විදේශීය බලපෑම්වලට යටත් නොවූ නායකයකු හැටියට මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වෙනවා

විදේශීය බලපෑම්වලට යටත් නොවූ නායකයකු හැටියට මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වෙනවා

ජනපති ජන්ම දිනය වෙනුවෙන් ලේක්හවුසිය සංවිධානය කළ
දානමය පින්කමට සහභාගි වෙමින් මුරුංගස්යායේ ඤාණිස්සර හිමියෝ කියති

දශක තුනක් තිස්සේ රට මුහුණ දුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මෙහෙවර උදෙසා විදේශ බලපෑම්වලට යට නොවී අභීත නායකත්වයක් දුන් එකම රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාස ගත වන බව ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා ජේතවනාරාම විහාරාධිපති මුරුංගස්යායේ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ.

වර්තමාන ජනාධිපතිතුමන් මෙරටට එදා නිදහස දිනා දුන් දුටුගැමුණු රජතුමා මෙන් ශ්‍රේෂ්ඨ නායකයකු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙරට පාලනය කළ ජේ. ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි ජනාධිපතිවරුන් විදේශ බලපෑම්වලට යටත්ව ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන අත්හළ බව පෙන්වා දුන් උන් වහන්සේ එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිවකින් නොසැලී අවසානය තෙක් ඒ සටන අඛණ්ඩව ගෙන ගිය බවත් පැවැසූහ.

උන්වහන්සේ මේ අදහස් පළ කෙළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් බෞද්ධ සංගමයත් එක්ව සංවිධානය කළ දානමය පුණ්‍යකර්මයට ඊයේ (18) සහභාගී වෙමිනි. සියක් නමක් මහ සඟරුවන ලේක්හවුස් ආයතනයට පිණ්ඩපාතය සඳහා වැඩමකොට ඉන් අනතුරුව කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී මේ පින්කම පැවැත්විණි. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.

මෙවැනි පින්කමක් සංවිධානය කළ ලේක්හවුස් ආයතනයට පළමුව ප්‍රශංසා කළ යුතුයි.

ලේක්හවුස් ආයතනය හා සම්බුද්ධාලෝක විහාරය එදා කුරිරු යුද්ධයෙන් බැට කෑ ප්‍රධාන ආයතන දෙකක්. සම්බුද්ධාලෝක විහාරාධිපතිව සිටි විතාරන්දෙනියේ චන්ද්‍රජෝති නායක හිමි අපවත් වුණෙත් ත්‍රස්තවාදී ප්‍රහාරයකින්. එදා රැකියාවට ආ ස්වාමියා ගෙදරට පැමිණෙනතෙක් බිරිය සිටියේ බියෙන්, වැඩට ආ බිරිය එනතෙක් සැමියා සිටියේ බියෙන්. පාසලට ආ දරුවා යලි නිවසට එනතෙක් හිටියේ අවිස්වාසයෙනි. එදා රට පුරා දවසින් දවස බෝම්බ පිපුරුණා. මේ නිසා මරණ බිය කා අතරත් තිබුණා.

විදේශවල සිට පැමිණෙන විට අපද එදා මේ රටට ආවේ සැකෙන් බියෙන්. ඒත් අද ඊට හාත්පසින් වෙනස් පරිසරයක් උදාවී තියෙනවා.

ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරා ගැනීමේ පී‍්‍රතියෙන් එදා මුළු රටම කිරිබත් කාලා රතිඤ්ඤා පත්තුකළා. ඒ තරමට ජනතාව සතුට බුක්තිවින්දා. ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදාගැනීමේ සටනේදී අපේ සිංහල තරුණයින් යුද වැදුනේ සිය කැමැත්තෙන්. එදා ඔවුන් සටන් කෙළේ ජීවිත පරිත්‍යාගයට සූදානම් වෙලයි.

අද වැඩ කළත් නොකලත් බැණුම්වලින් අඩුවක් නැහැ. වැඩියෙන් බනින්නේ වැඩකරන අයටයි. මොන බැනුම් ඇහුවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ හැම විටකම සිනහමුසු මුවින් ඉදිරියට යනවා. එතුමාගේ නායකත්වයෙන් ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගත්තා.

දැන් කුමන විවේචන ආවත් එතුමා සාර්ථක ගමනක නියැලී සිටිනවා. රට සංවර්ධනය කරන මාවතේ දිගටම ගමන් අරඹා තියෙනවා. මේ නිසා එතුමාට දෙවියන්ගේ ආශිර්වාද තියෙනවා. එසේම නිදුක් නිරෝගී භාවයෙන් මේ රට තව තවත් සංවර්ධනය කරා ගෙන යෑමට එතුමාට ශක්තිය ලැබේවා’යි ප්‍රාර්ථනා කරනවා. එසේම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් ඇතුළු යුද්ධය හේතුවෙන් මියගිය අයට මේ පින් අත්වේවා යැයි ද වැඩිදුරටත් පවසා සිටියහ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති හා කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමියෝ

වසර තිහකට ආසන්න කාලයක් බියෙන් හා පීඩිතව ජීවත්වූ ජනතාවකට නිදහසේ ජීවත්වීමේ පරිසරය සකස්කරන ලද ජන නායකයාගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීම අප හැමගේම යුතුකමක්. පසුගිය කාල පරිච්ඡේදය පුරාවට නිවසෙන් බැහැරව යන කිසිදු අයෙකු නැවත එනතුරු ජීවිත විශ්වාසයක් තිබුණේ් නැහැ. බියෙන් සැකයෙන් ජීවත්වුණු සියලු රටවැසියන්ට නිදහස ලබාදුන් ජනනායකයා ආරක්‍ෂා කිරීම කෘතගුණ දන්නා සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක් වෙනවා.

ලංකාවේ සී/ස ලේක්හවුස් ආයතනයේ සභාපති බන්ධුල පද්මකුමාර මහතා ද ඇතුළු බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා