සෑම නිවෙසකම පහනක් දල්වා රණවිරුවන්ට උපහාර පුදන්න

විජයග්‍රහණයේ සැමරුම අදයි

සෑම නිවෙසකම පහනක් දල්වා රණවිරුවන්ට උපහාර පුදන්න

රණවිරු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි

රණවිරුවන්ට උපහාර පිදෙන විජයග්‍රහණයේ පළමු ජාතික සැමරුම් උත්සවයේ සමාරම්භක පෙළපාළිය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (18) පෙරවරුවේ විචිත්‍රවත් අයුරින් පැවැත්වෙයි. එදිනම පස්වරු 4.30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය අභියසදී විශේෂ රණවිරු සැමරුම් උත්සවය පවත්වනු ලබයි.

වීරෝදාර රණවිරුවන්ට ජාතියේ උපහාර පුදකෙරෙන රණවිරු උළෙල හා සමාරම්භක පෙළපාළිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

දශක තුනකට අධික කාලයක් පුරා ජන ජීවිතය අවිනිශ්චිත තත්ත්වයකට පත් කළ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා මුළු රට එකම ධජයක් සෙවනට පත් කළ අභිමානවත් දිනය පසුගිය වසරේ මැයි 18 දිනයයි. සාමය උදා වී වසරක් ඉකුත් වීමෙන් පසු ඉකුත් 18 දාට විජයග්‍රහණයේ පළමු සැමරුම් දිනය යෙදී තිබිණි.

ඊට සමගාමීව මේ උළෙල පැවැත්වේ. එදින පස්වරු 6.00 ට විනාඩි දෙකක නිහැඬියාවක් දක්වා දැය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් අනුස්මරණය කැර සෑම නිවෙසකම පහනක් දල්වා දේශයේ විරුවන්ට උපහාර පුදකරන ලෙස රණවිරු අධිකාරිය සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා