ෆොන්සේකාගේ අභියාචනා පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

යුද අධිකරණය අහෝසි කිරීම ගැන

ෆොන්සේකාගේ අභියාචනා පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

පළමු යුද අධිකරණය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගය ඉවත් කිරීමට එරෙහිව විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීරණය කළේය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විරෝධතා පිළිගනිමින් විනිසුරු මඩුල්ල මේ තීරණය ගෙන තිබිණ.

තවද පෙත්සම්කරු මේ විශේෂ පෙත්සම නිසි පරිදි ඉදිරිපත් නොකිරීම ද එය නිෂ්ප්‍රභ වීමට හේතු වනු ඇතැයි විනිසුරු මඩුල්ල මෙහිදී පැවැසූහ. අභියාචනා පෙත්සමක දී ඇතුළත් විය යුතු කරුණු මේ විශේෂ අභියාචනා පෙත්සමේ ඇතුළත් කර තිබීම, අභියාචනා අධිකරණය විසින් දෙන ලද අතුරු නියෝගය කෙටි කලකට කල් පවත්වන අතර එය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලීම් කිරීමට නොහැකි බව ට මෙහි දී විනිසුරු මඩුල්ල අවධාරණය කළහ. යුධාධිකරණය පිහිටුවා ඇත්තේ යුද නීතිය යටතේ බැවින් එය අභියෝගයට ලක් කිරීමට සැකකරුවෙකුට අවස්්ථාවක් නොලැබෙන බවට ද මෙහිදී අනාවරණය විය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්.රාජරත්නම් මහතා විරෝධතා ඉදිරිපත් කළේය. මේ පෙත්සම ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, එස්. අයි. ඉමාමි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (17) කැඳවිණි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල්, රියර් අද්මිරාල් ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු, නීතිපතිවරයා පළමු යුද්ධාධිකරණයෙහි විනිසුරුවරුන් වන මේජර් ජෙනරාල් එච්.එල්.වීරතුංග, මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග, මේජර් ජෙනරාල් ඩී.ආර්. ඒ.බී. ජයතිලක මේ අභියාචන පෙත්සමෙහි වගඋත්තර කරුවෝ වෙති. තමන්ට එරෙහි පළමු යුද්ධාධිකරණය පක්ෂග්‍රාහී වන බැවින් සහ නීත්‍යානුකූ®ල නොවන බැවින් එම යුද්ධාධිකරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මීට පෙර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙළේය.

ම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම යුද්ධාධිකරණයෙහි කටයුතු අත්හිටුවමින් ඉකුත් මැයි මස 03 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කෙළේය. එහෙත් මැයි මස 21 වැනිදා පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම අතුරු නියෝගය දීර්ඝ නොකිරීමට තීරණය කෙළේය. එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කෙළේය.

අතුරු නියෝගය දීර්ඝ නොකිරීමේ අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස හෙතෙම පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. එසේම මැයි මස 3 වැනි දින අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය එම රිට් පෙත්සම විභාග කර අවසන් වනතුරු බලපැවැත්විය යුතු බවට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම පළමු යුද්ධාධිකරණයෙහි විනිසුරුවරුන් එම තනතුර දැරීමට සුදුසු අය නොවන බවට ප්‍රකාශයක් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා