පනස් දහසක අල්ලසක් ඉල්ලු පොලිස් නිලධාරියා දැලේ

පනස් දහසක අල්ලසක් ඉල්ලු පොලිස් නිලධාරියා දැලේ

රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීහු ඊයේ (8) සමත් වූහ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම පොලිසියට අනුයුක්තව මිල්ලනිය පොලිස් මුරපොළේ සේවය කරන පොලිස් නිලධාරියකු බව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ සරත් සෝමසිරි ලොකුගේ මහතා සඳහන් කෙළේය.

මත්පැන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථයක් ඉතිරිපත් කොට නඩු කටයුත්තේදී බොරු සාක්කි දීමටත්, ත්‍රීරෝද රථය රාජසන්තක නොකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම අල්ලස ඉල්ලා තිබේ.

ත්‍රීරෝද රථය පිළිබඳව අධිකරණයට බොරු සාක්කි ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම පොලිස් නිලධාරියා මුලදී රුපියල් දහසක මුදලක් ලබාගෙන ඇත. ත්‍රීරෝද රථය රජසන්තක නොකිරීමට අධිකරණයේදී උදව් කිරීම සඳහා තවත් රුපියල් පනස් දහසක් ඉල්ලා තිබේ.

ඒ අනුව ඊයේ (08) බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණය අසලදී අදාළ පොලිස් නිලධාරියා ත්‍රිරෝද රථ හිමිකරුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (8) පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා