චැනල් - 4 වීඩියෝ පටය බොරුවක් බව තහවුරු වුණා

චැනල් - 4 වීඩියෝ පටය බොරුවක් බව තහවුරු වුණා

විද්‍යාත්මක සාක්කි රූපවාහිනි සේවා වෙත

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දෙමළ ජනතාව ඝාතනය කරන බව පෙන්නුම් කරන විඩියෝ පටය කෘත්‍රිම සහ ව්‍යාජ බව තහවුරු කරන විද්‍යාත්මකව සාක්කි එම විඩියෝ පටය විකාශනය කළ මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4, බී. බී. සී, සී. එන්. එන් හා අල්ජසීරා වැනි රූපවාහිනි සේවා වෙත යැවීමට රජය පියවර ගෙන තිබේ.

එම රූපවාහිනි සේවා වෙත මෙම විද්‍යාත්මක සාක්කි යැවීමට පියවර ගත්තේ අදාළ විඩියෝ පටය ව්‍යාජව හා කෘත්‍රිම ලෙස සකස් කළ නිසා මෙය නිවැරැදි කිරීම සඳහා හෝ අවම වශයෙන් ඒ පිළිබඳව කනගාටුව පළ කිරීම සඳහා යැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

චැනල් 4 විකාශනය පිළිබඳ විදෙස් තනාපතිවරුන්ට හා මහ කොමසාරිස් වරුන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී එසේ සඳහන් කළ ඇමැති මහින්ද සමරසිංහ මහතා මෙම පුවත නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් පළවී ඇති දුර්මත ඉවත් කිරීමට සහාය වන ලෙසද ඉල්ලීමක් කළේය.

විදෙස් තානාපතිවරු හා මහා කොමසාරිස්වරුන්ගෙන් මෙම විශේෂ ඉල්ලීම කළ සමරසිංහ මහතා අදාළ විඩියෝ පටය කෘත්‍රීමව සකස් කළ බව තහවුරු කෙරෙන විද්‍යාත්මක පරීක්‍ෂණ හතරක් සම්බන්ධ ක්‍ෂේත්‍රවල විශේෂඥයින් සිව් දෙනකු ලබා දී ඇති නිගමන ඉදිරිපත් කළේය.

විශේෂඥයින් සිව් දෙනා ස්වාධීනව වෙන වෙනම සිදු කරන ලද පරීක්‍ක්‍ෂණ අවසානයේ පැමිණි නිගමන පැහැදිලි කළ සමරසිංහ මහතා ඩිජිටල් කැම්කෝඩරයකින් හෝ කැමරාවකින් මිස ජංගම දුරකතනයකින් මේ පටිගත කිරීම සිදුකර නොමැති බවත් එයට ශබ්දය පසුව කවා ඇති බවත් වෙඩි තබන ශබ්දය සමීපයෙන් නොව ඈතින් අසෙන බව තහවුරු වී ඇති බව පෙන්වා දුන්නේය.

විකාශනය වූ මෙම විඩියෝ පටය පිළිබඳව හෙළා දැකීමෙන් නතර නොවී රජයක් ලෙස මෙය ව්‍යාජ බව ඔප්පු කිරීම සඳහා විද්‍යාත්මක පරීක්‍ෂණ 4 ක් ද පැවැත් වූ බව ඇමැතිවරයා මෙහිදී අවධාරණය කෙළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මුන් මහතා ජිනිවා හිදී හමුවී චැනල් 4 මගින් විකාශය කළ මේ විඩියෝ පටය ගැන රජයේ ස්ථාවරය විමසූ අවස්ථාවේදී රජය මෙය හෙළා දකින බවත් එය ව්‍යාජ ලෙස සැකසුමක් බවට තමා කියා සිටි බව පැහැදිලි කළ ඇමැතිවරයා මේ පරීක්‍ෂණවල ප්‍රතිඵල ගැන එ.ජ. සංවිධානයේ මහා ලේකම්වරයාට පමණක් නොව නොර්වේ එරික් සෝල්හයිම් මහතාටත් එම විඩියෝ පටය ප්‍රදර්ශනය කළ සියලුම රූපවාහිනි ආයතනවලටත් යැවීමට රජය කටයුතු කරන බව පැවසීය.

අනතුරුව ඇමැතිවරයා විදේශ දූත මණ්ඩල සාමාජිකයින්ට චැනල් 4 මගින් විකාශනය කළ විඩියෝ පටය ප්‍රදර්ශනය කර එය කෘතිමව සැකසුවක් බව හෙළි කරන පරීක්‍ෂණවල විද්‍යාත්මක සාක්කි ඉදිරිපත් කෙළේය.

පළමුවෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චතුර ද සිල්වා මහතා සිය පරීක්‍ෂණයේ ප්‍රතිඵල විස්තර කරමින් මෙසේ කීය. මෙම රූගත කිරීම් ජංගම දුරකථනයකින් නොකළ බව පැහැදිලි වන්නේ රූපරාමු අතර පැන පැන යන ගතියක් නොමැතිව ඒවා සියුම් ලෙස මිශ්‍ර වී ඇති බැවිනි.

ජංගම දුරකථනයකින් කෙරෙන රූපගත කිරීමක රූපරාමු අතර එවැනි සුසංයෝගයක් ඇති නොවේ. සිල්වා මහතා මෙම දර්ශන විඩියෝ කැමරාවකින් ගත් දර්ශන බවත් එය කිසිසේත්ම ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශන නොවන බවත් තානාපතිවරු හමුවේ කරුණු සහිතව පැහැදිලි කෙළේය.

මෙහිදී මරා දැමුවකුගේ සිරුරෙන් විසිරෙන බවට දැක්වෙන ලේ පැල්ලම් ලෙස පෙනෙන පැල්ලම් මුලින් රූප ගත කර පසුව ඇතුළත් කළ ඒවා බව ඒ මහතා කරුණු සහිතව පැහැදිලි කෙළේය.

අනතුරුව අදහස් දැක්වූ යුද හමුදා සංඥා බලකායේ බ්‍රිගෙඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා මෙය කෘතිමව සකසන ලද්දක් බව ද ඒ ආකාරයෙන් ආරක්ෂක හමුදා සිදු කළ පෙරහුරුවකදී ඒ බව සනාථකරගත හැකිවූ බව ද පැහැදිලි කෙළේය.

මේජර් පී. ඒ. බණ්ඩාර මහතා එම වීඩියෝ පටය 50%ක මන්දගාමී වේගයකින් ධාවනය කරවමින් මෙය රූපගත කිරීමක් මිස සැබෑවක් නොවන බව හෙළිවන බව කියන සාක්කි තානාපතිවරු හමුවේ පැහැදිලි කෙළේය.

පළමු වැනි පුද්ගලයාට බිම හිඳුවා වෙඩි තබන විට ඔහු ඉදිරියේ කලින් මරා දැමූවකුගේ සිරුර ඇත. එහි වම් පාදය ඇත්තේ පොළොවට සමාන්තරවය. වෙඩි තැබීමත් සමඟ ඉදිරියෙන් මැරී සිටින පුද්ගලයාගේ වම් පාදය ඉහළට එසවේ.

දෙවැනි වෙඩි තැබීමේදී බිම හිඳුවා මරා දැමෙන පුද්ගලයාගේ කකුලේ (කලවේ) මස් පිඩු අසාමාන්‍ය ලෙස දැඩිවී ඇත.

වෙඩි තැබීමෙන් ඔහු පසුපසට වැටෙන්නේ දෑතේ බාහුවලට බරදී හිස හෙමිහිට බිම පතිත වන ලෙසිනි. එමෙන්ම මෙවැනි සමීපයක සිට රූප රාමුවේ දැක්වෙන ලෙසින් යමෙකුට වෙඩි තබන ලද්දේ නම් වෙඩි තැබීමේ ප්‍රවේගය හා අවියේ තීව්‍රතාව අනුව නිසැකව ම වෙඩි වැදුණු අය ඉදිරියට පෙරළිය යුතු බව ද බණ්ඩාර මහතා පැහැදිලි කළේය.

වතුරට වැටෙන ලේ මුසු වී පැතිරී යන නමුත් මෙහි ලේ පැල්ලම් වතුරට මුසු නොවී තනිව පවතී.

මඩ ගොහොරු බිමක ඇදගෙන විත් මරා දැමූවකුගේ කමිසය මඩ පැල්ලම්වලින් තොරව අසාමාන්‍ය ලෙස සුදුපාටින් පවතී. මොවුන්ට වෙඩි තබන පළමු සොල්දාදුවා නිල ඇඳුමට යටින් සුදු පැහැති ටී ෂර්ට් එකක් හැඳ සිටින බව පෙනෙන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම නිලධාරියාගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා නිල ඇඳුම සමඟ කොළ පැහැති ටී- ෂර්ට් ඇඳීම සම්ප්‍රදාය බව ද බණ්ඩාර මහතා පැහැදිලි කළේය.

මෙම විග්‍රහ කිරීමෙන් අනතුරුව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයකු ඇමතූ ඇමැතිවරයා යම් පැහැදිලි කිරීම් හෝ ප්‍රශ්නයක් පවතී දැයි විමසූ නමුත් කිසිවෙක් හෝ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොකෙළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් විදේශ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පාලිත කොහොන හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජිව විජේසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

බ්‍රිතාන්‍ය චැනල් 4 සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීම ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (8) සිදු කෙරිණි. එහිදී ඇමැතිවරයා තානාපතිවරුන් හමුවේ කරුණු දැක්වූ අයුරු හා ඊට එක් වූ විදෙස් තානාපතිවරුන් ගෙන් පිරිසක් ද මෙහි වෙති. මේ අවස්ථාවට එක්වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන, නීතිපති මොහාන් පීරිස්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය – රංජිත් ජයවීර

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා