කොළඹට අග නගර ආණ්ඩුකාරවරයෙක්

කොළඹට අග නගර ආණ්ඩුකාරවරයෙක්

කොළඹ නගරය මුල් කොට ගත් නාගරික කලාපයේ සංවර්ධනයට පිහිටුවෙන කොළඹ අග නාගරික සංස්ථාවේ ප්‍රධානියා වශයෙන් අග නගර ආණ්ඩුකාරවරයකු පත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන මේ අග නගර ආණ්ඩුකාරවරයා යටතේ මෙහෙයවන කොළඹ අග නාගරික සංස්ථාවේ සංයුතියට පළාත් පාලන ආයතන පහේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන්, පළාත් පාලන ආයතන විපක්ෂය යෝජනා කරන නියෝජිතයකු ද අයත් වේ. අදාළ පළාත් පාලන ආයතනවල තෝරා ගත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් උපදේශක කාරක සභා දොළහක් ද කොළඹ අග නාගරික සංස්ථාවේ කටයුතු පිළිබඳ පළාත් පාලන කමිටුවක්ද පත් කිරීමට නියමිතය.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල පත්‍රිකාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවැසීය. ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. කොළඹ මහ නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, කොළොන්නාව මහ නගර සභාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව යන පළාත් පාලන ආයතන කොළඹ අග නාගරික සංස්ථාවට අයත් වේ.

නව සංස්ථාව පිහිටු වුවද පළාත් පාලන ආයතන එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් ඒවායේ නියෝජිතයන් පත් කිරීමට මහජනතාවට ඇති ස්වාධීන අයිතියට එමඟින් කිසිදු බලපෑමක් නොවන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය. කොළඹ අග නගර කලාපය තුළ පවතින ගැටලු විසැඳීමත් ඒ ඒ ආයතන අතර සම්බන්ධතා ඇති කරමින් නගරය සංවර්ධනය කිරීමත් මේ සංස්ථාවේ අරමුණ බවත් ඇමැතිවරයා පැවැසීය. කොළඹ අග නාගරික සංස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ විපක්ෂයේ දේශපාලන අවලාද ප්‍රතික්ෂේප කරන බවය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත පි‍්‍රය රාමනායක මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා