බිරියගේ පෙම්වතාගේ දකුණු කකුල කපා දමලා

බිරියගේ පෙම්වතාගේ දකුණු කකුල කපා දමලා

තම බිරියගේ අනියම් පෙම්වතා පැහැරගෙන කැළෑවකට ඇදගෙන ගොස් ඔහුගේ දකුණු පාදය දෙකට කපා දැමූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උඩවලව පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

බරපතළ තුවාල ලැබූ තැනැත්තා ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තම බිරිය අනියම් ප්‍රේමයක පැටලී සිටීම නිසා ඇයගේ විවාහක සැමියා ඇයත් රැගෙන උඩවලව ප්‍රදේශයට පැමිණ ජීවත් වී තිබේ.

තවදුරටත් බිරියගේ ප්‍රේම පටලැවිල්ල ගැන සැක සිතූ සැකකාර සැමියා බිරිය මගින්ම ඇයගේ අනියම් පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

21 හැවිරිදි අනියම් පෙම්වතා හමුවීමට අවශ්‍ය බව ඇය දුරකථනයෙන් පැවසූ විට ඔහු එක පයින්ම ඊට කැමැත්ත පළකැර ඇත.

දුරකථන ඇමතුමෙන් කතාබහ කර ගත් ලෙස අනියම් පෙම්වතා උඩවලව ජලාශය අසලට පැමිණ තිබේ.

විවාහක සැමියා තම බිරියත්, තවත් තිදෙනකුත් සමඟ එතැනට ගොස් ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. ත්‍රීරෝද රථයකින් ඔහු තම බිරියගේ අනියම් පෙම්වතා පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇඹිලිපිටිය ආදලුව කැලයට එම තරුණයා රැගෙන ගොස් ඔහුට බරපතළ ලෙස පහර දී තිබේ. ආදලුව කැලය අසල පදිංචි ගම්වාසීන් පිරිසක් පසුව පහර කෑ තරුණයා රෝහල් ගත කැර ඇත.

උඩවලව පොලිසියේ ස්ථානාධිපති කරුණාරත්න ගමගේ මහතා සිද්ධිය දැනගැනීමෙන් පසු තරුණයාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි. ත්‍රීරෝද රථයේ රියදුරු සහ අනියම් පෙම්වතා සමඟ සබඳකම් පැවැත්වූ බව කියන කාන්තාව (සැකකරුගේ බිරිය) අත්අඩංගුවට ගෙන තිබේ. ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් එම තරුණයා ගෙන්වාගෙන පහරදීමට අනුබල දීමේ වරදට බව පොලිසිය කියයි.

පහරදීමට සම්බන්ධ තිදෙනෙකු ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

දැනට අත්අඩංගුවට ගෙන සිටින කාන්තාව සහ ත්‍රීරෝද රථ රියදුරු ඊයේ (18) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

උඩවලව පොලිසියේ ස්ථානාධිපති කරුණාරත්න ගමගේ මහතාගේ ;මහෙයවීමෙන් සැරයන් (32205), වික්‍රමපාල සහ (42604) රංජිත් යන මහත්වරුන් පරීක්‍ෂණ සිදුකරති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා