උතුරේ සංවර්ධන කටයුතුවලට නෝර්වේ රජයෙන් වාහන 14ක්

උතුරේ සංවර්ධන කටයුතුවලට නෝර්වේ රජයෙන් වාහන 14ක්

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම හා සංවර්ධන කටයුතු වෙනුවෙන් නෝර්වේජියානු රජය මගින් පරිත්‍යාග කළ වාහන 14ක් ශ්‍රී ලංකා රජයට බාරදීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) සිදුකැරිණි.

ත්‍රස්ත ගැටුම් පැවැති කාලයේදී සාම කටයුතු වෙනුවෙන් නෝර්වේ රජය පරිහරණය කළ මේ වාහන ශ්‍රී ලංකාවේ නෝර්වේජියා තානාපති ටෝර් හැටර්න් මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.

මේ වාහන ශශ්‍රී ලංකා රජයට ලබාදීම සම්බන්ධයෙන් නෝර්වේ රජයට තම ස්තූතිය පිරිනමන බවත්, මෙතෙක් කාලයක් අපේ රටේ පැවැති ත්‍රස්තවාදී අර්බුදය සම්පූර්ණයෙන් ම අවසන් කොට සාමය හා සමඟිය ස්ථාපිත කැර තිබෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

සාමය හා සමඟියේ ප්‍රතිඵලය රටේ සෑම පුරවැසියකුටම ලබාදීමේ අරමුණින් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම රජය මගින් කඩිනමින් සිදුකරගෙන යන බව සිහිපත් කළ රාජපක්‍ෂ මහතා නෝර්වේජියානු රජය කළ පරිත්‍යාගය අවතැන් වූ පුද්ගලයන් කඩිනමින් පදිංචි කරවීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් බව ද සඳහන් කෙළේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීමේ කටයුතු සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව තමා බෙහෙවින් ම සතුටට පත්වන බව මේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකාවේ නෝර්වේජියා තානාපති ටෝර් හැටර්න් මහතා අවධාරණය කෙළේය.

ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. කේ. කේ. කුමාරසිරි, ශශ්‍රී ලංකාවේ නෝර්වේජියා තානාපති කාර්යාලයේ ලේකම් බර්ඩ් කොතෙයිම් මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා