එල්.ටී.ටී.ඊ. ‘ඡායා රාජ්‍ය’ සැලැස්ම පරාජය කිරීමට ජගත් ප්‍රජාව පෙළ ගැසිය යුතුයි

එල්.ටී.ටී.ඊ. ‘ඡායා රාජ්‍ය’ සැලැස්ම පරාජය කිරීමට ජගත් ප්‍රජාව පෙළ ගැසිය යුතුයි

- අගමැති

ශ්‍රී ලංකාවට එරෙහිව විදේශයන්හි එල්. ටී. ටී. ඊ “ කල්පිත ඡායා “ රාජ්‍ය බිහිකිරීමේ සැලැස්ම පරාජය කිරීමට ජගත් ප්‍රජාව පෙළගැස්විය යුතු බව අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පැවසීය.

යුද්ධය අවසන් වීමත් සමඟ රටේ සියලුම ජාතීන් අතර ඇති වී තිබෙන මිත්‍රත්වය තුළින් අරඹා ඇති වේගවත් සංවර්ධන ගමන පිළිබඳවද ජාත්‍යන්තරයේ අවධානය යොමු කළ යුතු බව ද අගමැතිවරයා කීවේය. අගමැති දි. මු. ජයරත්න මහතා ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පෙරේදා (16දා) හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

ඇතැම් විදේශීය රාජ්‍යයන් තුළ එල්. ටී. ටී. ඊ ‘ කල්පිත ඡායා ‘ රාජ්‍ය බිහිකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවට වාර්තා ලැබී ඇති බවත්, කොටි හිතවාදී ‘ කල්පිත ඡායා’ රාජ්‍යයට එරෙහිව එම රජයන් විසින් දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවත්, අගමැතිවරයා මෙහිදී අවධාරණය කෙළේය.

වෙනත් රාජ්‍යයකට එරෙහිව ශ්‍රී ලංකාව තුළ කිසිඳු කණ්ඩායමකට පෙළගැස්වීමකට ඉඩක් සලසා නොමැති බවද අගමැතිවරයා කීය. මේ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව කිසියම් රාජ්‍යයක් තුළ සංවිධානය වීමක් පවතින්නේ නම්, එය මැඩ පැවැත්වීම අදාළ රාජ්‍යයේ වගකීමක් වන බවද , අගමැතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ උතුරේ හා දකුණේ සංවර්ධන සඳහා කඩිනම් වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇති අතර, ඒ පිළිබඳව රටේ සියලු ජාතීන් අතර විශ්වාසයත්, ප්‍රසාදයත් ගොඩනැඟී ඇත්තේ යැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.


මෙම වසර අවසාන වීමට පෙර මුදාගත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට නිවාස සාදා දී පදිංචි කරවීමට අදාළ වැඩසටහන් දැනටමත් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ලබන මස 11, 12 දිනයන්හි වවුනියාව, කිළිනොච්චිය ප්‍රදේශවල සංචාරය කරමින් ඒ ප්‍රදේශවල සියලු ආගමික පූජකවරුන් හමු වී ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නේ යැයි ද අගමැතිවරයා යසුෂි අකාශි මහතාට මෙහිදී දන්වා සිටියේය.

එල්. ටී. ටී. ඊ. කල්පිත ඡායා රාජ්‍යයක් බිහිවීමට ජාත්‍යන්තර වශයෙන් කිසියම් රාජ්‍යයක පසුබිමක් සැකැසී ඇත්නම් ඊට ඉඩ නොදෙන්නේ යැයි ද, ඒ පිළිබඳව ජපානය විශේෂ අවධානයෙන් සිටින්නේ යැයිද, ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

යුද්ධය නිමාවීමෙන් පසුව ශ්‍රී ලංකාව අලුත් සංවර්ධන මාවතකට පිවිස සිටීම පිළිබඳව ජපානය සතුටට පත්වන බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ජපාන සහාය නොමඳව ලබාදෙන බවත් අකාශි මහතා කීය.

කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක යෙදෙමින් ප්‍රදේශයේ ජනතාවට කෘෂි උපකරණ සහ බීජ ලබාදීම යසුෂි අකාශි මහතා විසින් (17දා) සිදු කරන ලදී. අගමැති ලේකම් එස්. අමරසේකර, ශ්‍රී ලංකා ජපාන තානාපති තැනියෝ තකාශි, ජපාන තානාපති පළමු ලේකම් ටකාශි ඔෂුකි, අගමැති සම්බන්ධීකරණ ලේකම්වරුන් වන කීර්ති ශ්‍රී වීරසිංහ , ධර්මරත්න හේරත් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා