්ධනයට යොදාගත හැකියි.

මේ අනුව යුද හමුදාව ලැබූ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය මුළු රටම දිනවීමකි. එය ජාතියේ ජයග‍්‍රහණයක් මෙන්ම මුළු රටම එක්සේසත් කිරීමකි. රට රැකදුන් ඒ අභීත රණවිරුවන්ටත් ඔවුන් මෙලොවට දායාද කළ මවුපියන්ටත් ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි.

අලිමංකඩ ඇතුළු මුළු උතුරු - නැඟෙනහිර සමස්ත පාලන ප‍්‍රදේශයම අත්පත් කර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරද හේතු වූ අතර කොටින් එම ප‍්‍රහාර හමුවේ බංකර අතහැර පලා ගියහ. ගුවන් ප‍්‍රහාරවලින් කොටි නායකයෝ රැසක් විනාශ වී ඔවුන්ගේ මර්මස්ථානද විශාල සංඛ්‍යාවක් විනාශ විය. අලිමංකඩ අල්ලාගත් දිනට පෙර දිනද අලිමංකඩ කොටින්ට සහාය සඳහා පැමිණෙමින් තිබූ කොටි යාත‍්‍රා දෙකකට ගුවන් හමුදාවෙන් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කර ත‍්‍රස්තයින් සමඟ එම යාත‍්‍රා දෙක විනාශ කරන ලදි.

අලිමංකඩ, කිලිනොච්චිය, පුනරින් ඇතුළු උතුරු ප‍්‍රදේශයත් නැඟෙනහිර යුද ජයග‍්‍රහණයටත් ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙන් කළ විශිෂ්ට සේවය අමතක කළ නොහැකිය.

මුහුදු මාර්ගයෙන් පළායන කොටින්ටත් ප‍්‍රහාර සඳහා බෝට්ටුවලින් පැමිණෙමින් සිටි ත‍්‍රස්තවාදීන්ටත් අවි ආයුධ රැගෙන එමින් තිබූ විශාල කොටි යාත‍්‍රා සහ නැව්වලට පහර දී විනාශ කිරීමටත් නාවික හමුදාවේ විරුවනට හැකි වූ අතර ඒ නිසා උතුරු - නැඟෙනහිර ජයගැනීමේ සටනේදී නාවික හමුදාවේ විශිෂ්ට සේවයද අමරණීය වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා