ලේක්හවුසිය මඟී ප්‍රවාහන සේවයක් ඇරැඹීමෙන් තමන්ට පැවැරුණු සමාජ වගකීම ඉටුකර තිබෙනවා

ලේක්හවුසිය මඟී ප්‍රවාහන සේවයක් ඇරැඹීමෙන් තමන්ට පැවැරුණු සමාජ වගකීම ඉටුකර තිබෙනවා

කොළඹ - කතරගම ‘දිනමිණ’ ශීඝ්‍රගාමී බස් සේවය අරඹමින්
ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා කියයි

පුවත් පත් කලාවේ මහ ගෙදර යැයි විරුදාවලී ලත් ලේක් හවුස් ආයතනය පුවත් පත් පළ කිරීමට අමතරව මගී ප්‍රවාහන සේවය නැවත ඇරැඹීමෙන් තමන්ට හිමි සමාජ වගකීමක් ඉටුකර තිබෙන බව ජනමාධ්‍ය හා තොරතුරු, ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

වසර තිහක ත්‍රස්තවාදය නිමා කොට රටට සාමය උදා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තියේ සිවු වසර සැමරෙන දිනයේ එම කර්තව්‍යය ඇරඹීමෙන් ඒ සමාජ වගකීමේ අගය තවත් වැඩි වී තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ය. ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ලංකාවේ සී/ස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතරගම - කොළඹ දිනමිණ ශීඝ්‍රගාමී බස් සේවය නැවත ඇරඹීම නිමිත්තෙන් සමාගම් පරිශ්‍රයේ ඊයේ (18) පැවැති උත්සවයේ දි ය.

එක් දහස් නවසිය තිහේ දශකයේ දි මහජන සුබසෙත උදෙසා ඇරැඹි දිනමිණ ශීඝ්‍රගාමී බස් සේවය අයහපත් අනාරක්ෂිත වාතාවරණය නිසා නවතා දමා තිබූ අතර ත්‍රස්තවාදය නිමා කර රටට සාමය උදා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සහ සිවු වැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නැවත එය ආරම්භ කෙරිණි. රජය සතු ප්‍රධාන පෙළේ සමාගමක් වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට ලේක්හවුස් ආයතනය හිමිකම් කියන බව පැවැසූ ඇමැතිවරයා ඒ කීර්තිමත් ඉතිහාසයත් අනාගතයට මුසු කර ගෙන ඉදිරියට යා යුතු බවද පැවැසීය.

ඇමැතිවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.

මේ ආයතනයේ තිබූ සේවාවක් නැවැත ඇරැඹීම පිළිබඳව අපි ඉතාම සතුටට පත් වෙනවා. ලේක් හවුස් ආයතනය රජය සතු ප්‍රධාන සමාගමක්. රුපියල් බිලියන තුනක වාර්ෂික පිරිවැටුමක් ලබන ආයතනයක්. රටට දැනුම බෙදන ලේක් හවුස් ආයතනය පුවත්පත් කලාවේ මහ ගෙදරයි.

තාමත් ගම්වල ඉන්නවා දිනමිණ පුවත් පත නැතිනම් නින්ද නොයන මිනිසුන්. සිළුමිණ කියන්නේ පත්තරයක් නොව දැනුම් සඟරාවක්. ඩේලි නිවුස් ඉංග්‍රීසි ඉගෙන ගන්න අත්වැලක් සපයනවා.

අද ඒවා වෙනස් වුණත් නවීන තාක්ෂණයත් ඉතිහාසයත් එක් කර ගෙන ඉදිරියට යා යුතුය. අද විශේෂ දවසක්. ජනාධිපතිතුමාගේ ජන්ම දිනයත් පදවි ප්‍රාප්තියේ සිවු වැනි සමරුවත් අදට යෙදී තිබෙනවා. එතුමා බලයට පත් වෙන කොට මේ රටේ තිබූ තත්ත්වය තමුන්නාන්සේලා හොඳින් දන්නවා.

එතුමා පොරොන්දු වූ පරිදිම ත්‍රස්තවාදය වසර තුනක් වැනි කෙටි කලක් තුළ නිමා කළා. එතුමා ජනතාවට නිදහස දිනාදුන්නේ තමන්ගේ නිදහස සීමා කර ගෙනයි. බොහෝ රාජ්‍ය නායකයන් මේකට උත්සාහ කළත් කාටවත් බැරි වුණා මේක කරන්න. දැන් මේ විජයග්‍රහණයට කේන්දර ලියන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයත් කේන්දරේ එක එක කොටස් අයිති කර ගත්තාවේ. එහෙත් දේශපාලන නායකත්වයක් නැතිව මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්නට බැහැ.

එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයා ප්‍රභාකරන්ව වඩමාරච්චියට කොටු කළා. එහෙත් ජාත්‍යන්තර බලපෑම් නිසා එතුමාටත් හමුදා නායකයන්ටත් ආපසු හැරෙන්න සිදු වුණා. අපේ රටේ තිබුණේ ජාත්‍යන්තරයට බද්ධ වූ ත්‍රස්තවාදයක්. ඒ නිසයි දේශපාලන නායකත්වය වඩා වැදගත් වුණේ. ජනාධිපතිතුමා ඒ දේශපාලන නායකත්වය හොඳින් ලබා දුන්නා. සන්නද්ධ හමුදාවට සියලු දේ ලෝබ නැතිව දීලා ඔවුන්ට ගෞරවයක් ලබා දුන්නා.

සමහරු කියනවා මාධ්‍ය නිදහස නෑ කියලා. ඒ කියන අයගේ කාලේදී තමයි පත්තර වැහුණේ. ජනාධිපතිතුමා කවදාවත් ජනමාධ්‍ය නිදහසට හානි කරලා නැහැ. ඇමැතිවරයා වශයෙන් මම දන්නවා පත්තර, රූපවාහිනී, ගුවන්විදුලි ආයතන කීයක් මේ කාලයේ පටන් ගත්තද කියලා. මාධ්‍ය නිදහස පුළුල් කෙළේ අපේ කාලෙදියි. මේවා හුඟ දෙනෙකුට අමතකයි. නිදහස භුක්ති විඳින්නට හැකි වුණේ ජනාධිපතිතුමා නිසයි.

එතුමාගේ කාලයේ කවදාටත් වඩා අපේ ජාත්‍යන්තර සබඳතා තහවුරු වුණා. නොයෙක් රටවලින් සම්ප්‍රදායික වගේම සම්ප්‍රදායික නොවන රටවලින් අපට උදව් ලැබුණා. ත්‍රස්තවාදය අවසන් කොට රට ඉදිරියට ගෙන යාමට එතුමා දැන් නායකත්වය දෙනවා. ඉදිරියේදී මේ ආයතනය යාපනය දක්වා මගී ප්‍රවාහන සේවා අරඹන්න යන බව දැන ගන්නට ලැබුණා. ඒ පිළිබඳව මම සතුටු වෙනවා.

ආයතනයේ දියුණුවට සේවක සහය අත්‍යවශ්‍යයි. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය අපි ලබා දෙනවා. ත්‍රස්තවාදය නිමා කළ පසු සංවර්ධනයේ මාවත කරා රට යොමු කරමින් තිබෙනවා. අපේ දරුවන් අද පා තබන්නේ නිදහස් සමාජයකටයි. කවුරු මොනවා කිව්වත් එහි ගෞරවය ජනාධිපතිතුමාට ලැබිය යුතුයි.

මගී ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා - අද ලේක්හවුස් ආයතනය ඉටු කරන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉටුවිය යුතු වගකීමක්. අගනුවර හා දකුණ යා කෙරෙන මේ බස් සේවය ඇරැඹෙන්නේ ඉතාම වැදගත් දිනයකයි. ජනාධිපතිතුමාගේ ජන්ම දිනය මෙන්ම පදවි ප්‍රාප්තිය යෙදෙන්නේත් අදටයි.

අපේ රටේ ප්‍රවාහන සේවයට බස් රථ මදිකමක් නැහැ. පෞද්ගලික බස් රථ 19,000ක් අපට තිබෙනවා. ලංගම බස් රථ 5000ක් තිබෙනවා. ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා අමාත්‍යාංශය භාරගත් දිනයේ සිට අද දක්වා අලුතෙන් දීලා තිබෙන්නේ ප්‍රවාහන බලපත්‍ර 6යි. ඒ හයම දුන්නේ යාපනය කොළඹ බස් රථවලටයි. අපට තිබෙන ගැටලුව වන්නේ බස් රථ නොමැතිකම නොව මේ බස් රථවලින් ගුණාත්මක සේවාවක් ලබාදීමයි.

ලේක්හවුස් ආයතනය වැනි හොඳ කළමනාකාරීත්වයක් තිබෙන ආයතන ප්‍රවාහන සේවයට සම්බන්ධ වීම ඉතා කාලෝචිතයි. නුවර, යාපනය, අනුරාධපුරය දක්වා බස් රථ ඇරඹෙන බව අසන්නට ලැබුණා.

ඉස්සර ඉඳලම මේ ආයතනයේ බස් රථවලට ආසන වෙන් කිරීමේ පහසුකම් තිබුණා. ඒ සඳහා නව තාක්ෂණය “ඊ බුකින්” යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. හුදෙක් එක බස් රථයකට සීමා නොවී අප ඉදිරියේ තිබෙන අභියෝගය වන ගුණාත්මක බස් සේවයක් මගීනට ලබාදීමට කැප වන ලෙස ඉල්ලා සිටිනවා.

බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැති උපාලි කොඩිකාර මහතා - අප රට නිදහස ලබා ගෙවුණු වසර 62 න් වසර තිහක්ම ත්‍රස්තවාදය සමඟයි ජීවත් වුණේ. ඒ රට නිදහස් කර ගත්තේ ජනාධිපතිතුමායි. බස්නාහිර පළාතේ බස් රථ 6750ක් තිබෙනවා. තිස් අට ලක්ෂයක මගී ජනතාවක් මේවායින් ප්‍රවාහනය කෙරෙනවා. දුර ගමන් සේවා බස් රථ 1600ක් තිබෙනවා. අපි පිටකොටුවේ බස් නැවතුම්පළ නවීකරණය කළා. සියලු දෙනා එක් වී පක්ෂ පාට භේද අතහැර රට ගොඩ නැගිය යුතුය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් කළමනාකරු උපුල් දිසානායක මහතා - පසුගිය කාලයේ දී ආරක්ෂක හේතූ®න් මත මේ බස් සේවාව නවතා දැමුණා. මහජන සුබසෙත උදෙසා ඒ සේවාව නැවත ඇරැඹීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමා කීප වරක්ම ප්‍රකාශ කළා. මේ සේවාව නැවත ඇරඹිය යුතු බව. වෘත්තීය සමිති කීප විටක් ම මේ පිළිබඳ සිහිපත් කළා. මේ කාර්යයට උර දුන් සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා.

ලේක්හවුස් ප්‍රවාහන කළමනාකාර සුනිල් සෙන්දනායක මහතා පිළිගැනීමේ කථාව කෙළේ ය. තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්ම කුමාර, පරිපාලන හා නීති අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නිහාල් රත්නායක මහත්වරු ද ප්‍රධාන කර්තෘවරු හා නිලධාරිහුද මේ අවස්ථාවට එක් වූහ

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා