උතුරේ ජනතාවට නිදහසේ දකුණට පැමිණීමට අවසර

උතුරේ ජනතාවට නිදහසේ දකුණට පැමිණීමට අවසර

මෙතෙක් ක්‍රියාත්මක වූ බලපත්‍ර ක්‍රමය ජනපති නියමයෙන් අවලංගු කෙරේ

යාපනයේ ජනතාවට දකුණට පැමිණීමට තිබූ සියලු බාධක ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව යාපනයේ ජනතාවට යාපනයෙන් බැහැර වීමට මෙතෙක් අනිවාර්ය කැර තිබූ ආරක්ෂණ නිෂ්කාශන ලබා ගැනීම ඊයේ (18) සිට අවලංගු කැරිණි.

එමෙන්ම යාපනයේ සියලූම ලොරි හිමියන්ට සිය වාහන පූර්ව ලියාපදිංචියකින් තොරව භාණ්ඩ ප්‍රවාහනයේ යෙදවීමටත් ආරක්ෂක ලේකම්වරයාගේ් අනුමැතිය හිමි ව තිබේ.

යාපනයේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොරි 722ක් ලියාපදිංචි කැර තිබිණි. මේ අනුව ඊයේ (18) සිට ඕනෑම ලොරියකට භාණ්ඩ ප්‍රවාහනයට අවසර ලැබෙන අතර එම රථ නාවක්කුලි ආහාර ගබඩාව වෙත පැමිණ මාර්ග ධාවනයට සුදුසු බවට ආරක්ෂක අංශ සහතික කිරීමෙන් අනතුරුව ප්‍රවාහනයට අවසර ලැබේ.

දශක තුනකට පසු උදා වූ නිදහස භුක්ති විඳීමට යාපනයේ ජනතාවට ලැබුණු මේ සහනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තියේ සිවුවැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් ලැබුණ මහගු තිළිණයක් බව උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.

යාපනයෙන් බැහැර වීමේ දී පදිංචිය සනාථ කිරීමේ සහ බැහැර යාමේ හේතු සඳහන් ආරක්ෂක නිෂ්කාශණ සහතිකය අනිවාර්ය කිරීම නිසා ඒ ජනතාවට දකුණට නිදහසේ පැමිණීමේ ඉඩ ඇහිරී තිබිණි. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම්වරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර පෙරේදා (17) පවත්වා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා