ජවිපෙ මන්ත්‍රී මානගේ මැති සබයට ජීවිතාරක්ෂක ඇඳුම් ගෙනැවිත්

ජවිපෙ මන්ත්‍රී මානගේ මැති සබයට ජීවිතාරක්ෂක ඇඳුම් ගෙනැවිත්

වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී පේමසිරි මානගේ මහතා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු සභා ගැබට ගෙන ආ ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තු පොලිස් අධිකාරිවරයාට ඊයේ (08) නියෝග කෙළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ සියලු කාර්යාල වහාම පරීක්ෂාවට ලක් කරන ලෙසද පාර්ලිමේන්තුවේ පිිවිසුම් දොරටුවලින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිට වන අවස්ථාවන්හිදී පරීක්ෂාවට ලක්කරන ලෙසද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් නියෝග කළේය.

පේමසිරි මානගේ මන්ත්‍රීවරයා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු සභා ගැබ තුළට අදාළ ධීවර ආම්පන්න රැගෙන ඒම නිසා ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් සභාව දෙවරක්ම තාවකාලිකව නතර කිරීමට ද මූලාසනයට සිදුවිය.

ඊයේ (08) ප.ව. 2.40 ට පමණ පළමුව සභාව අත්හිටවූ අතර නැවත වරක් ප.ව. 2.55 ට පමණ සභාවේ කටයුතු තාවකාලිකව නතර කෙරිණි.

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනෙමින් තිබූ අවස්ථාවේදී විවාදයට එක් වූ පේමසිරි මානගේ මන්ත්‍රීවරයා සිිය කතාව කරගෙන යන අතරතුරදී ජීවිත ආරක්ෂක කබායක්, බිලි කොක්කක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් පෙන්වමින් දිගින් දිගටම අදහස් පළ කරන්නට පටන් ගත්තේය.

ජයතිස්ස රණවීර සහ මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන් රීති ප්‍රශ්න මතු කරමින් එම උපකරණ සභාව තුළට රැගෙන ඒම පිළිබඳ බලවත් විරෝධය පළ කරමින් ඒවා සභා ගැබෙන් ඉවත් කරන ලෙස මූලාසනයේ සිටි උඩවත්තේ නන්ද හිමිපාණන්ගෙන් ඉල්ලා සිටියහ.

මේ ආකාරයට පාර්ලිමේන්තුවට බෝම්බ පවා ගෙන ඒමට හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

මූලාසනයටද අවනත නොවී පේමසිරි මානගේ මහතා දිගින් දිගටම අදහස් පළ කරන්නට උත්සාහ දැරීම නිසා ප.ව. 2.40 ට සභාව තාවකාලිකව නතර කෙරිණි.

විනාඩි 10 කට පමණ පසු නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව යළි රැස් වූ අතර නීති විරෝධී ලෙස සභා ගැබට ගෙන ආ උපකරණ වහා ඉවත් කරන ලෙසත් එම උපකරණ සභා ගැබට ගෙන ආ ආකාරය සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ඉල්ලා සිටියහ.

සභා ගැබට නීති විරෝධීව ගෙනැවිත් ඇති සියලු ආම්පන්න ඉවත් කරන ලෙස නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා නියෝග කළේය.

එහෙත් එම ජීවිතාරක්ෂක කබාය ඇතුළු උපකරණ විවාදයට අදාළ උපකරණ බව ජවිපෙ මන්තී‍්‍ර විජිත හේරත් මහතා ප්‍රකාශ කිරීමත් සමග නැවතත් සභා ගැබ තුළ උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය.

ප.ව. 2.55 ට සභාව නැවත වරක් තාවකාලිකව අත්හිටුවීමට නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා පියවර ගත්තේය.

නීති විරෝධී උපකරණ සභා ගැබට ගෙන ආ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අත්හිටුවන ලෙස ඇමැති හේමකුමාර නානායක්කාර මහතා ඉල්ලා සිටියේ ස්ථාවර නියෝග පෙන්වා දෙමිනි.

සභා ගැබට ගෙන ආ නීති විරෝධී උපකරණ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාද මූලාසනයෙන් ඉල්ලා සිටියේය.

ස්වල්ප වේලාවකට පසු නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව යළි රැස් වූ අතර සභා ගැබට නීති විරෝධී ලෙස රැගෙන ආ සියලු උපකරණ අත්අඩංගුවට ගන්නා ලෙසත් ජවිපෙ කාර්යාල පරීක්ෂාවට ලක්කරන ලෙසත් නියෝජ්‍ය කතානායකවරයා නියෝග කළේය.

එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සභාවේ සිටි අතර ඔවුහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා