‘ලංකා’ මාධ්‍යවේදීන් ඇප මත මුදා හරී

‘ලංකා’ මාධ්‍යවේදීන් ඇප මත මුදා හරී

දෙණියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ‘ ලංකා ‘ සති අන්ත පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස මොරවක මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා ඊයේ (8) නියෝග කෙළේය.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ ශාලිත විමලසේන, රවීන්ද්‍ර පුෂ්පකුමාර , දයා නෙත්තසිංහ යන තිදෙනා මෙසේ මුදාහැරිණි.

අයුතු ඇතුල්වීම යන වරද සම්බන්ධයෙන් මොවුන් ඊයේ (8) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

රුපියල් 3000 ක මුදල් ඇපයක් හා රුපියල් 50000 ක් වටිනා ශරීර ඇපයක් එක් අයකුට නියම කෙරිණි.

සැකකාර මාධ්‍යවේදීන් තිදෙනා වෙනුවෙන් ඊයේ අධිකරණය හමුවේ කරුණු දැක් වූ නීතිඥ එන්. නන්දසිරි මහතා සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති වැරැදි සමථ කළ හැකි ඇප දිය හැකි ඒවා නිසා මොවුන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

ඇප මත මුදා හළ සැකකාර මාධ්‍යවේදීන් තිදෙනාට ලබන නොවැම්බර් මස 04 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කළ මහේස්ත්‍රාත් රණතුංග මහතා එදිනට විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කෙළේය.

දෙණියායේ බෙවරලිය ප්‍රදේශයේ තුසිත රණවක මහතාට අයත් වත්තකට ඇතුල්වී එහි රූපගත කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාර දී තිබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා