චැනල් 4 ඊළඟ චිත්‍රපටය ගැන රජයේ දැඩි අවධානය

චැනල් 4 ඊළඟ චිත්‍රපටය ගැන රජයේ දැඩි අවධානය

ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් යළිත් වරක් බ්‍රිතාන්‍යය චැනල් - ෆෝ නාලිකාව මඟින් එළිදැක්වීමට අපේක්ෂා කරන බව පවසන වීඩියෝ පටය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බව රජය අවධාරණය කරයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ අදහසින් එවැනි වීඩියෝ පටයක් එළිදක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණවී නොමැති බවත් එවැනි වීඩියෝ පටයක් එළි දැක්වීමට කටයුතු කරන බවට එහි මාධ්‍යවේදිනියක් ප්‍රකාශ කර තිබෙන බවත් එම අමාත්‍යාංශ මහජන සබඳතා හා පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය වෙනත් දිශාවකට යොමු කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය චනල් ෆෝ නාලිකාව මීට පෙර එළි දක්වන ලද වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව සිහිපත් කරන සරත් දිසානායක මහතා ඔවුන් ප්‍රකාශ කරන අන්දමේ යුද අපරාධ ශ්‍රී ලංකාවේදී සිදු නොවූ බවත් ඊට පිළිතුරු ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ වාර්තා වැඩසටහනට ඉහළ ප්‍රතිචාර ලැබුණු බවත් ප්‍රකාශ කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි එම පිළිතුරු වාර්තා වැඩ සටහන තානාපති කාර්යාල මට්ටමින් ලෝකයේ රටවල් රැසක ප්‍රදර්ශනය කළ බවත් ඒ මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට ජගත් ප්‍රජාවට අවස්ථාව ලැබුනු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

බ්‍රිතාන්‍ය චැනල් ෆෝ වීඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැක්වු ප්‍රතිචාර හමුවේ අදාළ වාර්තාව සාවද්‍ය බවට ජාත්‍යන්තරය විසින් පිළිගත් බවත් යුද්ධය සමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකාව මඟින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසන් සභාවේ වාර්තාව එළි දැක්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහි වීම සඳහා ඔවුනට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව අවබෝධ කරගෙන ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ජාත්‍යන්තරය හමුවේ අනාවරණය වන බැවින් බ්‍රිතාන්‍ය චනල් ෆෝ නාලිකාව ජාත්‍යන්තරයේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් තවත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා