ජල ගැලීම්වලින් දිස්ත්‍රික්ක 5ක 32,000ක් අවතැන් වෙති

ජල ගැලීම්වලින් දිස්ත්‍රික්ක 5ක 32,000ක් අවතැන් වෙති

වාද්දුවේ පුද්ගලයෙක් මරුමුවට

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් කොළඹ, ගම්පහ, මහනුවර , කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල පුද්ගලයන් 32000ක් පමණ අවතැන්ව ඇති අතර එක් අයකු මියගොස් ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

වාද්දුව ප්‍රදේශයේ සිහි මද ගතියෙන් සිටි වයස්ගත පුද්ගලයකු වැසි ජලය පිරුණු කානුවකට වැටීමෙන් මෙසේ මියගොස් ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.

ජල ගැලීමෙන් වැඩිම පිරිසක් අවතැන් වී සිටින්නේ කොළඹ නගරය ආශ්‍රිතව බව ද මෙහිදී 21,000ක් පමණ ජල ගැලීමෙන් පීඩා විඳින බව ද, එම මධ්‍යස්ථානය කියයි. ජල ගැලීමෙන් පීඩා විඳින ජනතාවට පිසූ ආහාර කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙළක් රජය අරඹා ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඇතැම් ප්‍රදේශයන්හි උදෑසන පැවැති වැසි ජල තර්ජනය මේ වන විට පහව යමින් තිබෙන බවද එම මධ්‍යස්ථානය කියයි.

මහනුවර මහයියාව ප්‍රදේශයේ නිවාස හතරක් හා බේරුවල නිවාස දෙකක් පස් කඳු කඩා වැටීමෙන් විනාශ වී ඇති බව කියන ආපදා සහන සේවා මධ්‍යස්ථාන එම නිවැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා යවා ඇති බව ද ප්‍රකාශ කරයි.

ජල ගැලීම් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පවුල් හාරදහසක් ද, කළුතර පවුල් හාරදහසක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් හාරදහසක් ද අවතැන් ව සිටින බව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සරත් පෙරේරා මහතා කියයි. ගාලු පාර ආශ්‍රිත පානදුර රාජකීය විදුහලට හා පානදුර රෝහල භූමියට ජල ගැලීම් බලපා ඇති බවද, හෙතෙම කීය.

ඛෙත්තාරාම, හුණුපිටිය, මෝදර, බ්ලූමැන්ඩල්, පංචිකාවත්ත, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශ ගණනාවක ජනතාව ජල ගැලීමෙන් පීඩා විඳින බව ද, වල්තල ප්‍රදේශයේ බෝපිටිය, කෙරවලපිටිය, වැලිකඩමුල්ල ආදී ප්‍රදේශ ගණනාවකට ජල ගැලීම බලපා ඇති බව ද පෙරේරා මහතා කීවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා