මහේලගෙන් ද්විත්ව ශතකයක්

මහේලගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාව සම කිරීමට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ සමත්විය.

ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් තරගමාලාවේ අහමදාබාද් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඊයේ තෙවැනි දිනය නිමා වනවිට විශිෂ්ට පිති හරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 204ක් රැස් කරගත්තේය. මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණය වාර්තාවට හිමිකම් කියන්නේ ද්විත්ව ශතක 6 බැගින් රැස් කළ හිටපු නායකයකු වන මාවන් අතපත්තු සහ වත්මන් නායක කුමාර සංගක්කාර ය. මහේල සිය 6 වැනි ද්විත්ව ශතකය වාර්තා කරමින් මේ සමාජයට ඊයේ එක්විය.

ජාත්‍යන්තර ටෙස්ට් පිටිය වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් රැස් කිරීමේ වාර්තාව තබා ඇත්තේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ඕස්ට්‍රේලියාවේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔහු ද්විත්ව ශතක 12 ක් රැස් කර ගෙන තිබේ.

කොදෙව් කණ්ඩායමේ හිටපු නායක බ්‍රයන් ලාරා ද්විත්ව ශතක 9ක් රැස් කරමින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තයේ වොලී හැමන්ඩ් ද්විත්ව ශතක 7 ක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයේ පසුවෙයි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා