මෙහෙයුමේදී සිදුවූ කිසිවක් කිසිවිටක සඟවන්නේ නෑ

මෙහෙයුමේදී සිදුවූ කිසිවක් කිසිවිටක සඟවන්නේ නෑ

උගත් පාඩම් වාර්තාව ගැන N. D. T. V. නාලිකාවට ජනපති කියයි

මෙරට මානුෂික මෙහෙයුම පැවති සමයේ මිනිස් අයිතිවාසිකම් කඩවීම් වාර්තා වී ඇතැයි උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවෙන් තහවුරු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම සමයේ සිදු වූ කිසිවක් සැඟවීමට හෝ කිසිවකු ආරක්ෂා කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉන්දියාවේ එන්. ඩී. ටී. වී. නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

සියලුදෙනා කතා කරන්නේ මානුෂික මෙහෙයුමේ අවසන් දින 10 ගැන පමණක් බවත් ත්‍රස්තවාදය පැවැති වසර 30 තුළ සිදුවූ දෑ පිළිබඳව කිසිවකු කතා නොකරන බවත් පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පැවැති සමයේ අහිංසක දෙමළ වැසියන්, දේශපාලනඥයන් කීදෙනකු ඝාතනය කළා දැයි ප්‍රශ්න කළේය.

උගත් පාඩම් කොමිසමේ වාර්තාව යනු ප්‍රසිද්ධ ලියවිල්ලක් නොවන බව මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසීය.

එම වාර්තාව ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෙසේ වෙතත් පළමුව එම වාර්තාව තමා අධ්‍යයනය කළ යුතු බව සඳහන් කළේය. මේ සම්මුඛ සාකච්ඡාවේදී ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දී ඇති බවයි.

දෙරටේ ධීවරයින් අතර පවතින මෙම ගැටලුවට හොඳම විසඳුම දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීම බවත් ඊට රජය ඈඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ කටයුතු සියයට 95 කින් පමණ අවසන් කර ඇති බවත් හැකි ඉක්මණින් ඉතිරි පුද්ගලයින් ද පදිංචි ඛ්ල;ම් කටයුතු සිදුකරන බවත් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය. දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර පවතින සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ප්‍රශ්නයක් ඇති නම් එය රජය සමග කතා කරනු මිස ඇමරිකාව, එංගලන්තය වැනි රටවල සංචාරය කිරීමෙන් පලක් නොවන බවයි.

ආණ්ඩුව සහ විපක්ෂය එකතුව ගනු ලැබූ තීරණ තමාට දැනුම්දීමෙන් පසුව ඒවා ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා