ෂෙල් සමාගමේ වැඩි කොටස් රජයට

ෂෙල් සමාගමේ වැඩි කොටස් රජයට

ෂෙල් ගෑස් ලංකා සමාගම සතු කොටස්වලින් සියයට 51ක් යළි අත්පත් කැර ගැනීමට රජය තීරණය කැර ඇත. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව සිටින රජය, මෙයට ඉහතදී එසේ පෞද්ගලීකරණය කැර තිබූ දේපළ යළි අත්පත් කැර ගැනීමට ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණය මත මේ තීරණයට එළැඹි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.ඇමැතිවරයා මෙසේ පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

සීමා සහිත ෂෙල්ගෑස් ඉන්ටර්නැෂනල් පෙට්‍රෝලියම් සමාගම ලෝකය පුරා ව්‍යාපාරික ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාවේ එල්.පී.ගෑස් ව්‍යාපාරික කටයුතුවලින් බැහැර වීමට අදහස් කැර ඇති බව රජයට දැනුම් දී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

ෂෙල් ගෑස් ලංකා සමාගමේ කොටස්වලින් සියයට 51ක් ෂෙල් සමාගම සතුව තිබිණි. එම කොටස් ප්‍රමාණය අත්පත් කැර ගැනීම සඳහා සාකච්ඡා ඇරැඹීමට රජය කැමැත්තෙන් සිටින බව ෂෙල් ඉන්ටර්නැෂනල් සමාගමට දන්වා සිටීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ කාර්යයේදී මුල්‍ය උපදේශක ලෙස ලංකා බැංකුව පත් කැර ඇති බවත්, ඊට අමතරව මේ කාර්යය සඳහා අමාත්‍යාංශ 5ක ලේකම්වරුන්ගෙන් සමන්විත සාකච්ඡා කමිටුවක් පත් කිරීමට ද අනුමැතිය ලැබී තිබෙන බවත් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් අනාවරණය කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා