තමා මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නැයි කේ. තිරුච්චෙල්වම්ගෙන් ඡන්ද පෙත්සමක්

තමා මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නැයි කේ. තිරුච්චෙල්වම්ගෙන් ඡන්ද පෙත්සමක්

මෙවර පැවති මහ මැතිවරණයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා ඉලංගෙයි ටැමිල් අරසුකච්චු පක්ෂයෙන් තමන් තේරී පත්වූ බවට ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලමින් කේ. තිරුච්චෙල්වම් මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (11) ඡන්ද පෙත්සමක් ගොනු කෙළේය.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක, ත්‍රිකුණාමලය තේරීම් භාර නිලධාරි ටී. එච්. ආර්. ද සිල්වා මහත්වරුන් ඇතුළුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග කළ සියලුම අපේක්ෂකයින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සමේ මෙසේ සඳහන් වේ.

මහ මැතිවරණයේදී කුඹුරුවිට්ටි ප්‍රදේශයේ ඡන්දය වලංගු නොවන බවට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශයට පත්කළ අතර අප්‍රේල් 20 දා නැවත ඡන්දය පැවතිණි.

ඡන්දයට පෙර එ.ජ.නි.ස.යේ අපේක්ෂක සුසන්ත පුංචිනිලමේ සහ ජූඩ් දේවදාසන් මහත්වරුන්ගේ ආධාරකරුවන් අයි.ටී.ඒ.කේ. පක්ෂයේ ආධාරකරුවන්ට මුදල් දී ඔවුනගේ ඡන්ද කාඩ්පත් ලබාගත් බවත් පුංචිනිලමේ මහතාගේ ආධාරකරුවන් රු: දෙදහසක්ද, දේවදාසන් මහතාගේ ආධාරකරුවන් රු: දහසක්ද ඡන්ද කාඩ් පතක් වෙනුවෙන් ලබාදී ඇතැයි පෙත්සමේ සඳහන් වේ. ඡන්දයට පෙර දිනයේදී කිලිවෙට්ටි, මනට්චෙන්නයි සහ පට්ටිතිඩාල් හි අවතැන් කඳවුරුවල පදිංචි අයගේ ඡන්ද කාඩ් සහ හැඳුනුම්පත් බලෙන් පැහැරගෙන ඡන්දයට පසුදින හැඳුනුම්පත් ආපසු ඔවුන්ට ලබාදී ඇතැයි පෙත්සම සඳහන් කරයි.

අප්‍රේල් 05 දා අයි.ටී.ඒ.කේ. රැස්වීමක් පැවති පසු පුංචිනිලමේ මහතාගේ ආධාරකරුවන් රැස්වීමේ සංවිධායක වරයාට තර්ජනය කර පහර දී ඇතැයි ද මහ මැතිවරණයේදී කුඹුරුපිට්ටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කිරීමට හේතු වූයේ මෙවැනි නීති විරෝධී කටයුතු නිසා යැයි පෙත්සම්කරු පවසයි.

සුසන්ත පුංචිනිලමේ මහතාගේ පත්වීම වලංගු නොවන බවට ප්‍රකාශයට පත් කර තමන් නිසි ලෙස තේරී පත්වූ බව ප්‍රකාශයට පත්කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා