අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියත් රජයට පූර්ණ සහයෝගය දෙනවා

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියත් රජයට පූර්ණ සහයෝගය දෙනවා

ඇමැති තොණ්ඩමන්

වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියද ඉදිරියටත් රජයට පූර්ණ සහයෝගය ලබාදෙන බව තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා පැවැසීය.

වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියටත් කරගෙන ගිය ද කිසිදු වැඩ වර්ජනයක් සිදු නොකරන බවද හෙතෙම අවධාරණය කළේ ය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 500 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කරමින් වෘත්තීය සමිති කීපයක් පසුගියදා හාම් පුතුන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවක නිතර විය.

ලංකා කම්කරු කොංග්‍රසය , ලංකා ජාතික වතු කම්කරු සංගමය හා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය යන වෘත්තීය සමිති හාම්පුතුන්ගේ සංගමය සමග වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එකඟතාවයකින් තොරව සාකච්ඡා අවසන් වී තිබේ.

මෙම සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 500 ක් වෙනුවට පළමු වසර සඳහා රුපියල් 330 දක්වාත් දෙවැනි වසරේදී රුපියල් 360 දක්වාත් වැටුප් වැඩි කරන ලෙසයි.

නමුත් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ඉල්ලා ඇත්තේ එම වැටුප රුපියල් 500 දක්වා වැඩි කළ යුතු බවයි.

වෘත්තීය සමිති 70 ක් පමණ පෙනී සිටිමින් සහයෝගය ලබා දෙන බව පැවැසුවද කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වි සිටින්නේ ඉතා ස්වල්ප වෘත්තීය සමිති ප්‍රමාණයක් බව ඇමැතිවරයා කීවේ ය.

මේ සඳහා දේශපාලනය යොදා ගැනීමට සූදානම් නැති බවත් කම්කරුවන් වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දී කටයුතු කරන බවත් ආරුමුගම් තොන්ඩමන් මහතා කීය.

වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම් , ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ. වෙලායුදම් යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා