2009-01-13

උතුරට ගිය අතීත මතකය...

උතුරට ගිය අතීත මතකය...

රුහුණු දනව්හි ගිරුවාගම් දොළොස් දහස් රට, මුල්ගිරිගල රාජ මහා විහාරාරාමයේ විහාරාධිපති ස්වාමින්ද්‍රයාණන් වහන්සේගෙන්, නිබඳව ම අවවාද අනුශාසනා ලබමින් ස්වකීය ආධ්‍යාත්මික ගුණවගාවන් වඩවා ගනිමින් ද, තම මවුතුමියගේ හා පියතුමාණන්ගේ යහ ගුණ උකහා ගනිමින් ද, ගාලුපුරේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, මායාරට කොළොම්තොට තර්ස්ටන් හා නාලන්දා විදුහල්වලින් ද සිප් සතර හදාරා, ස්වකීය පියාණන්ගේ අභාවයෙන් පසු, නැඟෙනහිර ගිරුවා පත්තුවේ, බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය භාරගෙන, ජනතා අභිමතයෙන් භද්‍ර යෞවනයේ දී ම රාජ්‍ය සභාවට පත්ව, එතැන් පටන් පොදුජන හිත සුව පිණිස බොහෝ දෑ කරන්නට වෙහෙස මහන්සි වී, ජන්මලාභයෙන් සැටවන වසරේ, ශ‍්‍රී සම්බුද්ධ වර්ෂයන් 2549 වැන්නේ දී ලක්දිව්හි අති බහුතර ජනයාගේ මනාපයෙන් රාජ්‍යත්වයෙන් පිදුම් ලැබුවා වූ මෙදියතෙහි අන් කිසිදු නරපතියකුට අසමසම, භවනාග‍්‍ර වන්නා වූ, දූරදර්ශීව රාජධර්මයෙන් රට කරවන්නා වූ, ඒ මිහිපලුන්ගේ රාජමායම් හේතුකොට ගෙන, පරදේසක්කාරයන්ගේ නූල් සූත්තරවලින් නැටවෙන්නා වූ, උතුරුකරයේ මුලතිව් කැලයේ සැඟව සිටිමින්, ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනයා මරා කොටා, ඔවුනගේ ලෝහිතයෙන් මේ පින්බිම තෙතබත් කොට දමමින්, ඊළාම් රාජ්‍යයක සිහින දක්නා, පිරිබාහරන් නම් මස් වැද්දාගේ, බල කඳවුරු එකින් එක විනාශ කරමින් ද, උහු ඇතුළු දෙස් විදෙස් හි කුමන්ත‍්‍රණකරුවන්ගේ, රුපුදප නිෂේධ කොට, අවුරුදු ගණනාවක් මුළුල්ලේ උතුර දකුණ අතරේ පැවතියා වූ සබඳතා, සිඳ බිඳ තුබූ බාධක සියල්ල ඒ නරපතියාණන්ගේ සූරවීර යුද හමුදාව විසින් විනාශ කොට ඒ - 9 මාර්ගය ඉකුත් 9 වැනිදා මුළුමනින් ම මුදා ගන්නට හැකිවීමේ ගෞරවය අවිසරම්හි කෙළ පැමිණි සංග‍්‍රාමිකෝපක‍්‍රමයේ බොහෝ සිරිකමැති සරත් ෆොන්සේකා නම් සෙන්පතියාටත් ලකඹරේ සුරුවිරුකම් පෙන්වන ගුවන්හමුදාවේ නයුවාණන් ඇතුළු ලොකු කුඩා සෙසු සෙබළුන්ටත් සත්සමුදුරෙහි රන්වැටක් බැඳි නාවික හමුදාවේ නායකත්වය මෙන් ම අනෙක් බලගණයන්ටත් පොලිස්පතිවරයා ප‍්‍රමුඛ උහුගේ යටත් නිලධාරින්ට හිමි ය.

මේ සියල්ලන්ට මඟ පෙන්වන ආරක්ෂක ලේකම්වර ගෝඨාභයට ද ඔහුගේ සොවුරු ලංකේශ්වරාධිපතිවර ඒ මහා යශස් ඇති මහින්ද රාජපක්ෂ තෙමේ හට ද තමන්ගේ හදපත්ලෙන් ම රටවැසියන් ගෞරව පුදකරන්නේ නෙත’ඟ රැඳුණු සතුටු කඳුළින් බැව් නූතන වංශ කථාවෙහි ආරම්භක පරිච්ඡේදය ඇරැඹුමේ ම මෙසේ සටහන් කර තැබිය යුතු ම ය.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව බලා යන අයකුට වවුනියාවෙන් ඉහළට කිසිදු අතුරු උපද්‍රවයෙකින් තොරව අද පටන් මැ ගමන් කළහැකි ඉඩකඩක් පසුබිමක් විවර කර දුන්නෝ ධීමත් මිහිපල් මිහිඳුවෝ ය.

‘මහින්ද චින්තන’ නමින් සකසා ජනයා අත පත් කළා වූ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික වැඩපිළිවෙළ දේශයේත්, ජනයාගේත් මතු දියුණුව උදෙසා යහපත් සිතිවිල්ලෙන් යුක්තව ඇරැඹීමේ ප‍්‍රතිපලයක් සැටියට යැ ඒ.

අදින් දෙතිස් හවුරුද්දකට පෙර යාපා පටුනේ අග නගරයේ හුන් අධිපතිවරයාට ගිනි පිඹ උහු මරා පිරිබාහරන් නම් අලුගෝසුවා ඊළාම් දේශයක් නිමහම් කර ගැනීමේ පළමු පියවර තැබුවේ ය. එසමයෙහි සිරිමාවෝ බණ්ඩාරනායක නම් ජන නායිකාව රට කැරැ වූවා ය.

‘යැංකි ඩිකී’ නමින් වාමාංශික දෙස්පාලකයන් විසින් අවඥාවෙන් හඳුන්වා ලු ජුලියෙස් රිචඩ් ජයවර්ධන නම් වූ පුඟුලු තෙමේ ධාර්මිෂ්ඨ නාමයෙන් ලක්දිව්හි පාලනය කරනා බවට පොරොන්දු පත් ලියා ජන වරම් ලබා ගත් අවස්ථාවේ දී ඔවුනට ඒ තුමී (බණ්ඩාරනායක) විසින් මේ රාජ්‍යය පවරන ලද්දේ ඒකීය රටක් ලෙස වුවත් ඒ අදමිටු පාලක තෙමේ උහු ලද හයෙන් පහක ජනවරම පාදක කොට ගෙන මේ පොළෝ තලය මත අවනීතිය රජ කරවන්නට පටන්ගත් නිසාවෙන් (උන් රොත්තගේ කි‍්‍රයාකලාපය) ඊළාම් රාජ්‍යයක සිහින දකිමින් සිටි පිරිබාහරන්ට උගේ කටයුතු වේගවත් කරගැන්මට උඩගෙඩි දීමක් කර දුන්නේ ය.

එකල් හි විධායක බලතල තහවුරු කොට ගෙන ජුලියෙස් රිචඩ් හා උහුගේ ගෝලබාලයන් කෙළේ ලක්දිව්හි ජනයාගේ ඕනෑ එපාකම් ඉටු කිරීම නොවේ. මූදෙන් එහා පරසක්වළ වසනා මොවුනගේ හාම්පුතුන්ට රිසි දෑ ය. ඒ අමනෝඥයන්ගේ කි‍්‍රයා කලාපය හේතු කොටගෙන පිරිබාහරන් වඩ වඩාත් ශක්තිමත් කරන්නට අසල්වැසි මහා රාජ්‍යයේ පාලක පාලිකාවන් උහුට ඇවැසි හටන් ක‍්‍රමත් ඊට අදාළ සෙසු ශිල්ප ක‍්‍රම ආදියත් ඒ රටේ මහ කැලෑවන්හි කඳවුරු අරඹා ඉතා පහසුවෙන් හදාරන්නට හැකියාව ද ලබා දුන්නේ කිනම් කාරණාවක් නිසාදැයි මෙහි ලියා නොතබමු. (එකල උතුරු කරේ වෙරළ වටා යුද හමුදා කඳවුරු දහතුනක් ගොඩ නඟා තිබුණේ දකුණු භාරතයේ සිට හොර රහසේ මෙහි එන කල්ලතෝනීන් හා උතුරේ නීතිවිරෝධීව කි‍්‍රයාකරමින් මුහුද මඟින් මෙහි ගෙන එන ගෙන යන සොරබඩු අල්ලා ගැනීම උදෙසාත් යැ.

එහෙත් හුදෙක් බල තණ්හාව මුල් කරගෙන රට කෙරෙහි නොව තමන් කෙරෙහි පමණක් හිතූ ජයවර්ධන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් හා එක් වැ ගසා ගත් රහස් ගිවිසුමක ප‍්‍රකාරව එතෙමේ බලයට පත් වූ වහා තමනට බලයට පැමිණීමට උදවු කළ අමිර්තලිංගම්ට දුන් පොරොන්දුව ඉටු කරමින් එම හමුදා කඳවුරු සියල්ල ඉවත් කිරීමට පියවර ගත්තෙන් යාබද රටෙ හි දකුණුකරේ පිහිටි තමිල්නාඩුවේ සිට අවි ආයුධත් හෙරොයින් නම් වූ ඉතා විෂ මත්ද්‍රව්‍යත් තවත් බොහෝ හොර බඩුත් ගෙන ඊමට කොටි ත‍්‍රස්තවාදීන්ට මංපෙත් විවර වූයේ ය. එතැන් පටන් එහි අනිටු ඵලවිපාක මේ ද්වීපයේ මිනිස් වග අත්විඳිමින් සිටින්නාහ.

සංවර්ධනයට හුන් මිනිස් ජීවිත සිය දහස් ගණනින් පිරිබාහරන් නම් වූ අලුගෝසුවා විසින් බිලි ගනිද්දී රට කරවන්නන් දේශපාලන වාසි ලබා ගැන්මේ අපේක්ෂාවෙන් පමණක් ව්‍යාජ යුද්ධවලට රටත් ජනයාත් ඇද ගෙන ගියහ.) ජයවර්ධනගෙන් පසු තවත් සිව් දෙනෙක් මේ දිවයින් හි පාලනය ගෙනගියෝ පිරිබාහරන්ට හා ඌට ආවඩමින් අප සැමගේ මිහිමව දෙස ගිජු දෑස් රඳවා ගෙන කෙළ සළමින් බලා හිඳිනා පරදේසක්කාර කැනහිල් රැළගේ ඇවැසිතා මත පිහිටා වීමේ හේතු කාරණාවන් නිසාවෙන් මේ දේශය තව තවත් වියැවුලෙන් වියැවුලට පත් වූයේ ය.

සිංහල බෞද්ධ සංස්කෘතිය හෝ ශිෂ්ටාචාරය හෝ කෙරෙහි අබැටෙක තරම් පමණෙකවත් අල්ප මාත‍්‍ර දැනීමක් හෝ හැඟීමෙක් පවා නොමැත්තා වූ රනිල් වික‍්‍රමසිංහ තෙමේ අග‍්‍රාමාත්‍ය ධූරන්ධරව දෑවුරුද්දකුත් මාස කීපයෙක් ව්‍යවස්ථාදායකයේ බලය ගෙන කළ කි‍්‍රයා පිළිවෙත හේතුවෙන් භූමියෙන් තුනෙන් එකකුත් රට වටා ඇති සත් සමුදුරෙන් තුනෙන් දෙකකුත් ඊළාම් සිහින දේශයට මායිම් කොට වැට කඩොළු ගසා වෙන් කර දීමේ පලවිපාක ලක්දිව්හි ජනයාට අත්විඳින්නට සිදුවූයේ කන්ද උඩරට සිට යාපා පටුන හාමු කෙරෙනා ඒ - 9 මාර්ගය ඕමන්තේ සිට පලෙයි දක්වා බිම්කඩ පිරිබාහරන්ගේ බාරයට ඔප්පුවකින් ලියා දීමෙනි.

මෙසමෙහි ජාතිවාදී උන්මාදයෙන් පෙළෙනා දෙමළ ඊළාම් කොටි ත‍්‍රස්තවාදීන්ට නා නා ප‍්‍රකාර වර්ගවලට අයත් ගිනි අවි පමණෙක් නොව නවීනතම සන්නිවේදන උපකරණ පවා රනිල් – පිරිබා අතර ඇති කරගත් ගිවිසුමට අනුව ඊනියා සාමයේ මුවාවෙන් විදේශයන්හි සිට උගේ ඊළාම් සිහින දේශයට ගෙන යෑමට අවසරය දීමට තරම් එවක ව්‍යවස්ථාදායකය මෙහෙය වූ රනිල් වික‍්‍රමසිංහ මුග්ධයකු සේ හැසිරෙමින් උහුගේ ගෝල බාලයන්ට පවා හොර රහසින් මංපෙත් විවර කර දුන් බැව් අනාගත පරපුරේ දැන ගැනීම සඳහා ලියා තැබිය යුත්තේ ම යැ.

ඔහුගේ මුග්ධ කි‍්‍රයා පිළිවෙත හේතුකරණ කොට ගෙන කොටි ත‍්‍රස්තවාදීන්ට දිනෙන් දින හෑම අංශයකින් මැ පොහොසත් වීමට අවස්ථාව උදා වී යැ.

ඒ කෙටි කාලයේ දී ඕමන්තෙන් ඉහළට ඒ-9 මාර්ගය ඔස්සේ යාපා පටුන කරා ගමන් කිරීමට අවස්ථාව ලබා දුන් කොටි ත‍්‍රස්තවාදීන් දකුණේ සිට එසේ යනෙනන්ගෙන් ඊළාම් රේගුවට බදු අය කර ගත්තේ උන්ගේ ඊළාම් භාණ්ඩාගාරය පුරවා ගැනීමේ අපේක්ෂාව ඇතිව ය.

මෙවන් කාලවකවානුවෙක් ගෙවමින් සිටිය දී මාතෘභූමිය කෙරෙහි අදරැති බහුතර ජනයා විසින් උජිතවූත්, උජුවූත්, මෙපින් බිම උජ්ජෝතය කිරීමේ පිනැති, ශ‍්‍රී රෝහණ ජනරංජන නාමධාරි, ඒ මිහිපල් තෙමේ, නියමිත හෝරාවේ රාෂ්ට‍්‍ර පදවි ප‍්‍රාප්තියට තෝරා ගන්නා ලද්දේ උහුගේ වාසනා මහිමය නිසා පමණෙක් නොව, මේ ධරණිතලයේ ද ඇති වාසනාව හේතු කරන කොට ගෙන ම යැ.

එහෙයින් ම කොටි බලමුළු සුන් කරලන්නට ති‍්‍රවිධ හමුදාවන්ට හා පොලීසියට ද මහා යෝධ බල යෝධ හයි හත්තියක් ආරෝපනය විය.

නැඟෙනහිර මාවිල්ආරු සොරොව්ව වසා දමා කොටි හපුළුවන් කරන තිරස්චීන කි‍්‍රයාවෙන් අසීරුවට පත් ඒ ප‍්‍රදේශවාසීන්ට යුක්තිය ඉටුකිරීම උදෙසා ති‍්‍රවිධ හමුදාව යොදවා මානුෂික මෙහෙයුමක් ඇරැඹීමට ඇවැසි පියවර ගත් ඒ ධීමත් නරපති තෙමේ, ඒ සඳහා සියලු ආරක්ෂක අංශයනට උවමනා කරන්නා වූ සෑම දෙයක් ම හිඟයකින් තොරව සපයා දී ත‍්‍රස්තවාදීන්ගේ පීඩාවට හසුව පෙළෙමින් හුන් දෙමළ මුස්ලිම් හා සිංහල ජනයා මුදා ගෙන උතුරේ පවතින කොටි බලය ද සුනු විසුනු කරන්නට හමුදාවන්ට නියෝග නිකුත් කෙළේ ය. එහි ප‍්‍රථිපලය කෙතරම් නම් අගනේ ද? වටිනේ ද?

මෙ සමයේ මෙන් නොව, එසමයෙහි උතුරුකරේ දෙමළ ජනයා ද, දකුණුකරේ සිංහලයන් ප‍්‍රමුඛ අනෙක් ජන වර්ගයා ද කල දවස ගත කෙළේ ඉතා සුහදශීලීව ය. යාපනයේ වෙළෙඳ ව්‍යාපාර සෑහෙන ගණනක හිමිකරුවන් වූවෝ දකුණේ සිංහලයෝ ය. අප අද දෙස් විදෙස් හි බහුතරයකගේ කතා බහට ලක් වී ඇති ඒ-9 යන්වෙන් හැඳින්වෙන මහනුවර යාපනය මහා මාර්ගය ඔස්සේ කවරකු වුව යාපනයට ආවේ ගියේ කිසියම් හෝ කරදරයක් හිරිහැරයක් විඳ ගෙන නොවේ. නුවර, මාතලේ, දඹුල්ල, මිහින්තලය, රඹෑව, මැදවච්චිය, වවුනියාව, මාන්කුළම, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, මුහමලේ හරහා යාපනයට මා පළමු වරට ගියේ 1968 දී ය.

අවසන් වරට ඒ-9 මාර්ගයෙන් යාපනයට ගියේ 1969 දී බැව් මගේ මතකයයි. ඊට පසු 1980 ජනවාරි 01 වැනිදා යාපනය නගර ශාලාවේ පැවැත්වුණු වෘත්තීය සමිති සංවත්සරිකෝත්සවයට සහභාගිවීමට රාජකාරි ගමන් බලපත‍්‍රයක් ගෙන 1979 දෙසැම්බර් මස 31 වැනි දා මා යාපනය නගරයට ගියත්, ඒ ගමන යෙදුණේ දුම්රියෙනි.

පාසල් ගමන හමාර කිරීමෙන් පසු මා, ම පියාණන්ගේ සෙවුරියකගේ බාල පුතණුවන් වූ එම්. ඩී. මැන්ඩිස් සහ සමාගමෙහි රැකියාවක් ලද අතර, එ සමයෙහි එහි නිපද වූ අසෝක ලියන තීන්ත, එහි නිෂ්පාදන අලෙවි කරන්නට මාස කිහිපයකට වරක් උතුරු පළාතේ යෑමට සිදු විය. ඒ කාලයේ කිලිනොච්චි නගරයේ දී විවේක ගැනීම අප සිරිතකි. එහි දී නගර මධ්‍යයෙන් අතුරු පාරක් දිගේ තරමක දුරක් වාහනය ධාවනයකරවන රයැදුරු තෙමේ, තල් අතු සෙවිළි කළ මඩුවක් අසල රිය නවතයි. එතැන්හි දී රා මදින්නාගෙන් තල් ගොට්ටක් පුරවා ලැබෙන තල් රා බෝතලයක් දෙකක් බීම අපට ගෙන දුන්නේ මහත් වූ ආශ්වාදයකි. එක් රා ගොටුවකට රා මදින්නා අපෙන් අය කෙළේ සත විසිපහක් බව මගේ මතකයයි. රා බොන්නට ද අපට ප‍්‍රධානත ම හේතුව නම් ඒ පළාතේ ජලය කිවුල් බවින් යුක්ත වීමයි. වෑන් රියේ රියැදුරුට හොඳින් දෙමළ කතා කරන්නට හැකිවීම නිසා රා මදින්නා ද අපට බොහොම ළෙන්ගතුකමක් පාන්නේ ය.

යාපනයට යන අපි හබරාදූවේ අගුළුගහ ප‍්‍රදේශයේ මුදලාලි කෙනකුට අයත් (ඔහුගේ නම මතකයේ නැත) මා මතකයේ හැටියට සිටි බේකරියෙන් සප්පායම් වී දුම්රිය පොළ අසල පිහිටි නාග විහාරයට ගොස් රැය පහන් කරන්නෙමු. කස්තූරියා පාරේ පිහිටි ජී. එච්. කුරේ ගෘහ භාණ්ඩ සාප්පුවට යාබදව පර්චස් හත අටක තරම් වූ පටු බිම්කඩෙහි වූ කුඩා නිවෙසෙහි අපේ ඥාතියෙක් පදිංචිව සිටියේ ය. වේවැල් කර්මාන්තය වෘත්තිය කරගත් ඔහු සමඟ ඒ කර්මාන්තයේ නියුතු එහි සිටි තවත් ඥාතීන් හය හත් දෙනා ද හමුවීමට මා අමතක කරන්නේ නැත. එහෙත් අපේ ඥාතීන් ඇතුළු යාපනය ප‍්‍රමුඛ කොටගත් උතුරුකරේ සෙසු ගම් දනව්හි පදිංචිව සිටි සෙසු සියල්ලෝ ම 1985, 86 කාලයේ දී ආයුධ බලයෙන් පිරිබාහරන්ගේ ත‍්‍රස්තවාදී ගෝල බාලයන් විසින් පළවා හැර ඒ සියල්ල උන්ගේ බුක්තියට සරි කර ගත්තේ එය උනගේ ඊනියා නිජබිම යයි ප‍්‍රකාශයට පත් කරමිනි.

අද පිරිබාහරන්ගේ කොටි හමුදා බල බිඳ දමන්නට අපේ ඔද තෙද ඇති ධීරවීර රණවිරුවෝ මහත් සමත්කම් පාමින් පියවරෙන් පියවර ඉදිරියට ඇදෙති. ඔවුහු 2009 නව වසර උදාවත් සමඟ කොටින්ගේ ප‍්‍රබල මර්මස්ථානයක් සේ සැලකුණු පරන්තන් ජය ගත්හ. ඒ ත‍්‍රස්තවාදීනට මරු ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි. ඒ සටන් පෙරමුණ මෙහෙය වූ අභීත සෙන්පතියා 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත්හමුදා භටයන් විසිනි. ඊට පසුදා මේජර් ජෙනරාල් ජගත් ඩයස් නායකත්වය දෙන 57 වැනි සේනාංකය කොටින්ගේ හදවත සිදුරු කොට කිළිනොච්චිය අත්පත් කැර ගත්තේ ලක්දිව්හි ඉතිහාසය නව මඟකට යොමු කරවමිනි.

පරන්තන් කොටි බලය සුන් කර ලූ ශවේන්ද්‍ර සිල්වා ඊළඟට හමුදා නයු සරත් ෆොන්සේකා නියමය පරිදි සිය බල මුළුව උතුරු දෙසට ගමන් කරවා යුද හමුදා බලයෙන් ගිලිහී වසර ගණනාවක් ම කොටින් සන්තයේ රැඳී තුබුණු අලිමංකඩ කඳවුරෙහි බලය යළි තහවුරු කර ගැනීම උතුරු මානුෂික මෙහෙයුමේ දී අපේ වීරෝදාර රණවිරුවන් ලද ඓතිහාසික ජයග‍්‍රහණක් සේ ඉතිහාසයට එක් වනු ඇත. යාපනය ආඥාදායක මූලස්ථානයේ සිට ජෙනරාල් මෙන්දක සමරසිංහයන්ගේ අධීක්ෂණය යටතේ දකුණට මානුෂික මෙහෙයුම් කරනා 55 වැනි හා 53 වැනි සේනාංකයන් බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ හා බි‍්‍රගේඩියර් කමල් ගුණරත්නයන්ගේත් වීර වික‍්‍රමාන්විත බල සේනාවෝ නාගර්කෝවිල් හා මුහමලේ සිට ඉදිරිය බලා ගමන් අරඹා සිටිති. වෙත්තලයිකර්නි, චුන්ඩිකුලම පියමංකොට 53 හි රණවිරුවන් කොටි රුපු බල සුන්කොට අලිමංකඩ කරා සම්ප‍්‍රාප්ත වූ අවස්ථාව ලක්දිව්හි සටන් ඉතිහාසයේ විශේෂ සලකුණින් යුක්ත ය.

මේ මිහිමත සිටින අංක එකේ ත‍්‍රස්තවාදියා සේ පරදේශක්කාරයන් පවා පිළිගන්නා වේළුපිල්ලේ පිරිබාහරන් නම් සමූලඝාතකයා අරඹා ඇති සිව්වැනි ඊළාම් යුද්ධයේ දී තරම් ඌ හා උගේ ත‍්‍රස්තවාදීන් පසු බෑ වෙනත් අවස්ථාවක් උගේ ඉතිහාස පොතේ නැතැයි පැහැදිලිව දක්නට ඇති සිදුවීමකි. ඊට මූලිකව ම බලපා ඇති කාරණාව කුමක් ද? ඒ අන් කිසිවක් නොව, නිවැරැදි දේශපාලන නායකත්වයක් අද රටට මෙන් ම ති‍්‍රවිධ හමුදාවටත්, පොලීසියටත් හිමිව තිබීමයි. මෙතෙක් කලක් තම මවුබිම ගැන නොසිතා රට කරවූ නරපති නරපතිනියන් මෙන් නොව, වත්මන් මිහිපල් තෙමේ අන් සියලු කාරණාවන් දෙවැනි කොට තකමින් පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට පෙරටු කොට තබා, රාෂ්ට‍්‍ර පාලනයේ යෙදීම එහි රහසයි.

එවන් පාලකයකු යටතේ පිරිබාහරන් සතුව ඉතිරිව ඇති මුලතිව් කැලෑ කුට්ටිය ද පීරා, ඌ සැඟ වී සිටින තැන සොයා ගෙන මේ පොළොව නූසුලන අපරාධ තිස්වසරක් තිස්සේ කරමින් සිටින්නා වූ ලේ පිපාසයෙන් පෙළෙනා උන්මන්තකයා ද ජීවග‍්‍රහයෙන් අල්ලා ගන්නා වූ දවස වැඩි ඈතක නොවේ. ඌ අපේ හමුදාව විසින් ජීවග‍්‍රහයෙන් අල්ලා ගන්නට පෙර ඌ විසින් ම ඇති දැඩි කරන ලද කොටි පැටවකුගේ ගිනිබටයෙකින් පිටවෙන උණ්ඩයකින් උගේ සියලු කෙරුම් හමාර වෙනු ඇත යන්න සිකුරු ය. නිවැරැදි දේශපාලන නායකත්වයක් හිමි ව සිටින්නා වූ අප රණවිරුවන් මුලතිව් කැලය දක්වා පසුබා සිටින අන්තිම කොටියා ද විනාශ කරනු ඇති . ඒ- 9 මාර්ගය හමුදාව විසින් මුළුමනින් ම අත්පත් කැර ගැනීම නිසා යළි උතුරුකරේ තල්ගස් හෙවණේ සිට දෙමළ කතුන් වියනා තල් කොළ පැදුරකුත්, දකුණේ සිංහල ඉතිරියක වියනා පොල්කොළ පැදුරකුත් එකතැනක එළාගෙන ශ‍්‍රී ලංකා මාතා අප ශ‍්‍රී ලංකා මාතා යනුවෙන් අප සැමගේ ජාතික ගීය සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඈ කිසිදු භේදයකින් තොරව අත්වැල් අල්ලා ගෙන, අභිමානයෙන් යුතුව එකමුතුව එක හඬින් ගයන්නට අද හෝ හෙට හෝ හැකිවනු ඇත.

එහෙත් තාවකාලිකව පල්ලම් බැස සිටිනා දෙස් විදෙස් කුමන්ත‍්‍රණකරුවන් උන්ගේ උත්සාහයන් කෙදිනකවත් අත් නොහරින බැව් තිස් වසරක් මුළුල්ලේ උන් විසින් භේද භින්න කිරීම නිසා ටිකෙන් ටික දුරස් වන්නා සේ ඈත්ව සිටි උතුරෙත් දකුණෙත් සහෝදර සහෝදරියන්ගේ සංස්කෘතික බැඳීම් යළි වඩවා ගන්නට ඒ-9 මාර්ගය හරහා උතුරෙන් දකුණටත්, දකුණෙන් උතුරටත් යන්නට එන්නට උතුරු වසන්තය අප‍්‍රමාදව ඇරැඹීමට අප හැමට සිත් පහළ වේවා!!

එය සංවර්ධනයේ පිපාසයෙන් පීඩිතව හඬනා මාතෘ භූමියේ අපේක්ෂාවයි. උතුරේ මෙන් ම දකුණේ ද ජීවත් වන්නේ ඇගේ සුජාත දූ පුතුන් වග සිහි කරමින් ගෙවී ගිය තිස් වසර මුල්ලේ ම ඈ හැඬුවා ය. ඇගේ දූ දරුවන් වන අප යළි භේද භින්න කර එකිනෙකා මරා ගන්නට කුමන්ත‍්‍රණකරුවන් අලුත් අලුත් සැලසුම් සකස් කරනු ඇත. උතුරේ ද දකුණේ ද ඝාතනය කෙරුණේ ඇගේ දරුවන් ය. දැරියන් ය. ඒ-9 මාර්ගය ඔස්සේ නව සංස්කෘතියකට අවතීර්ණ වී දෙස් විදෙස් සතුරන්ට පාඩම් ඉගැන්වීමට එළැඹී හෝරාවේ එකා මෙන් අත්වැල් අල්ලා ගෙන ගිනි විදින ගිනි බට ඉවතලා මාතෘ භුමිය ගොඩනංවා අලුත් ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට දැන් ඉතින් සැරසෙමු. ඒ සඳහා මහා යශස් ඇති සුර විරු කම් ඇති සොඳුරු මිහිඳු නම් වන්නා වූ මිහිපාලයාණෝ අපට මඟ පෙන්වනු ඇත්තාහ. එතෙමේ දුර දක්නා නුවණින් යුක්තව ඒ සුපථය ඔස්සේ ඔබත්, මමත් කැටිව යනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා