බ්ලූමැන්ඩල් තෙල් නළ කාන්දුව යථා තත්ත්වයට

බ්ලූමැන්ඩල් තෙල් නළ කාන්දුව යථා තත්ත්වයට

වරායේ සිට කොලොන්නාව දක්වා තෙල් ගෙනයන තෙල් නළ මාර්ගයේ සිදුවූ කාන්දුව පෙරේදා (03) සවස 6 වනවිට නවතා දැමූ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි. කාළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තෙල් නළයකින් සිදුවූ තෙල් කාන්දුව පිළිබඳව දැනගත් විගස එය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගත් බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජනරාල් එම්. ආර්. ඔබ්ලි ද සොයිසා මහතා පවසයි.

මේ තෙල් නළ වසර 40ත් 50ත් අතර නළ බව පවසන සභාපතිවරයා එම නළ අලුත්වැඩියා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද, එහෙත් එම තෙල් නළ මත පදිංචිවී සිටින පදිංචිකරුවන් හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීමට අපහසු වී ඇති බවද කීය. එහෙත් හැකි පරිදි මේ නළ අලුත්වැඩියා කිරීමට වරින්වර පියවර ගත් බව කී සොයිසා මහතා එම පදිංචිකරුවන් පිළිබඳව ගන්නා තීන්දු මත ඉදිරියේදී මේ නළ අලුතින් එලීමට පියවර ගන්නා බවද කීය.

මෙහිදී සාමාන්‍ය තත්ත්වයක තෙල් කාන්දුවක් සිදුවී ඇති බවත් මෙතෙක් එය ගණනය කර නැති බවත් සභාපතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා