පරන්තන් රසායනික කම්හල යළි පිහිටුවන්න බිලියන 3ක්

පරන්තන් රසායනික කම්හල යළි පිහිටුවන්න බිලියන 3ක්

යුද්ධයෙන් විනාශ වූ පරන්තන් රසායනික කම්හල පරන්තන්හි පිහිටි අක්කර 217ක භූමියේ ම නැවත ස්ථාපිත කිරීම සඳහා රුපියල් බිලියන තුනක් ඇස්තමේන්තු කරමින් ව්‍යාපෘති වාර්තාවක් එම සමාගම ඉදිරිපත් කර තිබේ. මේ වන විට ඉන්දියාව, අයර්ලන්තය, ඩුබායි රටවලින් මේ සඳහා ආයෝජකයෝ ඉදිරිපත්ව සිටිති. රජයේ ප්‍රතිපත්තිවලට එකඟ වන ආයෝජකයකු මේ සඳහා හවුල් කර ගැනීමට තම ආයතනය සූදානමින් සිටින බව පරන්තන් කෙමිකල්ස් ආයතනයේ සභාපති නිමල් අබේසිරි පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.

වසරකට ක්ලෝරීන් මෙට්‍රික් ටොන් දෙදහසක් හා කෝස්ටික් සෝඩා මෙට්‍රික් ටොන් පහළොස් දහසක් රටට අවශ්‍ය වේ. පරන්තන් රසායනික කම්හල නැවත ස්ථාපිත කිරීමෙන් දිනකට ටොන් විසිපහක නිෂ්පාදන ඉලක්කයක් සපුරා ගැනීමට පරන්තන් රසායනික ආයතනය අපේක්ෂා කරයි. මෙරට ක්ලෝරීන් අවශ්‍යතාවෙන් සියයට සියයක් ම සපුරා ගන්නේ ආනයනයෙනි. ජල සම්පත් මණ්ඩලයට අවශ්‍ය ක්ලෝරීන් අවශ්‍යතාව සපුරන්නේ පරන්තන් රසායනික ආයතනය යි.

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ පෙරේදා (3) ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ කරුණු අනාවරණය විය. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා සහ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි. පරන්තන් රසායනික ආයතනයේ කාර්යාලය දැනට පවත්වා ගෙන යන්නේ වරාය අධිකාරියට අයත් ගොඩනැඟිල්ලක ය. ඒ සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවැසීය.

එසේම ආයතනයේ දැනට තිබෙන ප්‍රවාහන ගිවිසුම අහෝසි කොට නව ටෙන්ඩර් පත් කැඳවන ලෙස දන්වා ඇතත් එය තවම ඉටුවී නොමැති බැවින්, ආයතනයට ලාභදායී ප්‍රවාහන ක්‍රමයක් ඇතිකිරීමට නොපමාව පියවර ගන්නා ලෙස සභාපතිවරයාට නියෝගයක් ද කෙළේය. ඇමැති දයාශි‍්‍රත තිසේරා මහතා අදහස් දක්වමින්, කවර නිලධාරියකු වුවද අමාත්‍යාංශයේ නීත්‍යනුකූල ප්‍රතිපත්තිය මෙන්ම ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තියට පටහැනි නොවන ලෙස ක්‍රියා කළ යුතු බවත්, එසේ නොවන විට ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම රජය ද හෑල්ලුවට පත් වන බවත් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා