ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාම 20%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාම 20%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ අපනයන සියයට 20 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ දී මේ තත්ත්වය වාර්තා කැර තිබෙන අතර කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගේ වර්ධනය මෙහිදී කැපී පෙනෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී. රණසිංහ මහතා “දිනමිණ” ට පැවැසීය.

කෘෂිකාර්මික අපනයනයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් තේ අපනයනය සියයට 20.1 කින්ද රබර් අපනයනය සියයට 44.1 කින්ද ඉහළ ගොස් තිබෙන අතර එය ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට බෙහෙවින්ම උපකාර වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

තවද තේ හා රබර් මිල ගණන් ඉහළ යාමෙන් අපනයන ආදායම ද ඉහළ ගොස් තිබෙන අතර මීට අමතරව පළතුරු, කෝපි, කොකෝවා නිෂ්පාදන, එළවළු, පුවක්, කජු වැනි සුළු අපනයන භෝගයන්ගේ අපනයන ආදායමද ඉහළ ගොස් ඇතැයි ද සඳහන් වේ.

මේ අතර විදේශ වෙළෙඳ පොළවල් කරා රැගෙන යන ශ්‍රී ලංකාවේ කුරුඳු හා කරාබු නැටිවල මිල ගණන්ද ඉහළ යාමෙන් ශශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා