ටියුෂන් යුගයට තිත තබන්න පාසල්වලට දක්‍ෂ ගුරුවරු ඕනෑ

* ගණිතය-විද්‍යාව-ඉංග්‍රීසි විෂයන්වලට වැඩි අවධානය

* භෞතික සම්පත් දියුණු කළ පමණින් රට දියුණු වෙන්නෑ

* විනය ගරුක දරු පරපුරක් බිහිකර ගත යුතුයි

ටියුෂන් යුගයට තිත තබන්න පාසල්වලට දක්‍ෂ ගුරුවරු ඕනෑ

පාලටුව ගුණරතන මධ්‍ය මහා විදුහලේ දී ජනපති කියයි

පාසල්වලට හොඳ දක්‍ෂ ගුරුවරු ලබාදී විෂය දැනුම ළමයින්ට නොඅඩුව ලබාදීමට පියවර ගතහොත්, ටියුෂන් යුගයට තිත තබන්න පුළුවන්’ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කෙළේය. ජනාධිපතිතුමා ප්‍රමුඛ සිය පවුලේ දරු දැරියන්ගේ ආදරණීය මෑණියන් වූ පාලටුව දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කරනු වස්, පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකළ දර්ශණීය තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතා ජනාධිපතිවරයා එසේ කීය.නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවැරීමේ මහෝත්සවය ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ ශ්‍රී රාහුල මහා නායක හිමිපාණන් වහන්සේ, ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශීර්වාද මැද මේ අභිමානවත් උත්සවය පැවැත්විණි. ශ්‍රී රාහුල හිමිපාණෝ හා ජනාධිපතිතුමාගේ මෑණියෝ මේ පාසල ආරම්භ කළ 1924 දී එකම පංතියට ඇතුල් වූ 67 දෙනා අතර සිටිමින් බිහි වූ කීර්තිමත් ආදි ශිෂ්‍යයෝ වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේ ද කීවේය.

අද අපේ දරුවෝ විෂය කරුණු ඉගෙන ගන්න ටියුෂන් පන්තිවලට යන්න පුරුදුවෙලා. ඒවාට මුදල් ගෙවන්නත් ඕනෑ. මේ ගැන අපි දරුවන්ට දොස් කියලා වැඩක් නෑ. අපි අපේ පාසල්වලට හොඳ, දක්‍ෂ ගුරුවරු ලබා දීලා, ගණිතය, විද්‍යාව, ඉංගී‍්‍රසි වැනි විෂයන් හොඳට උගන්වන්න ඕනා. එවිට අපිට ටියුෂන් යුගයට තිත තබන්න පුළුවන්. නෑම පාසලක සාර්ථකත්වයේ, ජයග්‍රහණවල, දියුණුවේ රහස, දක්ෂ කැපවූ ගුරුමණ්ඩලයක් විදුහල්පතිවරයෙක් සිටීමයි. පාලටුව ගුණරත්න මධ්‍ය මහා විදුහලේ දියුණුවේ රහසක් මම දකින්නේ දක්ෂ විදුහල්පතිනියක් හා දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවී ක්‍රියා කරන ගුරු මණ්ඩලයක් සිටීමයි. මීට ආදිශිෂ්‍ය, ගුරු දෙගුරු, සිසු සිසුන්ගේ කැපවීමත් ලැබූවිට ඕනෑම පාසලක් ඉතාම වේගයෙන් දියුණු වන බව මා විශ්වාස කරනවා. භෞතික සම්පත් පමණක් දියුණු කිරීමෙන් රටක් දියුණුවූවා යැයි මම විශ්වාස කරන්නේ නෑ.

අපි ගුරුවරුන්ට, වැඩිහිටියන්ට අම්මාට, තාත්තාට ගරුබුහුමන් කරන හොඳ විනයගරුක, රටට වැඩදායී, දරුපරපුරක් බිහි කර ගත යුතුයි. දැන උගත් ඒවාගේම විනයගරුක මානව සම්පත් ඇතිකිරීම ඕනෑම රටක දියුණුවේ රහසයි. කොළඹට හෝ බස්නාහිරට හෝ පමණක් සීමා වී තිබූ සම්පත් අපි ගම්බද සෑම ප්‍රදේශයකටම රැගෙන ආවා. දැන් ගමේ පාසල්, රෝහල් හා වෙනත් යටිතල පහසුකම් දියුණුයි. ඉන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම ඔබේ වගකීම යැයි ජනාධිපතිවරයා සඳහන් කෙළේය. මේ රටේ සිසුන්ගෙන් සියයට පහයි, තවම විශ්වවිද්‍යාලවලට උසස් අධ්‍යාපනය ලැබීමට යන්නේ.  සියයට 95කගේ ඉදිරි අනාගතය ශක්තිමත් කිරීමේ උදාර කාර්යය වගකීම අපි මාතරට භාරදීලායි තිබෙන්නේ කී ජනාධිපතිතුමා වේදිකාවේ අසුන්ගෙන සිටි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වෙත දෙඇස් යොමු කොට නව දැනුමින්, ඉහළ වැටුප් හා රැකියා අවස්ථා බහුල වෘත්තීය අධ්‍යාපනයක් තරුණ පෙළට ලබාදීමේ කාර්ය ඉටු කරන්නැයි ඉල්ලීමක් කෙළේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍යපෙළ) සමත් දරු දැරියන්ට, උසස් පෙළ සමත් දරුදැරියන්ට දැනට වඩා උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පාඨමාලා හා පහසුකම් ඇතිකරන ලෙසත්, ඒවා පිළිබඳව ඔවුන් දැනුම්වත් කරන ලෙසත් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය. දැනට පවතින ගුරු හිඟය හැකිතරම් අවම කිරීමට පියවර ගන්නැයිද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබාදුන් අතර, දැනට සැලසුම් කළ වැඩපිළිවෙළ වහාම ක්‍රියාවට නංවන්නැයිද කියා සිටියේය. මාතර, පාලටුව ගුණරතන මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිනිය එස්.එදිරිසිංහ මහත්මිය පිළිගැනීමේ කථාව සිදු කළාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මැදගොඩ අභය තිස්ස නාහිමියෝ මවුගුණ සහ දක්ෂ දරුවෙකුගේ මූලික ගතිලක්ෂණ පිළිබඳව සාර්ගර්භ දෙසුමක් පැවැත්වූහ.

මෙම උත්සවය අවස්ථාවට මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, ආණ්ඩුකාර තුමිය කුමාරි බාලසූරිය, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවල මැති ඇමැතිවරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත් යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් එක්ව සිටියහ. ගුණරතන විදුහලේ හා අවට පාසල්වල විදුහල්පතිවරු ගුරුභවතුන් හා දරුදැරියෝ රැසක් ද මෙයට සහභාගි වී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා