නිවුන් දරුවන් පිරිවරා ජනපති ජන්ම දිනය සමරයි

නිවුන් දරුවන් පිරිවරා ජනපති ජන්ම දිනය සමරයි

තුන් නිවුන්, සිවු නිවුන්, පස් නිවුන් දරුවන් 64 දෙනකු සමඟ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) සිය 64 වැනි ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තියේ සිවුවැනි වසර සැමරුවේ ය.

නිවුන් දරුවන් සමඟ එක්ව ජනාධිපතිවරයා මෙහිදී කේක් ගෙඩියක් කැපූ අතර, දරුවන්වෙතින් ‘ආයුබෝවේවා මහ රජාණෙනි, ඔබට සුබ උපන් දිනයක්’ වශයෙන් සුබ පැතුම් ද ලැබී ය. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී ඊයේ (18) මේ උත්සවය පැවැති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී දරුවන් සමඟ සතුටු සාමිචියේ යෙදිණි.

ජනාධිපතිවරයාගේ සුරතින් එහිදී නිවුන් දරුවන්ට මුදලින් රුපියල් 5000ක චෙක්පත් සහ තිළිණ ප්‍රදානය කිරීම ද සිදුවිය. ඊට අමතරව පාසල් දරුවන් 151 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි පිරිනැමීම ද සිදු කළ අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා පාසල් දරුවන් කිහිප දෙනකුට ඇස් කණ්ණාඩි පැළඳවීම ද සිදු කෙළේ ය.

මේ උළෙලට සහභාගි වෙමින් සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, මීට අවුරුදු 64කට පෙර ජන්ම ලාභය ලැබූ මහින්ද රාජපක්ෂ නම් වූ කුඩා දරුවා දැන් මේ රටේ ප්‍රතාපවත් නායකයා බවට පත්වී සිටිනවා. ඒ නායකත්වයට අප හැමෝගේම ආශිර්වාදය ඉතසිතින්ම ලබාදෙනවා. ඔහු මේ රටේ නොඉපදුණේ නම් මේ රටට සිදුවන ව්‍යසනය පිළිබඳව අපට හිතාගන්නවත් බැහැ. ඔහු අපේ රටට ජාතියට සෞභාග්‍යය ගෙනාවා. රටේ දරුවන්ට සුබ අනාගතයක් සඳහා පියවර තැබීමට මඟ පෑදුවා.

නිදහස් සෞඛ්‍යයක්, අධ්‍යාපනයක් ලබාදීමට ජනාධිපතිවරයා හැම මොහොතකම වෙහෙසෙනවා.

ඒ වෙහෙසීමේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අනාගතයේ දී අපේ දරුවන්ට භුක්ති විඳිය හැකියි. මේ නායකයා වෙනුවෙන් අපට කළ හැකි උපහාරය වන්නේ අපේ පිරිසුදු සිත්වලින් ඔහුට දීර්ඝායුෂ සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනය කිරීමයි.

ජනාධිපතිවරයාගේ ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මේ ස්ථානයේදී අක්ෂි, දන්ත, චර්ම සායනයන් සහ දියවැඩියා, හෘදරෝග, රුධිර පීඩන , කොලෙස්ටරෝල් ආදී පරීක්ෂාවන් ද මෙහිදී නොමිලේ සිදු කැරිණ.

මේ අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරු ද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා